Wednesday, March 13, 2013

ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල බවට පත් කරමින් සිටිනවා - අ.වි.ශි.බ.ම


ආණ්ඩුව මේවන විට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හා පෞද්ගලික විශ්වවිද්‍යාල අතර සමපාත බවක් ඇති කිරීමට උත්සහ කරමින් සිටින බවත් ඒ සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල වල සිසුන්ගෙන් අර්ධ වශයෙන් මුදල් අයකරමින් සිටින බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

ඊයේ (12) මරදාන CSR ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා මේ බව අනාවරණය කළේය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ කරුණු දැක්වූහ.

2011වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් මේ දිනවල විශ්වවිද්‍යාල වලට බඳවා ගැනීම් සිදුකරන අතර මේ වසරේදී මෙතෙක් අයනොකල ගාස්තු සිසුන්ගෙන් අයකරමින් සිටී.

උදාහරණ ලෙස

සබරගමුව විශ්වවිද්‍යාලය ලියාපදිංචි ගාස්තු වැඩිවීම - රු 950සිට රු 2600දක්වා

මේ අනුව සබරගමුව විශ්වවිද්‍යාලය මේ වර්ෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පුනරාවර්ථන වියදම් සිසුන්ගෙන් අයකරගන්නා බව සඳහන් කළ ඔහු නවක ශිෂ්‍යයන්ගෙන් පමණක් රු 53ලක්ෂයක් විශ්වවිද්‍යාලය උපයාගෙන ඇති බව දැක්වීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලියාපදිංචි ගාස්තු වැඩිවීම - රු 250සිට රු 500දක්වා

රුහුණ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගාස්තු වැඩිවීම - රු 300සිට රු 600දක්වා

රුහුණ කෘෂිකර්ම පීඨය හා වෛද්‍ය පීඨය - නේවාසිකාගාර විදුලි හා ජල බිල් සිසුන්ට ගෙවීමට

නියම කර ඇති අතර මේවන විට කාමර වලට ජල හා විදුලි මීටර් සවිකර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලය - සමාසිකයකට පරිගණක භාවිතයට රු 500.

නේවාසිකාගාරයේ දුරකථන භාවිතා කරන්නේ නම් රු 100

ශ‍්‍රී පාලි මණ්ඩපයේ නේවාසිකාගාර ගාස්තු රු 3000

"මෙලෙස රාජ්‍ය විශ්වවිද්‍යාලවල ගාස්තු වසරින් වසර ඉහළ දමමින් ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අර්ධ පෞද්ගලික විශ්වවිද්‍යාල බවට පත්කිරීමට උත්සහ කරනවා. මෙනිසා දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට විශ්වවිද්‍යාල වලට ඇතුළත් වීමට අවස්ථාව ක‍්‍රමයෙන් අඩුවෙනවා. මෙලෙස ගාස්තු වැඩිවුණත් මහපොළ හෝ ශිෂ්‍යාධාර වසර 5කින් පමණ වැඩිවී නැහැ. දැනටමත් සිසුන් බොහෝ දෙනෙක් විවිධ අර්ධ රැකියාවල නියෙලෙමිනුයි මෙම ගාස්තු ගෙවාගන්නේ. මේ අතර විභාග වලට ඉදිරිපත් වීම සඳහා පැමිණීම 80%බලනවා. මෙයින් සිදුවන්නේ සිසුන්ට රැකියාවක් කරලාවත් ජීවත් වීමට නොහැකිවීමයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලසීමාව තුළ අධ්‍යයන මානසිකත්වයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙමින් ශිෂ්‍යයන්ට රැකියාවන් කරමින් ඉගෙනීමට සිදුවීම අ.වි.ශ.බ.ම ලෙස අපි කොහොමටවත් අනුමත කරන්නේ නෑ."

ඒ වගේම මෙවර සිසුන් 2500ක් වැඩිපුර විශ්වවිද්‍යාල වලට බඳවාගන්න බවට ආණ්ඩුව පාරම්බෑ නමුත් බරපතල ලෙස බඳවාගැනීම් කප්පාදුකර ඇති බවත් සමහර විශ්වවිද්‍යාල වල 40%ක් පමණ පුරප්පාඩු ඇති බවත් ඔහු සදහන් කර සිටියා

පුරප්පාඩු ප‍්‍රමාණය

සබරගමුව විශ්වවිද්‍යාලය

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය - 53%

ව්‍යවහාරික විද්‍යා පීඨය - 74%

භූ විඥාපන පීඨය - 52%

කළමණාකරණ පීඨය - 11%ව්‍යවහාරික විද්‍යාපීඨයේ පරිගණක විද්‍යා හා ක‍්‍රීඩා කළමණාකරණ උපාධිය යන විෂයන් 2ට ප‍්‍රායෝගික පරීක්ෂණ පවත්වා අවසන් වන අතර නැවත කිසිවකුත් බඳවා ගන්නේ නැහැ.

ක‍්‍රීඩා කළමණාකරණ උපාධිය සඳහා වෙනත් වසර වලදී සිසුන් 155බඳවා ගත් අතර මෙවර එම විෂය සඳහා ඇතුළත් කර ගෙන ඇත්තේ සිසුන් 33දෙනෙකි.

පරිගණක විද්‍යා උපාධිය සඳහා සිසුන් 105ක් ගත යුතුයි. නමුත් බඳවාගෙන ඇත්තේ සිසුන් 39ක් පමණයි.

භූ විඥාපන පීඨයට සිසුන් 102ක් සඳහා ඉඩ ප‍්‍රස්තා ඇති අතර මෙවර බඳවාගෙන ඇත්තේ 52ක් පමණි.

රජරට විශ්වවිද්‍යාලය

රජරට විශ්වවිද්‍යාලය කළමණාකරණ පීඨය සඳහා සිසුන් 395ක් ගත යුතුයි. නමුත් බඳවාගෙන ඇත්තේ සිසුන් 309ක් පමණයි.

රජරට කෘෂිකර්ම විද්‍ය පීඨය සඳහා සිසුන් 155ක් ගත යුතුයි. නමුත් බඳවාගෙන ඇත්තේ සිසුන් 58ක් පමණයි.

රුහුණ විශ්වවිද්‍යාලය

රුහුණ විද්‍යා පීඨය සඳහා සිසුන් 402ක් ගත යුතුයි. නමුත් බඳවාගෙන ඇත්තේ සිසුන් භාගයකටත් අඩුවෙන්.

රුහුණ ධීවර හා සාගර සහ තාක්ෂණ විද්‍යා පීඨය සඳහා සිසුන් 93ක් ගත යුතුයි. නමුත් බඳවාගෙන ඇත්තේ සිසුන් 32ක් පමණයි.

වයඹ විශ්වවිද්‍යාලය

වයඹ ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා සිසුන් 200ක් ගත යුතුයි. නමුත් බඳවාගෙන ඇත්තේ සිසුන් 60ක් පමණයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

පේරාදෙණිය කළමණාකරණ පාඨමාලාව ගොඩනැගිල්ලක් නොමැති කමෙන් මෙම වසරේ සිට නවතා දැමුණා.

පේරාදෙණිය කෘෂිකර්ම පීඨයේ සත්ව පාලන හා මත්ස්‍ය විද්‍යා පාඨමාලාවට ගිය වසරේ සිසුන් 150ක් බඳවා ගත් නමුත් මෙවර 50ක් දක්වා අඩුකර තිබෙනවා.

"මේවා ගැන විමසුවහම පීඨ පරිපාලනය කියන්නේ බඳවා ගන්න බැහැ මුදල් ප‍්‍රතිපාදන නැහැ කියලා. විශ්වවිද්‍යාල පරිපාලන කොමිෂන් සභාව කියන්නේ ලබන වසරෙදි මේ පුරප්පාඩු වෙනුවෙනුත් බඳවා ගන්නවා කියලයි. නමුත් අපි අහනවා මෙවර අසාධාරණයට ලක්වු සිසුන්ට ලබන වර්ෂයේදී සාධාරණය ඉටුවෙන්නේ කොහොමද කියලා.

මෙලෙස විශ්වවිද්‍යාල වල ඉඩකඩ තිබියදිත් බඳවා ගැනීම් නොකර ජනාධිපතිතුමා පසුගිය දවසක කිව්වා ‘‘උසස් පෙළ A 3ක් අරගෙනත් විශ්වවිද්‍යාල යන්න බැරි සිසුන්ට ණයක් දීලා හරි පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන්න කියලා’’. එස් බී මහත්තය ‘‘කියනවා වැඩිපුර සිසුන් 2500ක් ගන්න කියන අධිකරණ තීන්දුව ශිරාණි නෝනගෙ පිස්සුවක් කියලා’’. නමුත් අපිට තියෙන ප‍්‍රශ්නය තමයි වැඩිපුර සිසුන් ගැනීම කෙසේවෙතත් තිබෙන පුරප්පාඩු වත් පුරවන් නැත්තේ ඇයි කියන එක. විශ්වවිද්‍යාල වලට සිසුන් බඳවා ගැනීමට මුදල් නොමැති ආණ්ඩුවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය පුරා CCTVකැමරා පද්ධතියක් සවිකරන්න කෝටි 4ක මුදලක් හා නව ආරක්ෂක නිලධාරීන් බඳවා ගන්න මුදල් තිබෙනවා. අනෙක් විශ්වවිද්‍යාල වලටත් කෝටි ගණන් මුදල් වැය කරමින් කැමරා උපකරණ සවිකර තිබෙනවා. ආණ්ඩුවේ නිල ප‍්‍රතිපත්තිය අධ්‍යාපනය විකුණන එක. ශිෂ්‍යයො ඒකට විරුද්ධව හඬ නඟන නිසා ශිෂ්‍යයන්ව මර්දනය කිරීම වෙනුවෙන් වියදම් කරන්න මුදල් ආණ්ඩුවට තියෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපි රජයට අවධාරණය කර සිටිනවා සියලූ ශිෂ්‍යයො පාරට බහින්න කළින් අධ්‍යාපන සංහාරය නවත්වා සුබසාධන පහසුකම් වැඩිකර බඳවා ගැනීම් වැඩිකරන්න කියලා ඒ වගේම ශිෂ්‍ය මර්දනය නවත්වන්න කියලා. අපි ජනතාවට ආරාධනා කරනවා අධ්‍යාපන සංහාරය නවත්වන්න අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අප කරන අරගලයත් එක්ක දැනුවත්ව එකතු වන්න කියලා."

රුහුණු සරසවියට නව උපකුලපතිවරයෙක්

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි සේනායක මහතා පත් කර තිබේ.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ වසර තුනක කාලයක් සදහා ඔහු එම තනතුරට පත් කර ඇති බවය.

1979 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයෙන් ප්‍රථම උපාධිය ලැබූ මහාචාර්ය සේනානායක මහතා ආධුනික කථිකාචාර්යවරයකු ලෙස රුහුණු විශ්වවිද්‍යාලයට පත්වීම ලැබුවේ 1980 වර්ෂයේදීය.

ශාක ප්‍රවේනි විද්‍යාව හා අභිජනනය පිළිබඳව ඔහු සිය දර්ශන විශාරද උපාධිය හදාරා තිබේ.

2007 වර්ෂයේදී රුහුණුවිශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි සේනානායක මහතා ශාඛ ප්‍රවේනී විද්‍යාව පිළිබදව ශ්‍රි ලංකාවේ ප්‍රවිණතම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ද වේ.

නවක සිසු ආරක්ෂාවට පේරාදෙණි සරසවියේ බළඇණියක්

පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළු වන නවක සිසුන්ගේ ආරක්ෂාව සඳහා නව වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවැසීය.

විශ්වවිද්‍යාල තුළ නවක වදය අත්හිටුවීම සඳහා, ශිෂ්‍ය සංගම්වල උපරිම සහාය ලැබී ඇති අතර ඒ සඳහා ඔවුන් මූලිකත්වය ගෙන කටයුතු කිරීම සතුටට හේතුවක් බව ද උප කුලපතිවරයා පැවැසීය.

නව වැඩපිළිවෙළ යටතේ විශ්වවිද්‍යාලය තුළ පැය විසිහතර පුරා ක‍්‍රියාත්මක ආරක්ෂක සේවාවක් මෙන් ම, පොදු ස්ථානවල මුර සංචාර යෙදීමට කටයුතු යොදා ඇතැයි ද මහාචාර්යවරයා කීය.

මේ පිළිබඳව සොයා බැලීමට මාර්ෂල්වරුන් තිදෙනෙකු ද පත් කර ඇති අතර යම් ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍ය පිරිසක් විනය විරෝධීව කටයුතු කරන්නේ නම් ඔවුන් විනය කමිටුවට ඉදිරිපත් කිරීමේ බලය ද මෙම මාර්ෂල්වරුන් සතු බව ඔහු පැවැසීය.

ඕනෑ ම හදිසි අවස්ථාවක දී දැනුම් දීම සඳහා හදිසි දුරකතන අංක සිසු සිසුවියන්ට ලබා දී ඇති බවත් නේවාසිකාගාර සහ දේශනශාලා අතර ප‍්‍රවාහන පහසුව ද සලසා ඇති බවත් කීය.

මීට අමතරව විශ්වවිද්‍යාල භූමියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා (සී.සී.ටී.වී) ආරක්ෂක කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇතැයි උප කුලපතිවරයා පැවැසීය.

බඳවා ගැනීම් වල ප්‍රෝඩාවට එරෙහිව රජරට සිසුහු වීදි බසිති...

2011 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් සිදු වූ Z-Score අර්බුදයෙන් අසාධාරණයට පත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා එම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අතර සිසුන් 5609 ක ප්‍රමාණයක් මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුලත් කරගැනීමට අධිකරණ තීන්දුවක් දෙනු ලැබීය. දෙවන වරටද අධිකරණය මඟින් එම තීන්දුව සනාථ කරමින් අදාළ අමතර සිසු පිරිස බඳවා ගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දුන් බව නොරහසකි. මේ වන විට නවක සිසුන් විශ්වවිද්‍යාල වල ලියාපදිංචිය කිරීම ආරම්භ කර ඇති අතර ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය සංඛ්‍යාව සැලකීමේදී පැහැදිලි වන කාරණය නම් ආණ්ඩුවේ බලධාරීන් අමතර සිසුන් ගැනීමට කටයුතු කරන බවට ප්‍රකාශ කරමින් මෙරට ජනතාවට කර ඇත්තේ බ්බරපතල ප්‍රෝඩාවකි.රජරට විශ්වවිද්‍යාලයේ දැනට නවක කණ්ඩායම් සඳහා ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය සංඛ්‍යාව සැලකීමේදී, කළමනාකරණ අධ්‍යයන පීඨය සඳහා ප්‍රවේශ 395 ක් ලබා දී ඇති අතර මේ වන විට ලියාපදිංචිය සිදු කර ඇත්තේ සිසුන් 309 ක් පමණි. කෘෂිකර්ම පීඨය සඳහා ප්‍රවේශ 155 ක් ලබාදී ඇති අතර ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය සංඛ්‍යාව 58 කි.ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා සිසුන් 405 කට ප්‍රවේශ ලබා දීමට නියමිතව තිබුනද තොරතුරු තාක්ෂණ අංශය හැරුණු විට අනෙකුත් අංශ සඳහා ලියාපදිංචි වීමට ලිපි මගින් දැනුම් දීම් සිදු කර ඇත්තේ සිසුන් දෙනෙකුට පමණක් වන අතර එයින් ලියාපදිංචි ශ්සිෂ්‍ය සංඛ්‍යාව 95 කි.මෙම ශිෂ්‍ය සංඛ්‍යාව සැලකීමේදී පෙනී යන පැහැදිලි කාරණය නම් දැනට විශ්වවිද්‍යාලයේ සිටින සංඛ්‍යාවටත් වඩා එම ප්‍රමාණය අඩු බවයි. 
                 අමතර සිසුන් බඳවා ගන්නා බවට අධ්‍යාපන බලධාරීන් කයිවාරු ගැහුවද , මාර්තු 1 වනදා පවතී උසස් අධ්‍යාපන අමාත්‍යංශ රැස්වීමේදී උසස් අධ්‍යාප අමාත්‍යවරයාගේ හා ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් සැලකීමේදී පැහැදිලි වන කාරණය නම් අමතර සිසුන් පිරිසක් බඳවා ගැනීමට කිසිඳු වගකිවයුතු අංශයක නිසි සුදානමක් නොමැති බව හේතුවෙන් සිසුන් දහස් ගණනකගේ ජීවිත බලහත්කාරයෙන් අනතුරක හෙලීමට මොවුන් කටයුතු කරන බවකි. අද වන විට රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා සුභසාදන ගැටලු පිලිබඳ සලකා බැලීමේදී අර්බුද රැසක් පවතී.විශ්වවිද්‍යාලය තුල පවතිඅන මාර්ග පද්ධතිය සැලකීමේදී අද දක්නට ඇත්තේ මාර්ගය දෙපස මෙන්ම මැද ද ඇති විශාල දිය අඟල් ය. රජරටටම ඇති ජල ප්‍රශ්නය විශ්වවිද්‍යාලයට නැතැයි කියන ලේකඛාධිකාරීවරයා මෙම ප්‍රශ්න විසඳීමේ කිසිඳු උවමනාවක් අද වන විට නොමැත. නේවාසිකාර සම්බන්ධයෙන්ද අර්බුදය එසේමය. 2007 වර්ෂයේ ශිෂ්‍ය අරගලයක් මඟින් ලබා ගත පොලිස් නිවාස පද්ධතිය වසරක් ඇතුලත විශ්වවිද්‍යාලය සතු වියයුතු වුවත් තවමත් එම නිවාස පොලිස් නිවාස ලෙස භාවිතයට ගන්නා අතර එම නිවාස විශ්වවිද්‍යාලයට ලබාදීමට කටයුතු කරන ලෙස අප කකළ සාධාරණ ඉල්ලීම් වලට මෙතෙක් කිසිඳු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත. ජනාධිපතිවරයා විවේචනය කළහොත් ශිෂ්‍ය සංගම් තහනම් කරන බවට තර්ජනය කරන උපකුලපතිවරයෙක් සිටින මොහොතක ,මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයාට මරණීය තර්ජන එල්ල වන මොහොතක සාකච්ඡා මාර්ගයෙන් අදාල ගැටලු විසඳීමට යාම ප්‍රතිඵල දායක නොවන බව අපගේ මතයයි. ඒ අනුව මෙම සියලු ගැටළු වලට විසදුම් ලබාදෙන ලෙස ආණ්ඩුවටත් විශ්වවිද්‍යාල පරිපාලනයටත් බලකිරීමේ උද්ඝෝෂණයක් රජරට විශ්වවිද්‍යාලයීය මිහින්තලා පරිශ්‍රයේදී ඊයේ (11) දහවල් පැවත්විණ. මේ සඳහා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් දහසකට අසන්න පිරිසක් එක්ව සිටියහ.

Sunday, March 10, 2013

ජ,පුර උපකුලපති වැඩ පටන්ගනී

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් නැවත වරක් සිසු සිසුවියන් 06දෙනෙකුගේ පන්ති තහනම් කර ඇතැයි වාර්තා වේ.

එම පන්ති තහනමට ලක්ව ඇති සිසුසිසුවියන් අතර පළමුවසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 05දෙනෙකුත් දෙවන වසරේ ශිෂ්‍යයෙකුත් ඇතුළත්ව ඇත.

මෙවර විශ්වවිද්‍යාලට බඳවා ගන්නා ලද නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට නවකවදය ලබාදුන්නේයැයි සඳහන් වූ චෝදනව ඔවුන්ට එල්ලකර තිබේ.

කෙසේ නමුත් මේ පිළිබඳව අපවිසින් කරන ලද සොයාබැලීමකදී අනාවරණය වූයේ මෙතෙක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවාගෙන නොමැති අතර පසුගිය මාර්තු 06වනදා කලමනාකරන පීඨය සඳහා සිසු සිසුවියන් ලියාපදිංචිකීරීම පමණක් සිදුකර ඇති බවයි. එදින බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම භාරකරුවන් සමග පැමිනෙන බැවින් සහ එම සිසු සිසුවියන් පිළිගැනීමේ වැඩසටහන් සිදුකරන බැවින් එදින,උපකුලපතිවරයා චෝදනා නගන ආකාරයේ කිසිඳු කටයුත්තක් සිදුවීමේ ඉඩ කඩක් නොමැතිබවද විශ්විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරූ සැවොම දන්නා කාරණයකි.

මෙම උපකුලපතිවරයා උසස් අධ්‍යාපන ඇමති SBදිසානායක මහතාගේ සුවච කීකරු ගොලයෙකු වෙමින් ඉවක් බවක් නැතිව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පන්ති තහනම් කරමින් යන බවත් පසුගිය ජනවාරි මාසයේ සිට දිගින් දිගටම ‍නොයෙකුත්, පදනම් විරහිත චෝදනා නගමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් පන්ති තහනම‍ට ලක් කර ඇති බවත් සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි.

පසුගියදා මෙවැනිම පදනම් විරහිත චෝදනා නගමින් පන්ති තහනමට ලක්වූ ශිෂ්‍යාවක් පෙනඩෝල් අධිමාත්‍රාවකින් පානයකර අසාධ්‍යව රෝහල් ගත කිරීමට සිදුවූ බවත් එවැනි උදාහරන තවත් ඇති බවත් සමාජවාදී ශිෂ්‍ය සංගමය වැඩිදුරටත් පවසා සිටී.

පේරාදෙණි‍ය සරසවියේ CCTV කැමරා සවි කරන්න දෙන්නේ නැහැ - මහා ශිෂ්‍ය සංගමය

පේරාදෙණිය විශ්විවිද්‍යාලයේ සිදුවන ශිෂ්‍ය ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සදහා සී.සී.ටී.වී. (CCTV) කැමරා පද්ධතියක් සවිකිරීමට පාලනාධිකාරිය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමට කිසිම අයුරකින් ඉඩ ලබා නොදෙන බව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අවධාරණය කරයි.

ශිෂ්‍යයන් වැඩි වශයෙන් ගැවසෙන ශිෂ්‍ය නේවාසිකාගාර, උද්‍යානය, දේශන ශාලා, ක්‍රීඩා පිටිය, ආපන ශාලාව ආදී ස්ථානවල මෙම කැමරා පද්ධතිය සවි කිරීමට මේවන විට අනුමත වී ඇති බව මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

"මෙය විශ්වවිද්‍යාලයට අනවශ්‍ය දෙයක්. මෙම කැමරා පද්ධතිය සවි කිරීමෙන් ශිෂ්‍යන්ට ඉගෙන ගන්න වෙන්නේ කැමරාවලට බයේ. මෙය ශිෂ්‍යන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. එනිසා මෙම ක්‍රියාමාර්ගයට අප විරුද්ධයි. මෙය විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මකවීමට අප කිසිසේත් ඉඩ තබන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ සියලුම සිසුන් එකතුකර ඊට එරෙහිව කටයුතු කරනවා" ඔහු පැවසීය.

එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සදහා ආරක්ෂකයින් 150ක් අවශ්‍ය වුවද මේවන විට සිටි‍න්නේ 50 දෙනෙකු පමණක් බවත් ආරක්ෂාව සම්බන්ධයෙන් කළ යුත්තේ පුරප්පාඩු පිරවීම බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Wednesday, March 6, 2013

චින්තනයේ කඩවුණු පොරොන්දු .....

2005 වසරේ එලි දැක්වුණු මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ "ගුණ නැණ වැඩුම " ජාතික අධ්‍යාපන වැඩසටහන පිලිබඳ මෙසේ අවධානය යොමු කිරීමට හේතු කාරණා වුයේ පසුගිය මාර්තු මස පළමුවන දින උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රගතිය පිලිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා එම අමාත්‍යංශය වෙත ග්ගිය අවස්ථාවේදී කළ ප්‍රකාශයකි.මෙම ජාතික අධ්‍යාපන වැඩසටහන යටතේ ප්‍රථමයෙන් සඳහන් වන කාරණය නම් "නිදහස් අධ්‍යාපනය සඳහා අපේ දරුවන්ට ඇති අයිතිය කිසිසේත් අහෝසි නොකරමි යන්නයි.

එසේ නම් අද වනවිට උසස් පෙළ විභාගයෙන් A සමාර්ථ තුනක් ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පවා විශ්වවිද්‍යාල වරම් අහිමි වී ඇත්තේ මේ ආශ්චර්ය නිසාවෙන්ද? උසස් පෙළ අසමතුන් පවා පෞද්ගලික විශ්වවිද්‍යාල මුවාවෙන් උපාධි සම්පුර්ණ කරද්දී අදාල සුදුසුකම් සපිරූ පිරිස් උසස් අධ්‍යාපන හැර යන්නේ මේ ආශ්චර්ය නිසාවෙන්ද?

"දරුවන්ගේ පාසල් වස දැමීම වෙනුවට ඒවා ශක්තිමත්ව ගොඩ නංවමි " යැයි මෙරට අයිතිකරු නොව භාරකරු යයි කියූ ආඩම්බරකාර තාත්තා පොරොන්දු දී තිබේ. ඒ 2005 වසරේදීය. 2005 වසරේ සිට 2010 වසර දක්වා වසා දමා ඇති මෙරට පාසල් ගණන 350 ක් බව අධ්‍යාපන අමත්‍යවරයාම නිල වශයෙන් පවසන්නේ මේ පොරොන්දුව දී වසර 8 කට පසු වීම කදිම ආශ්චර්යකි. මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 65 වන පිටුවේ සඳහන් පරිදි "සැමට සරසවි වරම් " වැඩසටහන යටතේ මේ වන විට උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයකට ඇතුලත් වන පිරිස වැඩි කිරීමට නව සරසවි ආරම්භ කර පහසුකම් පුළුල් කිරීමට පියවර ගන්න බව පැහැදිලිව සඳහන්ය. නමුත් 2011 වසර උසස් පෙළ විභාගයෙන් සිසුන් වැඩිපුර බඳවා ගැනීමට සිදු වුයේ මෙරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට අනුව නම් හිටපු අගවිනිසුවරියගේ පිස්සු තීන්දුවක් නිසාවෙනි. A සමාර්ථ තුනක් ගත් සිසු දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දී හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුලත් කිරීම මගින් ප්‍රශ්නය විසදීම චින්තන මහත්තයාගේ යෝජනාවයි. නිදහස් අධ්‍යාපනය ලැබීමට මෙරට දරුවන්ට ඇති අයිතිය අහෝසි නොකිරීමට ඔහු දුන් පොරොන්දුව රකින ආශ්චර්ය මෙයද? කණගාටුවට කාරණය නම් චින්තන මහත්තයාගේ ප්‍රකාශයට විරුද්ධ වීමට මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ඉහලම තනතුරු දරන කිසිවෙක් එම අවස්ථාවේදී කටයුතු නොකිරීමය. 

මාලඹේ පිහිටි, ලංකාවේ වෛද්‍ය සභාව පවා පිළිනොගන්නා උපාධි පිරිනමන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාල සිසුන් ඇතුලත් බවට යෝජනා ගෙන එන්නේද මෙරට අධ්‍යාපන බලධාරීන්මය. නිදහස් අධ්‍යාපනය රැකීම කෙසේ වෙතත් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඉදිරියේදී යන කල ගැන අපට සිතා ගැනීමට පුළුවන.

"සරසවි සිසුන්ගේ මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව සහ ශිෂ්‍යාධාර රුපියල් 500කින් වැඩි කරමි." චින්තන මහත්තයෝ මේ පොරොන්දුව දී අවුරුදු 8 කි.මහපොළ හෝ ශිෂ්‍යාධාර මුදල රුපියල් 10 කින් හෝ වැඩිවුයේ නැත.තවමත් එය මාසිකව නිවැරදිව ලැබෙන්නේද නැත.

"සෑම සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවකටම නේවාසිකාගාර පහසුකම් ලබා දීමට හැකි වන පරිදි නව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමි " යනුවෙන් දුන් පොරොන්දුවටද වසර 8 කි.නමුත් මේ වන විට මෙඅරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ විශ්වවිද්‍යාල බොහොමයක උග්‍ර නේවාසිකාගාර අර්බුදයක් පවතියි.

"විවෘත විශ්වවිද්‍යාල අධ්‍යාපනය විධිමත් කර පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් හා ප්‍රතිපාදන සපයන්නෙමි." මෙයද චින්තන මහත්තයාගේ පොරොන්දුවකි. ඒ පොරොන්දු ප්‍රකාරව අප ඔබට යොමු කරන ප්‍රශ්නය නම් විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු කරගෙන යාමට එළිමහන් භුමියේ සකසා තිබු ආසන විශ්වවිද්‍යාල පරිපාලන විසින් ඉවත් කරන්නේ පහසුකම් පුළුල් කිරීමක් වශයෙන්ද?

මේ කඩවුනු පොරොන්දු ගැන ඔබට පිළිතුරු දිය හැකිද? 

ජනපතිතුමනි,මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ අධ්‍යාපන සම්බන්ධයෙන් වූ කරුණු කාරනා ලියවුනේ අත්වැරදීමකින්ද? නැති නම් "නිදහස් අධ්‍යාපනය සඳහා අපේ දරුවන්ට ඇති අයිතිය කිසිසේත්ම අහෝසි නොකරමි . " යන්න "පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් අධ්‍යාපනය ලැබීම සඳහා ඉහල පැලැන්තියට ඇති වරප්‍රසාදය තහවුරු කරන්නා සේම එය දිවි හිමියෙන් රැකීමටත් නිදහස් අධ්‍යාපනයේ මළගම මගේ පාලන කාලය තුලදී කෙසේ හූ සිදු කිරීමටත් පොරොන්දු වෙමි." ලෙස යලි ලියනු මැනවි.....





Tuesday, March 5, 2013

බළලා මල්ලෙන් එලියට...

"උසස් පෙළ සමත් සියලු තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය සුරැකිය යුතු වන අතර මම ඒ අභියෝගය භාර ගනිමි. ඒ පළමු පියවර ලෙස නව සරසවි පාඨමාලා ආරම්භ කිරීම තුලින් සහ සරසවි පහසුකම් පුළුල් කිරීම තුලින් විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට මම පියවර ගන්නෙමි.විවෘත විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් හා ප්‍රතිපාදන සපයන්නෙමි..."

මේ ජනාධිපතිවරයාගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ 65 වන පිටුවේ සඳහන් සැමට සරසවි වැඩසටහන යටතේ මුලින්ම සඳහන් වන කාරණයකි.මෙම ප්‍රතිපතති ප්‍රකාශය එලි දක්වා මේ වන විට වසර 8 ක කාලයක් ගත වී ඇති අතර මහින්ද චින්තන ඉදිරි දැක්මක්ද එලි දක්වා බොහෝ කල්ය. පසුගිය මාර්තු මස 1 වන දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගතිය සොයා බැලීම සඳහා එම අමාත්‍යංශයට ගිය ජනාධිපතිවරයා ඔහුගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම උදෙසා වූ කදිම අදහස් ඉදිරිපත් කළේය. උසස් පෙළ විභාගයෙන් A සමාර්ථ තුනක් ලබා ගත සිසුන් පවා විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන බව ආඩම්බරකාර තාත්තාට තේරුම් ගොස් ඇත්තේ වසර අටකට පසුවය. ඊට විසදුම් ලෙස ජනාධිපතිවරයාගේ යෝජනාව වන්නේ අදාල සිසුන් ශිෂ්‍යත්ව ලබා දී හෝ පුද්ගලික විශ්වවිද්‍යාලකට ඇතුලත කිරීමයි.මාලඹේ හොර උපාධි කඩය යනු දැනට ලංකාවේ හොඳම පෞද්ගලික රෝහල සතු උසස් විශ්වවිද්‍යාලයක් බව ආඩම්බරයෙන් කතා මත දොඩන අමාත්‍යවරයාගේ යෝජනාව වන්නේ මාලඹේ හොර උපාධි කඩයට ඇදල සිසුන් ඇතුලත කිරීම සිදු කල හැකි බවයි. ජනාධිපතිතුමනි , මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඔබම යලි යලි කියවා බැලිය යුතු බව අපගේ හැඟීමයි. නව සරසවි පාඨමාලා ඇති කර ,බඳවා ගන්නා සිසුන් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට ඔබ පොරොන්දු දුන්නේ කාටද? මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය යනු මෙරට වෛද්‍ය සභාව තවමත් පිලි නොගන්නා උපාධියක් ලබාදෙන හොර උපාධි කඩයක් බව නොදැනීමට තරම් ආඩම්බරකාර තාත්තාගේ සංවේදී පිතෘත්වයට කුමක් සිදූ වීද?
මාලඹේ වෛද්‍ය විද්‍යාලයට සායනික පුහුණු කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට රුපියල් මිලියන 600 ක ණය මුදලක් නිකුත් කිරීමට මුල්‍යය වත්කම් තිබු ආණ්ඩුවේ බලධාරීන්ට ජාතික විශ්වවිද්‍යාල පද්දතිය රැකගැනීමට වඩා පෞද්ගලික විශ්වවිද්‍යල නඟා සිටුවීමට ඇති උවමනාව කුමක්ද?
මෙරට ජාතික විශ්වවිද්‍යාලයකට ඇතුලත් වී උපාධිය සම්පුර්ණ කිරීමට උපරිම සුසුකම් ඇති අයවලුන් පවා මෙරට තුල පවා කිසිඳු පිළිගැනීමක් නැති උපාධි කඩ තුලට දැක්කීමට ඔබට ඇති අයිතිය කුමක්ද?
අදටත් නිසි අනුමැතියකින් තොරව පවත්වාගෙන නොයන හොර උපාධි කඩවලට නීතිමය භාවයක් ලබා දීමට සුක්ෂම ලෙස කෙරෙන මෙවන් කටයුතු පිලිබඳ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය අවදියෙන් බව මතක් කර දෙනු කැමැත්තෙමු.....

සිසුන් පෞද්ගලික උපාධි කඩවල ගාල් කිරීමට රජය උත්සාහ දරණවා - සංජීව බණ්ඩාර

සිසුන්ගේ උපාධි සිහිනය භාවිත කරමින් ඔවුන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ගාල් කිරීමට රජය උත්සාහ දරන්නේ යැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

සිසු අවශ්‍යතාවන් සිය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් යොදාගැනීම ඉතා නින්දිත යැයි පවසන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා වැඩි ශිෂ්‍ය පිරිසක් මෙවර බඳවාගන්නා බව රජය සඳහන් කළද ඒ වෙනුවෙන් වන විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව නැති බවයි.

විශ්වවිද්‍යාල පද්ධතියේ ඒ ඒ පීඨයන්ට අදාළව බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාවේ කප්පාදු කිරීමක් මෙවර සිදුකර ඇතැයි පෙන්වා දෙමින් සංජීව බණ්ඩාර මහතා මෙසේ කීය.

සම්පත්වල හිඟකම නිසා "පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ සත්ත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව පාඨමාලාව ඉදිරියට පවත්වාගෙන යන්න නොහැකි බවට පීඨ මණ්ඩලය තීරණය කරලා තියෙනවා. එහි කළමනාකරණ පීඨයට මීට පෙර වර්ෂවලදී සිසුන් 150ක් බඳවා ගත්තත් මේ වර්ෂයේදී එය 50 දක්වා අඩු කරලා අමතර බඳවාගැනීම් 50ක් එකතු කරලා. සම්පූර්ණයෙන් බඳවාගන්නෙ සිසුන් 100යි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පාඨමාලා දෙකකට අදාළව සිසුන් 90කගේ පුරප්පාඩු තියෙනවා. ඒ සඳහා සිසුන් බඳවාගන්න වැඩපිළිවෙළක් නැහැ. විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා මෙවර සිසුන් 26,500ක් බඳවාගන්න බවට රජය ප්‍රකාශ නිකුත් කළත් 22,000ක පමණ පිරිසක් බඳවාගන්න පමණයි ඔවුන් කටයුතු කරන්නෙ. උසස් අධ්‍යාපන අමාත්‍යංශයට ගියපු අවස්ථාවක ජනාධිපතිවරයාත් පැහැදිලිවම කිව්වා ශිෂ්‍යත්ව හරි දීලා උසස් අධ්‍යාපනය වෙනුවෙන් ළමයි පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සම්බන්ධ කරන්න කියලා."

සිය අරමුණු වෙනුවෙන් උසස් අධ්‍යාපන අවස්ථා කප්පාදු කිරීමට රජය දරන වෑයමට එරෙහිව සියලු දෙනා පෙළ ගැසිය යුතු බවද සංජීව බණ්ඩාර මහතා අවධාරණය කළේය.

නිදහස් අධ්‍යාපනය රැකගැනීමට ඒකාබද්ධ ප්‍රකාශයක්

ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත අහෝසිකිරීම, අධ්‍යාපනයට දළ ජාතික ආදායමෙන් 6%ක් වෙන්කර ගැනීම, ප්‍රෝඩාකාරී සපිරි පාසල් ව්‍යාපෘතිය අහෝසි කර පැසල්වලට අවශ්‍ය පරිදි මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම, අධ්‍යාපනය මිලිටරිකරණය නැවතීම වැනි කරුණු කිහිපයක් මුල්කරගනිමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු කරන බව නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේවක පුංචිහේවා මහතා පවසයි.

ඊයේ (03) කොළඹදී බහුජන සංවිධාන රැසකගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡා සභාවේදී මෙම එකඟතාවයට පැමිණි බව ඔහු පවසයි. මේ අනුව ඉදිරියේදී ඒකාබද්ධ ප්‍රකාශය ජනතාව හමුවේ තැබීමටත් තව තවත් වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන නිදහස් අධ්‍යාපනය දිනාගැනීමේ අරගලයට සම්බන්ධ කර ගැනීමටත් තම සංවිධානය බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

පාසලට මුදල් දෙන්න දිවි ගැටගසාගත් ඔරුව විකුණලා

හුංගම විජයබා ජාතික පාසලේ උසස්‌ පෙළ පන්තිය සඳහා තම දියණිය ඇතුළත් කිරීමට විදුහල්පතිවරයාට දීමට මුදල් නොමැතිකමින් දරු පවුලක්‌ ජීවත් කළ එකම චංචල දේපළ වන ඔරුව විකිණීමට සිදුවීමේ අනුවේදනීය පුවතක්‌ හුංගම දකුණු බටඅත ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

සාමාන්‍ය පෙළ සමත් තම දියණිය විජයබා ජාතික පාසලට ඇතුලත් කිරීම එකම විකල්පය වූ බවත් ඒ සඳහා විදුහල්පතිවරයා ඉල්ලූ රැ.4000 ලබාදීමට තමා ධීවර රැකියාව සඳහා යොදාගත් ඔරුව රැපියල් 10000කට විකුණා එම මුදල සොයාගැනීමට සිදුවූ බවත් එම පියා ප්‍රකාශ කරනවා. ඒ 9ක් නෙවෙයි ඒ 25ක් ලබාගෙන සිටියත් පාසලට ඇතුල්කර ගැනීමට රු.4000ක් අවශ්‍ය බව විදුහල්පතිවරයා තමාට ප්‍රකාශ කළ බවද එම පිය පවසනවා. මේ අතර එම දියණිය සාමාන්‍ය පෙළ විෂයන් 9ක් සඳමා සාමාර්ථයන් ලබා තිබෙනව බවද වාර්තා වේ.

හුංගම ජාතික පාසලේ විදුහල්පතිවරයා 2013 වර්ෂයට උසස්‌ පෙළ සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීම සඳහා දුප්පත් පොහොසත් බේදයක්‌ නොතකා සිසු සිසුවියන්130කට ආසන්න ප්‍රමාණයකගෙන් රු. 4000 බැගින් අයකරගෙන ඇති බවද දෙමාපියෝ කියති. ඒ වෙනුවෙන් රිසිට්‌පත් නිකුත් කර ඇත්තේ රු. 1460 කට පමණි. විදුහල්පතිවරයාගේ මෙවැනි අකටයුතුකම් පිළිබඳව දෙමවුපියන් විසින් හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට පැමිණිලි කර ඇතත් මෙතෙක්‌ ඒ සම්බන්ධයෙන් විධිමත් පියවරක්‌ ගෙන නොමැත.

Monday, March 4, 2013

පුහුණු ගුරුවරුන් නැති අධ්‍යාපනය කොයිබටද?

ගොවියා රටටම බත සපයයි. එහෙයින් හෙතෙම දේශයේ පියෙකි. වෛද්‍යවරයා හැමටම නිරෝගි බව ලබා දෙයි. එහෙයින් හෙතෙම අපට ජීවකයෙකි. ගුරුවරයා අපට නැණ නුවණ දැනුම සමග උගත්කම ලබා දෙයි. එහෙයින් හෙතෙම අපට ඉටු දෙවියෙකි.

ගුරු යන වදනේ අරුත බර යන්නයි. එම බර ශාරීරික බර නොවේ. උගත්කම පිළිබඳ බරයි. එහෙයින් වචනාර්ථයෙන්ම ගුරුවරයාට ගුණවත්කමේ, අර්ථවත්කමේ, සාධාරණත්වයේ මනුෂ්‍යත්වයේ හා දැනුමේ සියලු බර අන්තර්ගත විය යුතුය.

අප ගුරු ක්‍ෂේත්‍රයට පිවිසුණු යුගයේදී ඒ පදවිය ලැබීම සඳහා කඩුලු දෙක තුනක්‌ම පනින්නට සිදු විය. ගුරු සහතික පත්‍ර විභාගය සමත් වීම සඳහා අධ්‍යාපන මූලධර්ම, අධ්‍යාපන ක්‍රම, ළමා මනෝවිද්‍යාව වැනි දැනුමත් නිවැරැදි භාෂා දැනුම ඇතුළු විෂයයන් කීපයක්‌ පිළිබඳ පෘථුල දැනුමකුත් විය යුතුය. ලිත විභාගයෙන් සමත් වූ පසු නැවත වාචික සම්මුඛ පරීක්‍ෂණයකටද පෙනී සිට ඒ කඩුල්ලෙන් පැන දක්‍ෂතා පෙන්විය යුතු විය.

ගුරු සහතික පත්‍ර විභාගයට වඩා ගුරු අභ්‍යාස විද්‍යාල විභාගයෙන් සමත් වීම වඩාත් අසීරු විය. විවිධ විෂයයන් යටතේ අතිදක්‍ෂතා ඇති අයට පමණක්‌ එම විභාගයෙන් සමත් විය හැකි විය. ඒ විභාගයෙන් සමත්ව ගුරු අභ්‍යාස විද්‍යාලයකට ඇතුළුව අවුරුදු දෙකක්‌ හෝ තුනක්‌ දක්‍ෂ ගුරු පියවරුන් යටතේ පුහුණුව ලැබිය යුතු විය. ඒ වසර දෙක තුනදී පන්තියේ ළමයින්ගේ අවධානය දිනා ගන්නා හැටි, පාඩම ඉදිරිපත් කරන හැටි, ගුරුවරයා විසින් කළු ලෑල්ල පාවිච්චි කරන හැටි, ගුරුවරයා ගේ ඇඳුම, කථාව ආදී සියලු දේ පිළිබඳ එම අවුරුදු දෙක තුන තුළදී පුහුණුවක්‌ ලැබිය යුතුය. එහෙයින් එදා ගුරු තනතුරකට පත්වීම අති දුෂ්කර කටයුත්තක්‌ විය. අති දක්‍ෂ පිරිසක්‌ පමණක්‌ ගුරුවරුන් වශයෙන් තේරී පත් වූහ.

ඒ යුගයේ නිට්‌ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලය, කටුකුරුන්දේ ගුරු අභ්‍යාස විද්‍යාලය, පොල්ගොල්ල, උයන්වත්ත ගුරු අභ්‍යාස විද්‍යාල, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලය යන මේ ශාස්‌ත්‍ර පීඨවලින් පඬිවරුන් වැනි ගුරුවරු සමාජයට පිවිසුහ. මුනිදාස කුමාරතුංග පඬිවරයා කෙරෙන් නිට්‌ටඹුව ගුරු විදුහලෙන් පුහුණුව ලැබ සමාජයට පිවිසුණ හැම කෙනෙක්‌ම අතිදක්‍ෂ ගුරුවරු වූහ. රැපියෙල් තෙන්නකෝන්, අරිසෙන් අහුබුදු, ආ. දොa චන්ද්‍රසේකර, දා. දු. න වීරකෝන් වැනි ගුරුවරුන් ගැන සිතෙන විට එදා ගුරුවරයකු සතුව පැවතුණු දැනුම ගැන අදත් අපට ආඩම්බර විය හැකිය.

අද ගුරුවරයකු වශයෙන් පත්වීමක්‌ ලබන්නට විභාගවලට පෙනී සිටිය යුතු නැත. දක්‍ෂතා ප්‍රදර්ශනය කළ යුතු නැත. දේශපාලනඥයකුගේ තුණ්‌ඩු කෑල්ලක්‌ ලබා ගත් පමණින් ගුරුවරයෙකි. මේ ගුරුවරයා විෂය දැනුම ඉගැන්වීමේ මූලධර්ම, මනෝ විද්‍යාව ආදි කිසිවක්‌ පිළිබඳව සොයා බැලීමක්‌ නැත. එහෙයින් ඒ අයගෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයාගේ ආදරයට එබඳු ගුරුවරුන් පත් වන්නේ නැත. ශිෂ්‍යයාගේ ස්‌වභාවය පිරුණු දැනුමක්‌ ඇති ගුරුවරයා ඇදහීමයි. ගුරුවරුන් තෝරා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමයේ වරද නිසා ළමයින්ට සුවිශේෂ දැනුමක්‌ ලැබිය නොහැකිය. ගුරුවරුන්ට පහර දෙන ශිෂ්‍යයන් ගැන, ශිෂ්‍යයන්ට අමානුෂික දඬුවම් දෙන ගුරුවරුන් ගැන නිතර නිතර පුවත්පත්වල වාර්තා පළවන්නේ මේ වරද නිසාය. නොමේරු මනසක්‌ ඇති දරුවකුට වැරැදි දඬුවමක්‌ දීම නිසා ආත්මාභිමානයෙන් පැරැදුණු ශිෂ්‍යාවක සිය දිවි නසාගත් පුවතක්‌ මේ නොබෝදා අසන්නට ලැබුණි.

වත්මන් ගුරුවරුන්ගෙන් වැඩි දෙනෙකු මත් පැනට පුරුදු වී ඇති බවක්‌ දක්‌නට ලැබේ. ඒ ගුරුවරුන්ගේ ඉගෙනීම හෝ ඇසුර ලබන ශිෂ්‍යයා එම ගුරුවරයා අනුකරණය කළොත් අත්වන ඉරණම කුමක්‌ද? ශිෂයාගේ ස්‌වභාවය තමා ප්‍රිය කරන ගුරුවරයාගේ පැවැත්ම අනුගමනය කිරීමය.

ඉහළ පන්තියක අප ඉගෙනීම ලබද්දී එම පන්තියේ ළමයින් 20 ක්‌ පමණ වූ බව මට මතකය. ඒ කිසිම ශිෂ්‍යයෙක්‌ මේ දක්‌වා දුම් වැටියක්‌ දෙතොලේ රඳවාගෙන නැත. මත් පැනට ගොදුරුවී නැත. එහෙම වුණේ අපට ඉගැන්වු ගුරුවරයාද යහපත් පැවැතුම් ඇති කෙනෙකු වීම නිසාය.

අධ්‍යාපනයේ කඩාවැටීම සිදු වූයේ ගුරු අභ්‍යාස විද්‍යාල වසා දැමූදා සිට යෑයි විශ්‍රාම ලැබ සිටින පරණ ගුරුවරු කියති. පුහුණු ගුරුවරයකුට තිබුණු විෂය දැනුම හා ඉගැන්වීමේ හුරු බුහුටි කම සරසවියෙන් පමණක්‌ දැනුම ලබාගත් උපාධිධරයකුට නැතැයි බොහෝ දෙනෙක්‌ කියති. ඒ කථාවේ සත්‍යයක්‌ නැත්තේ ද නොවේ.

ගුරුවරයා දේශපාලනඥයාගේ අනුගාමිකයකු වූ දා සිට අධ්‍යාපනය දුර්වල වූ බවටද මතයක්‌ වේ. දැනුමේ ශක්‌තියට වඩා දේශපාලන ඇයි හොඳයි කමේ ශක්‌තිය ප්‍රබල වූ විට එහි අවාසිය ශිෂ්‍යයාටය. මධ්‍යස්‌ථ ගුරුවරයාටද එය බාධාවකි. පැරැණි ගුරුවරයා සමාජය කෙරෙහි, ශිෂ්‍ය පරපුර කෙරෙහි උසස්‌ම ගෞරවය ලැබුවේය. වත්මන් ගුරු පරපුරට එම ගෞරවය අහිමි වෙමින් පවත්නා බව සඳහන් කරන්නේ වත්මන් ගුරුවරයා අව තක්‌සේරුවකට ලක්‌ කිරීමේ අදහසින් නොවේ.

ගුරුවරයාද සිය රාජකාරිය වෙනුවෙන් කිසියම් වැටුපක්‌ ලබන නිසා ඒ අයට සුවිශේෂ ගෞරවයක්‌ දැක්‌විය යුතු නැත යන විෂබීජය සිසුන්ගේ පපුවට ඇතුළු කළේ එක්‌තරා දේශපාලන පක්‍ෂයක්‌ විසින් නොවෙයි නම් නරුමවාදී පිරිසක්‌ විසිනි. ඒ ආකල්පයම මා පියන් කෙරෙහිත් බලපාන තරමටම ඒ දුෂ්ට හැඟීම ව්‍යාප්තව ඇත. අදත් සිය ගුරුවරයාට භක්‌ති පුරස්‌සරව දුටු තැන නමස්‌කාර කරන්නේ ජ්‍යෝතිෂ ශිෂ්‍යාත් වෛද්‍ය ශිෂ්‍යාත් විසින් පමණය.

අධ්‍යාපන ගමනේ අතීතය දෙස බලන විට බුදු බව අත්වීමට තරම් සුවිශේෂ මෙහෙවරක්‌ කළ අධ්‍යාපන ඇමැතිවරයා සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා බව මෙහිලා සඳහන් කළ යුතුය. නුගවෙල ඇමැති තුමාගේ පටන් කළුගල්ල, දහනායක, රිචඩ් පතිරණ හා අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල යන අධ්‍යාපන ඇමැතිවරුද ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්ගේ පැසසුමට ලක්‌වෙයි මුදල් අයකිරීමක්‌ නොමැතිව ඇති හැකි හැමටම නොමිලයේ ඉගෙනීම ලැබිය හැකි නිදහස්‌ අධ්‍යාපනය ඇති කිරීම නිසා කන්නන්ගර ඇමැතිතුමා අදත් පැසසුම් ලබයි. ගුරු විදුහලට ඇතුළු වූ දා සිට පුහුණුව ලබන කාලයේදීම වැටුප ලබාදීම ගැන දහනායක ඇමැතිතුමා ගෞරවයට පාත්‍රවෙයි. ගුරු විභාග පවත්වා සුදුසු ගුරුවරුන් තෝරාගැනීම අතින් කළුගල්ල ඇමැතිතුමා සුවිශේෂ වෙයි. ගුරුවරයාට ඉහළ වැටුපක්‌ ලබා දීමට පුරෝගාමි වූ රිචඩ් පතිරණ මහතාට වත්මන් ගුරුවරයා ණයගැති වෙයි. භාෂා ව්‍යවහාරයේ දී හෙවත් ලිත ක්‍රමයේ විවිධ වෙනස්‌කම් නැතිකර සම්මත සිංහලයක්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ඉදිරිපත් කළේ ඊරියගොල්ල ඇමැතිතුමාය. එහෙත් සිංහල භාෂාවට කුඩම්මාගේ සැලකීමක්‌ දැක්‌වූ එසේම කොහොම ලිව්වත් හරි යන නිගමනයක සිටි පේරාදෙණි සරසවි ගුරුවරුන් පිරිසක්‌ විසින් එවකට අධ්‍යාපන ඇමැතිව සිටි බද්යුද්දීන් ඇමැති තුමාට කරුණු පෙන්වා එම සම්මත සිංහලය කුණු බක්‌කියට දැම්මේය. සිංහල භාෂාව පිළිබඳ හය හතර නොදන්නා බද්යුද්දීන් ඇමැතිතුමා ලෙහෙසියෙන් මුළා කිරීමට එම සරසවි ඇදුරන්ට හැකි විය. එය එසේ වුවද පැරැණි සිංහල ගුරුවරයා ලේඛන කටයුතුවලදී ඊරියගොල්ල මහතාගේ සම්මත සිංහල ක්‍රමය අනුගමනය කරයි.

සමාජය නිරවුල් කිරීමේ වගකීමත් හැකිකමත් ඇත්තේ ගුරුවරයාටය. ළමා වියේදීම දවසේ වැඩි කාලසීමාවක්‌ දරුවා හැසිරෙන්නේ ගුරු ඇසුරේය. එහෙයින් ගුරුවරයා දැනුමෙන් පැවතුමෙන්, කාරුණිකත්වයෙන්, පරිත්‍යාගශීලී බවින් හා ආකල්පවලින් පවිත්‍රව සිටිය යුතුය. අප ගුරුවරුන් වශයෙන් ගුරු ක්‍ෂේත්‍රයට ඇතුළු වීම සඳහා ලිත පරීක්‍ෂණයකට අමතරව වාචික පරීක්‍ෂණයකටද යොමු විය යුතු විය.

එවන් සම්මුඛ පරීක්‍ෂණයක දී මා මුහුණ පෑ අත්දැකීමක්‌ තවමත් මට මතකය.

ඔබ කියවා ඇති පත පොත මොනවා දැයි පරීක්‍ෂණ මඬුල්ල මගෙන් ප්‍රශ්න කළේය. සියලුම සිංහල පත පොත කියවා ඇතැයි මම පිළිතුරු දුනිමි. සංදේශ කාව්‍ය තුන හතරක නම් කියා එහි සඳහන් කවියක්‌ කියන්නැයි මට අණ කළේය. මම ඒ ප්‍රශ්නයට සාර්ථකව පිළිතුරු දුනිමි. වැඩියෙන්ම කියෑවූ පොත කුමක්‌දැයි නැඟු ප්‍රශ්නයට වැඩියෙන්ම සතිපතා කියවන පොත හාල් පොත බව මා කී විට පරික්‍ෂණ මඬුල්ලේ සිටි තිදෙනා ගෙන් දෙදෙනෙක්‌ම උදහස්‌ වූහ. එහෙයින් පරීක්‍ෂණයෙන් මා අසමත් කිරිමේ අදහසින් එක්‌ අයෙක්‌ ඔබ කාටවත් ප්‍රේම කරනවාදැයි ප්‍රශ්න කළේය. ඔව් මම මගේ මෑණියන්ට ප්‍රේම කරමියි දුන් පිළිතුරෙන් මම අනූනවයෙන් ගැලවුණෙමි. ඒ නිදසුන ඉදිරිපත් කළේ අද මෙන් නොව එවකට ගුරු ක්‍ෂේත්‍රයට ඇතුළු වීම සඳහා එක්‌තරා විශාරද බවක්‌ ඇතිව සිsටි යුතු බව පසක්‌ කිරීමටය. ඒ අතින් වත්මන් තත්ත්වය ෙ€දනීය වේ. දැනුම පිළිබඳව හා ආකල්ප පෙරදැරිව කිසිදු විමැසීමක්‌ නොකර, දේශපාලනමය තෝරා ගැනීම නිසා නොවේ නම් රස්‌සාවක්‌ සපයා දීමේ ක්‍රමයක්‌ වශයෙන් ගුරුවරුන් බඳවා ගැනීම අසාර්ථක බව වත්මන් සිදුවීම්වලින් සනාථ වී ඇත. එහෙයින් යළිදු ගුරුවරයා පුහුණු කර සමාජගත කිරීම සඳහා පෙර පැවති ගුරු අභ්‍යාස විභාගය වැනි ක්‍රමයක්‌ ගැන කල්පනා කිරීමට කාලය එළඹ තිබේ.

එදා පුහුණුව ලබන ආධුනික ගුරුවරයා සමුහයක්‌ ඉදිරියේ ප්‍රායෝගික ඉගැන්වීමක්‌ කර ලකුණු ලබා ගත යුතු විය. එහෙත් ඇතැම් පාසලක ජ්‍යෙෂ්ඨ පන්තියකට එසේ ඉගැන්වීමට අසීරු අවස්‌ථා විය. පාසලේ ගුරුවරුන්ගේ මෙහෙයවීම මත පුහුණුව සඳහා උගන්වන්නට පැමිණෙන ගුරුවරයා අසීරුවට පත් කිරීමේ හැසිරීම් රටාවක්‌ වූ බැවිනි.

දිනක්‌ ගුරු විදුහල්පතිතුමා අභ්‍යාස විද්‍යාලයේ සිටි ගුරුවරුන් දිරිගන්වමින් එම පන්තියට උගන්වන්නට තරම් ආත්ම ශක්‌තියක්‌ හා නිර්භය කමත් ඇති කෙනෙකු මේ තැන නැද්දැයි ප්‍රශ්න කළේය. දෙවියන් වහන්සේ පය තබන්නට බිය උපදවන තැන පිනුම් ගසන්නට නොබිය එක්‌ ගුරුවරයෙක්‌ එම අභියෝගය පිළිගත්තේය.

එම ගුරුවරයා අමාරුවේ වැටෙන හැටි දැක බලා ගැනීමට ගුරු විදුහලේ සිටි වැඩි පිරිසක්‌ පන්තිය ඉදිරියේ වූහ. ගුරු මඬුල්ලේ කීප දෙනෙක්‌ද වූහ.

පන්තිය ඉදිරියට ගොස්‌ ආයුබෝවන් යෑයි කී ගුරුවරයා ශිෂ්‍යයන් නොකඩවා හෙළන ආයුබෝවන් වැස්‌සෙන් තෙමුණේය. එය නොතකා අප අද භූගෝල පාඩමක්‌ ඉගෙනීමට යමුයි කියමින් ලෝක සිතියම ගෙනෙන්නැයි සිසුවකුට කී විට සිතියමක්‌ නෑ සර් නෑ සර් නෑ සර් යන පිළිතුරම එක හඬින් ගලා එන්නට විය එයින්ද අපරාජිත ගුරුවරයා මෙසේ කීය.

ළමයිනේ රැවුල නැතුව දෙන හාදුවයි, අබ නැතිව උයන මස්‌ හොද්දයි, සිතියමක්‌ නැතිව උගන්වන භූගෝල පාඩමයි යන තුනම අසාර්ථක බව පවසා ඇයි සිතියමක්‌ නැතිව උගන්වන භූගෝල පාඩම් අසාර්ථක? ඇයි අබ නැතිව උයන මස්‌ හොද්ද නීරස? ඇයි රැවුල නැතිව දෙන හාද්ද අසාර්ථක යන ප්‍රශ්න තුනම මහත් අභිමානයෙන් ඉදිරිපත් කරත්ම පන්තිය නිහඬ විය. කුමක්‌ දොa අලුත් යමක්‌ දැන ගන්නට ලැබෙන බවක්‌ ඉඟියෙන් වටහාගත් පන්තියේ සිටි සියල්ලෝම සැණින් නිහඬව එය දැනගැනීමේ රිසියෙන් ගුරුවරයාට අවධානය යොමු කළෝය.

ගුරුවරයාගේ පාඩම් කාලය විනාඩි 30 කි. හෙතෙම විනාඩි 28 ක්‌ම අබ නැතිව උයන මස්‌ හොද්ද ගැනත්, සිතියමක්‌ නැතිව උගන්වන භූගෝල පාඩම ගැනත් කරුණු පහදා දී කාලය ඉතිරිව ඇත්තේ විනාඩි 2 ක්‌ පමණක්‌ බැවින් අපි ඊළඟ දවසකදී ඒ පාඩම ඉගෙන ගනිමුයි කියා සිය කාර්යයෙන් සමු ගත්තේය.

හැම පාඩමකම ඉගැන්වීම විවේචනයට ලක්‌වීම එදා සිරිත විය. භූගෝලය ගැන යමක්‌ ඉගැන්වූයේ නැති නිසා පාඩම අසාර්ථකයෑයි කෙනෙක්‌ කීහ. දඩබ්බර පන්තියක අවධානය විනාඩි 28 ක්‌ තුළ තබා ගැනීමට පොහොසත් වූ හෙයින් පාඩම සාර්ථකයෑයි තවත් පිරිසකගේ මතය විය.

ගුරුවරයාගේ පළමු කාර්යය විෂය ඉගැන්වීමට පළමු ළමයින්ගේ දැඩි අවධානය තමා වෙත රඳවා ගැනීම බව කී විදුහල්පතිතුමා ගුරුවරයාගේ ඉගැන්වීම සර්වප්‍රකාරයෙන් සාර්ථක බවත් කීවේය.

ඒ නිදසුන ඉදිරිපත් කළේ ඉගැන්වීම යනු පහසු කාර්යයක්‌ නොවන බවත් දැනුම පමණක්‌ නොව උපායශීලී බව හා ස්‌ථානෝචිත ප්‍රඥව විය යුතු බවත් පසක්‌ කිරීමටය.

ඇතැම් ළමයකු අසන ප්‍රශ්නයකට පිළිතුරු දීමට බැරි අවස්‌ථාද උගන්වන ගුරුවරයාට වෙයි. පන්ති භාර ගුරුවරයා නොපැමිණි දිනෙක බලාංශ පන්තියකට ඉගැන්වීමට ගොස්‌ සිල්පද පහ ගැන උගන්වමින් සතුන් මැරීම, හොරකම් කිරීම ආදී පස්‌ පව් වලින් වළකින්නැයි බුදුන් වහන්සේ කියා ඇති බවත් කී විට එක්‌ දරුවෙක්‌ අත උස්‌සා ප්‍රශ්නයක්‌ නඟමින් ළමයින්ට ගහන්න එපා යි බුදුහාමුදුරුවෝ කියා නැද්දැයි ප්‍රශ්න කළේය. එම ප්‍රශ්නය මානසික අසහනය නිසා නඟන ලද්දක්‌ නොව දැනගත යුතුව හෙයින් අසන ලද්දක්‌ බව දරුවාගේ ඉරියව්වලින් පැහැදිලි විය. ඒ ප්‍රශ්නයට ඕව් නෑ යන පිළිතුරු දෙකම දිය නොහැකිය. එහෙයින්, තියෙනවා ඒ ගැන ඊළඟ පන්තියේදී ඉගෙනගත හැකි බව කියා ගැලවුණේය.

නැවේ ඉතිහාසය ගැන උගන්වන පස්‌ වැනි පන්තියට ගිය විටෙක වනගතව ජීවත්වූ මිනිසා බියකරු සතුන්ගෙන් ගැලැවීම සඳහා උපායක්‌ සොයද්දී ජලාශයකට පිවිසීම නැණවත් බවත් කල්පනා කළේය. දියේ පාවන ඇතැම් ලී කොටයක්‌ මත කුරුල්ලකු වසා ඇති බවත් දැක ගහක්‌ කපා දියට දැමුවේය. ගස දියයට ගියේය. ඒ සඳහා වේලුණු ගසක්‌ අවශ්‍ය බව පසක්‌ විය. එය ජලයේ යට ගියේ නැත. එම දැව කඳ හාරා පාරුවක්‌ මෙන් හදාගත්තොත් මැනවැයි කල්පනා විය. එසේ කළේය. එවිට ඔරුව පෙරැළෙන්නට බලයි. ඒ නිසා කොල්ලෑවක්‌ අවශ්‍ය බව වැටහී එසේ කළේය. දැන් හබලක ආධාරයෙන් ඔරුව පැදවිය හැකි බව වැටහිණි. තවත් පහසුව සඳහා හුළං පෙත්තක්‌ ඔරුවට සවි කර ගැනීමට කල්පනා කළේය. එසේ කළ විට ඔරුව තුළට වතුර වැටෙන බව කී සැණින් එක්‌ ළමයෙක්‌ නැගී සිට ඇයි එයට මඩ පෝරුවක්‌ සවි කරගන්නට හැකිනේදැයි ප්‍රශ්න කළේය.

ඇතැම් බුද්ධිමත් ළමයින් ගුරුවරයාට වඩා ඉදිරියට සිතන අවස්‌ථාවේ ඒ නිදසුන ඉදිරිපත් කළේත් ඉගැන්වීම කරන්නේ පණ ඇති බුද්ධිය ඇති විචාරය ඇති පිරිසකට හෙයින් ඒ සඳහා පූර්ව පුහුණුවක්‌ හා සුවිශේෂ දක්‍ෂකමක්‌ විය යුතු බව පසක්‌ කිරීමය.

සමාජයේ හොරුන්, අපරාධකරුවන්, වැඩිවෙමින් පවතින්නේ පාසලේ උගන්වන විෂය ධාරාව අසම්පූර්ණ නිසා බව පැහැදිලි වේ.

යුද්ධයෙන් පසුව රට සංවර්ධනය වෙමින් පවතී. දරුවා සමාජගත කරන්නේ ගුරුවරයා විසින් නිසා ඒ කටයුත්තට පොහෝනා පිරිසක්‌ම ගුරු ක්‍ෂේත්‍රයට ඇතුළත් කර ගත යුතු බවත් ඒ සඳහා යළිදු ලිත වාචික පරික්‍ෂණ මගින්ම ගුරුවරුන් බඳවා ගත යුතු බවත් ඒ සඳහා යළි ගුරු අභ්‍යාස විද්‍යාල පැරැණි අයුරින් ඇති කළ යුතු බවත් කල්පනා කරන්නේ නම් වඩාත් වැදගත් වේ. දැනට ජීවතුන් අතර සිටින පැරැණි පුහුණු ගුරුවරුන් ටික දෙනාගෙන් මේ සඳහා මහත් ප්‍රයෝජනයක්‌ ගත හැකි බවද මතක්‌ කරමි.

ආචාර්ය
පියසේන රතුවිතාන

Thursday, February 28, 2013

සුදු රෙදි හොරු


පසුගිය වසරේ පාසල් සිසුන්ගේ නිල ඇඳුම් රෙදි ආනයනයකිරීමේදී රජයට රුපියල් දහතුන්කෝටි පනස් ලක්ෂයකට (135,000,000) අධික පාඩුවක්‌ සිදු වී තිබෙන බව එම වසරට අදාළව නිල ඇඳුම් රෙදි ආනයනය කිරීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ නිරීක්‍ෂණයන්ගෙන් තහවුරුවී තිබේ. චීනයෙන් රෙදි ආනයනය කිරීම නිසා එවැනි පාඩුවක් සිදු වී ඇති බව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවද පසුගිය වසරේ ඔක්‌තෝබර් මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇත.


අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් මෙම රෙදි චීනයෙන් ආනයනය කිරීමේ සේවා ගාස්‌තු ලෙස පමණක්‌ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාවට ගෙවා ඇති මුදල් රුපියල් දෙකෝටි හැත්තෑඅටලක්‍ෂ අසූදහස (රු. 27,880,000) ඉක්‌මවා ඇත.


නිල ඇඳුම් රෙදිවල තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා තාක්‍ෂණික ඇගයීම් කමිටු නිලධාරින් රුපියල් විසිඅටලක්‍ෂ විසිහයදහසක්‌ (රු. 2,820,000) වැය කරමින් තෙවරක්‌ම චීනයේ සංචාරය කිරීම ද විශේෂත්වයකි.


කැබිනට්‌ මණ්‌ඩල තීරණයට පටහැනිව රෙදි මිටර් 15,580ක්‌ මිලදී ගැනීම නිසා රුපියල් විසිඑක්‌ලක්‍ෂ තිස්‌හයදහසකට (රු. 2,130,000) අධික වටිනාකමක්‌ සහිත රෙදි තොගයක්‌ අනවශ්‍ය රෙදි තොග වශයෙන් ගොඩගසා ඇතැයි ද එම ලිපියේ සඳහන්ව තිබේ.


එපමණක්‌ නොව රෙදි ආනයනය සඳහා දීර්ඝ කාලයක්‌ ගත වීම නිසා රජයට රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක්‌ අහිමි වී ඇතැයිද සුදු කලිසම් රෙදි මීටර් නවලක්ෂ අසූදාහක් (9,80,000)‌ මිලදී ගැනීමේදී අවම මිල ගණන් ඉදිරිපත් කර තිබූ ආයතනයට ටෙන්ඩරය ලබා නොදී වෙනත් ආයතනයකට ටෙන්ඩරය පිරිනැමීම නිසා රුපියල් එක්‌කෝටි තිස්‌ලක්‍ෂයකට (13,000,000) අධික පාඩුවක්‌ සිදු වී ඇතැයිද රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව ලේකම්වරයාට යවා තිබෙන ලිපියේ සඳහන් කර තිබේ.


කැබිනට්‌ මණ්‌ඩල තීරණයට අනුව රෙදි මීටර් හැත්තෑපන්ලක්ෂ පනස් නවදහස් නවසිය විසිහයක (7,559,926) මිලට ගැනීමට නියමිත වුවද, මිලට ගෙන ඇති ප්‍රමාණය මීටර් හැත්තෑ පන්ලක්ෂ හැත්තෑපන්සහස් පන්සිය හය (7,575,506)කි. මෙම ප්‍රමාණයෙන් ද මීටර් එකොලොස් ලක්ෂ දහදහස් අනූහයක් (1,110,096) එනම් රුපියල් පහළොස්‌කෝටි අසූහත්දහසකට (150,084,000) අධික වටිනාකමින් යුත් රෙදි තොග පසුගිය වසරේ සැප්තැම්බර් මාසය අවසානය වනවිටත් ගබඩාවට ලැබී නොතිබූ බවද විගණන නිරීක්‍ෂණයෙන් හෙළිවී ඇත. එහි විශේෂත්වය නම් මෙම රෙදි තොග කුමන ස්‌ථානයක ගබඩා කර තිබුණේද යන්න විගණනයට අනාවරණය කර ගැනීමට නොහැකි වීමය.


කැබිනට්‌ තීරණයට අනුව නිල ඇඳුම් රෙදි ආනයනය කිරීමට අදාළ සියලු කාර්යයන් එනම් ටෙන්ඩර් කැඳවීම,ලිපි ලේඛන සැකසීම ආදිය රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාව කළ යුතු වූ අතර එම සංස්‌ථාවේ වගකීම වූයේ අදාළ සියලු ක්‍රියාමාර්ග ගෙන අමාත්‍යාංශයට රෙදි සැපයීමය. ඒ අනුව තාක්‍ෂණ නිලධාරීන්ගේ චීන සංචාරය සඳහා වැය වූ රුපියල් විසිඅටලක්‍ෂයකට (2,800,000) අධික මුදල සංස්‌ථාව දැරිය යුතු නමුත්, එම මුදල අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංස්‌ථාවට ගෙවීම ද සැලකිය යුත්තකි.


පසුගිය වසරට අදාළ නිල ඇඳුම් රෙදි ගෙන්වීමේදී මෙතරම් අක්‍රමිකතා හා පාඩු සිදු වී තිබියදීත්, මෙම වසරට (2013) අදාළවද නිල ඇඳුම් රෙදි චීනයෙන් ආනයනය කිරීම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාව විසින්ම කරන ලද අතර එහිදී ද රජයට සිදු වූ පාඩුව රුපියල් කෝටි හයහමාරකි (රු. 65,000,000).

අධ්‍යාපනය නංවනවා වෙනුවට පාසල් මිලිටරීකරණය කිරීම වහාම නවතනු - SSU

අධ්‍යාපනය නංවනවා වෙනුවට පාසල් මිලිටරීකරණය කිරීම වහාම නවත්වන්නයැයි ආණ්ඩුවට බලකරනබව සඳහන් කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පහතින් පළ වේ.
"මාර්තු මාසයේදී පාසල් විදුහල්පතිවරුන් 4,000කට හමුදා තනතුරු පිරිනැමීමට ආණ්ඩුව විසින් කටයුතු සූදානම් කර ඇත. පාසල් පද්ධතිය මිලිටරීකරණය කිරීම සඳහා මෙවැනි ක‍්‍රියාවක් ආණ්ඩුව විසින් සිදුකළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවස්ථාවකදීද ප‍්‍රධාන පාසල් ඉලක්ක කරගනිමින් පළමු පංතියේ සේවයේ නියුතු තෝරාගත් විදුහල්පතිවරුන් 23කට කර්නල් තනතුරු පිරිනමා තිබිණි. එයට පෙර හමුදා සේවයේ නියුතු වූ නිළධාරීන් යම් යම් අවස්ථාවලදී පාසල් විදුහල්පතිවරුන් ලෙස යොදා තිබුණද, සෘජුවම පාසල් පද්ධතිය මිලිටරීකරණය කිරීමේ අරමුණින් ආණ්ඩුව සිදුකල පළමු මැදිහත්වීම එය විය.
අප මෙය හඳුනාගත යුත්තේ ආණ්ඩුව මුළු රටම මිලිටරීකරණය 

කරගනිමින් යන ගමනේ තවත් එක් පියවරක් ලෙසටය. අද වන විට ජනතා ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් හඬනඟන උද්ඝෝෂණ මර්දනය කිරීමේ සිට රාජ්‍ය පරිපාලන සේවය දක්වාම සිදුකරන මෙවැනි හමුදා මැදිහත්වීම් සිදුවන්නේ ඒ වැඩපිලිවෙල අනුවය. ජනතාව බියගන්වා තබාගැනීමේ වුවමනාව අනුවය. අද වන විට එය රටේ අධ්‍යාපනයද ඉලක්ක කරගනිමින් ක‍්‍රියාත්මකව ඇත.සරසවි ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට හමුදා පුහුණුව ලබාදීම ඇරඹියේද ඒ අනුවමය. කෝටි ගණනක මුදල් වියදම් කරමින් සිදුකරන එම ක‍්‍රියාවලින් මෙතෙක් ලැබි ඇති කිසිඳු වටිනාකමක් ඇත්ද? එම කාලසීමාව තුල එම වියදමින්ම සිසුන් පරිගණක හෝ ඉංග‍්‍රීසි වැනි පාඨමාලා වෙනුවෙන් යෙදවූවානම් එය සරසවියේදී වඩා ප‍්‍රයෝජනවත් විය හැකිව තිබිණි. නැතහොත් උසස්පෙළ සමත්වන සිසුන්ගෙන් සරසවි සඳහා බඳවාගන්නා සිසුන් ප‍්‍රමාණය ඉහළ නැංවිය හැකිව තිබිණි. එසේත් නැතහොත් එස්.බී. දිසානායක ඇමතිවරයා නොමිලේ ලබාදෙනවා යැයි සඳහන් කළ, එහෙත් ලබා නොදුන් ලැප් ටොප් යන්ත‍්‍ර හෝ සිසුන්ට ලබාදිය හැකිව තිබිණි. එහෙත් එසේ නොකර සිසුන් හමුදා කඳවුරු තුළට යැවීමටම සැළසුම් කලේ ඉහත අප සඳහන් කළ ආණ්ඩුවේ පහත් වුවමනාව සපුරාගැනීමටය. සිසුන් මිලිටරීකරණය කිරීමට එසේ ඇරඹි අතර අද එය හය හතර නොදත් 1 වසරේ පාසල් දරුවා පවා ඉලක්ක කරගනිමින් ක‍්‍රියාත්මක කිරීම මුළු මහත් ජනතාවක් ලෙස අප හෙළාදැකිය යුතුය.
අධ්‍යාපනය නගා සිටුවනවානම් ආණ්ඩුව මේ මොහොතේදී අනිවාර්යයෙන් කලයුතු වැඩසටහන් රාශියක්ම පවතී. ඇතුලත්වීමට පාසලක් නොමැතිව සිටින එක වසරේ දරුවාට පාසලක් ලබාදීමේ පටන් වඩා ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා වූ භෞතික හා මානව සම්පත් පාසල් වෙත ලබාදීම ඉන් පළමු වැන්නයි. එවැනි ක‍්‍රියාවලියක් හරහා සිසුන් අධ්‍යාපනයෙන් පිටමං කිරීම වලක්වනු වෙනුවට අද මේ කරමින් සිටින්නේ කුඩා ළමයාගේ පටන් බයගැන්වීමේ ක‍්‍රියාවලියකි.
ආණ්ඩුව විසින් සිදුකරන මෙම මිලිටරීකරණ ක‍්‍රියාවලිය සිසුන් දෙමාපියන් ඇතුළු රටේ ජනතාව තේරුම්ගත යුතුය. එසේම ඊට එරෙහි විය යුතුය. එමෙන්ම පාසල් අධ්‍යාපනය විනාශ කිරීමේ නොයෙක් අණපණත් සමගින්ම ගෙන එන සිසුන් මිලිටරීකරණය කිරීමේ මෙම වැඩපිළිවෙලත් වහා හකුළා ගන්නා ලෙස අප ආණ්ඩුවට බලකර සිටිමු."

පේරාදෙණිය කෘෂි පීඨයේ පාඨමාලා දෙකක් වැහෙන ලකුණු


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨට අනුබද්ධව 2009 වසරේ ආරම්භ කරන ලද සත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව පාඨමාලාව සහ කෘෂිතාක්ෂණය හා කළමනාකරණය යන උපාධි පාඨමාලාවන් සඳහා 2013 වසරේ සිට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත්කර ගැනීමෙන් වැලකී සිටීමට විශ්වවිද්‍යාල පරිපාලනය විසින් පියවර ගිනිම්න් සිටින බැවින් ඊට විරෝධය දක්වමින් එම පීඨවල දැනට අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඊයේ (26) ගලහ මන්දන්දියේ උද්ඝෝෂණයක නිරතවී තිබේ.

මේ සම්බන්දයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ කෘෂිකර්ම පීඨ ශීෂ්‍ය සංගමයේ සභාපති බී. ආර්. එම්. එන්. කේ. අබේසිංහ මහතා පැවසූවේ " 2009 වසරේ ආරම්භ කරන ලද සත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව පාඨමාලාව සඳහා මෙම වසරට ශිෂ්‍යාවන් 78දෙනෙකුත් කෘෂිතාක්ෂණය හා කළමනාකරණය පාඨමාලාව සඳහා මෙම වසරට 53දෙනෙකුත් ලෙස ළමුන් 131 ගැනීමට නියමිතව තිබෙනවා.

නමුත් එම ළමුන් බඳවා ගතහොත් ඔවුන්ට පහසුකම් සැපයීමට පරිපාලනයට නොහැකියැයි පවසමින් ඔවුන් බඳවා ගැනීම නතරකීමේ සූදානමක් පවතිනවා. එම පාඨමාලා සම්පූර්ණයෙන්ම නවතා දමන තත්වයකට පත්ව තිබෙනවා.

මේකට ප්‍රධාන හේතුව භෞතික සම්පත් හිගකම. 2009 මෙම පාඨමාලා ආරම්භ කරද්දි සිසුන් සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබාදෙන බවට පොරොන්දුවුවත් මේ දක්වා එහි පහසුකම් සපයා නැහැ. වැඩිවන ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පවතින භෞතික පහසුකම් ප්‍රමාණය මදි.

දේශන ශාලා පහසුකම්, යටිතල පහසුකම්, ආපන ශාලා පහසුකම් සියල්ල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දරාගත නොහැකි තරමම මදි.

2011 වසරේ සිටම මෙම පහසුකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුනු මතුකර අදාල පහසුකම් සපයන්නැයි ඉල්ලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පාලක සභාව සමග, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග විටින් විට සාකච්ඡා පවත්වලා තියෙනවා, ලිඛිතව දන්වලා තියෙනවා. ඒත් ප්‍රථිපලයක්වුනේ නැහැ.

ඒ නිසා අපි අධාපන බලධාරීන්ට කියනවා මෙවෙනකොට මෙහේ විශ්වවිද්‍යාලයෙනුත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමසමෙනුත් අනුමතවෙලා තියෙවන මෙම පාඨමාලාවලට අදාල ව්‍යාපෘථි සැලසුම කැබිනට් මණ්ඩලයට දාලා අනුමතකරවාගෙන වහාම අපේ පාඨමාලා සක්‍රීය කරන්න. නවක සිසුන් වහාම බඳවා ගන්න කියලා." යනුවෙනි.

රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීමේ සටන අලුත් වටයකින් - FUTA

රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීම පිළිබඳ පණිවුඩය සමාජගත කිරීම වෙනුවෙන් අලුත් වටයකින් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. ඔහු මේ බව පැවසූවේ ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

6% අරගලයට අමතරව පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ කි‍්‍රයා පිළිවෙතට එරෙහිවද තම සංවිධානයේ ඉදිරි අරගලය දියත්වන බවත් අධ්‍යාපනය රැකගැනීමට උනන්දුවක් දක්වන පිරිස් එකතු කරමින් අපේ‍්‍රල් 02 වැනිදා දැවැන්ත රැළියක් සූදානම් කර ඇති බවත් එහිදී සභාපතිවරයා පැවසීය.

අධ්‍යාපනය සම්බන්ධ කරුණු මත බහුවිධ සංවිධාන සිවිල් ක‍්‍රියාකාරිකයන් මේ සඳහා එක්වන බව ද ඔහු සඳහන් කරයි. ලෝක බැංකු උපදෙස් මත විශ්වවිද්‍යාල තුළින්ම අරමුදල් සම්පාදනය කර ගනිමින් පෞද්ගලීකරණ වැඩපිළිවෙළ දියත්වන බවත් එයට ආසන්නතම උදාහරණය විවෘත විශ්වවිද්‍යාලයෙන් පෙන්නුම් කළ බවත් ඔහු ප්‍රකාශකර සිටියේය.

පෞද්ගලික ප‍්‍රාග්ධනය අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදීමෙන් මුදල් අභ්‍යන්තර වශයෙන් සොයාගන්නා ලෙස විශ්වවිද්‍යාලවලට බලකර ඇතැයි ද මෙහිදී නිර්මාල් දේවසිරි වහතා සඳහන් කළේය.

මෙහිදී සිදුවන්නේ මුදල් ගෙවීමට හැකියාවක් ඇති පිරිසට පමණක් අධ්‍යාපනයේ අවසථාව විවර වීමක් බවත් එය ආණ්ඩුවේ වැඩපිළිවෙල වී ඇති බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.

මාස තුනක් තිස්සේ තමන් ගෙනගිය අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙස අධ්‍යාපනය සම්බන්ධයෙන් පුළුල් සමාජ කතිකාවතක් ඇති මුණා සේම අධ්‍යාපනයේ පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා තම අරගලය තවදුරටත් ඉදිරියට ගෙනයන බව ද නිර්මාල් දේවසිරි මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

රුපියල් 20 ක් පාසලට දීමට නොහැකිවූ 3 වසරේ සිසුවියට දඬුවම්!

වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අවස්ථාවේදී බීමට දීමට සූදානම් කළ පැණි බීම (කෝඩියල් ) වීදුරුවට රුපියල් 20ක් ලබා දීමට නොහැකිවූ කන්ද උඩරට ගම්පොළ කලාපයට අයත් ජනප්‍රිය පාසලක තුන්වැනි ශ්‍රේ ණියේ සිසු දැරියකට පන්ති භාර ගුරුතුමිය විසින් දඬුවම් කර තිබේ. එම පාසලේ සිසු සිසුවියන්ට විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය විසින් මෙම පැණි බිම සඳහා මුදල් රැගෙන එන ලෙස නියම කර ඇත.

තම කුඩා දියණියට දඬුවම් කිරීම ගැන දැඩි සිත් වේදනාවට පත් පියා විසින් එම පාසලේ ඉගෙනුම ලබන දරුවන් හතර දෙනා වෙනුවෙන් මේ වසරේ ජනවාරි 02 වැනි දා සිට පෙබරවාරි 15 වැනි දින දක්වා කාලය තුළ රුපියල් 2,463ක මුදලක් ගෙවා ඇති බව සඳහන් කරමින්, එසේ කර තිබියදී පවා දියණියට දඬුවම් කිරීම පිළිබඳව ලිඛිතව විමසා ඇත. එම ලිපිය ඔහු විසින් 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම වැඩිමහල් පුතු අතේ විදුහල්පතිවරයාට යොමුකර ඇත.

විදුහල්පතිවරයා මේ ලිපියට අදාලව පිළිතුරක් ලබා දෙනු වෙනුවට එම දැරියගේ පියා විසින් පාසල් භූමියෙහි වගුරු බිමක ගවයන් දෙදෙනකු දිනපතා ගැට ගසනවායයි චෝදනා කරමින් නාවලපිටිය පොලිස් ස්ථානයෙහි පැමිණිල්ලක් ගොනු කර ඇත.

Wednesday, February 27, 2013

ආසියාවේ ආශ්චර්යය ' සත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යා ' උපාධිය ගිල ගනීවිද?

පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ පවතින වත්මන් අර්බුදකාරි තත්වය හමුවේ, හෙට දිනයේදි සත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යා පාඨමාලාව සදහා සිසුන් ලියපදින්චි කර නොගැනීමට පීඨ මණ්ඩලය තිරණය කොට ඇත. මේ සදහා මුලික හේතුව 2009 වර්ෂයේදි මෙම පාඨමාලව ආරම්භ කරන විට රජය විසින් ලබාදිමට පොරොන්දු වු භෞතික සම්පත් මේවන තුරුත් පීඨයට නොලැබීමයි. 
වැඩිවන සිසු පිරිස හා සීමිත වු යටිතල පහසුකම් හේතුවෙන් දේශන හා ප්‍රයෝගික ක්‍රියකාරකම් ඵලදායි අන්දමින් පවත්විමේ අපහසුතාවයට සිසු සිසුවියන් මෙන්ම ආචර්ය මණ්ඩලයද මුහුණපා සිටිති. පීඨයට සිසුන් 270 ප්‍රමාණවත් පරිදි දේශන ශාලා 4ක අවශ්‍යතවය පැවතුනද සිසුන් 200කට වඩා සිටිය හැකි එකදු දේශන ශාලාවක් හෝ පීඨය සතුව නැත. 
2009 වර්ෂයේ සිට සත්ත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යා පාඨමාලාවට වරකට සිසුන් 50 බැගින් බදවාගත් කණ්ඩයම් 3ක් මේ වන විට අධ්‍යාපන කටයුතුවල නිරතවී සිටින අතර පීඨ මණ්ඩලයේ තීරණයත් සමග තව දුරටත් එම පාඨමාලාවට සිසුන් බදවා නොගනු ඇත. වැඩි සිසුන් ප්‍රමාණයක් මේ වසරේදි විශ්වවිද්‍යාල වලට ඇතුලත් කර ගැනිමට අධ්‍යාපන බලධාරින් තීරණය කිරීමත් සමග උක්ත පාඨමාලාවට වැඩිපුර සිසුන් 29 දෙනෙකුගෙන් යුත් මුළු සිසූන් 79ක් බදවා ගත යුතුව ඇත. 
එහෙත් හෙට දිනයේදි (පෙබරවරි 27 )කෘෂිකර්ම පීඨයේ අනෙකුත් උපාධි පාඨමාලා දිත්වය සදහා ශිෂ්‍යයන් ලියපදින්චි කලද මෙම සත්ත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යා පාඨමාලාවට අදාල බදවා ගැනීම් සිදු නොකරනු ඇත. 
නායකත්ව පුහුනුව අවසන් වී, නායකයන් වීමට බලාපොරත්තු ගොන්නක් සිතෙහි දරාගෙන හෙට දිනයේදි මේ සොදුරු හන්තාන බිමට පිවිසෙන ඔවුන්ගේ සොදුරු සිහින බොන්දවී යනු ඇත. උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙ නායකත්ව සංකල්පයට වැයකල මුදල් මෙම පීඨය සදහා වැයකලේනම් නිසැකවම ඔවුන් හෙට දිනයේදි නායකයන් වනු ඇත.
මෙම අර්බුදකාරි තත්වය හමුවේ, නැවතත් සත්ත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යා පාඨමාලාව ආරම්භ කිරිමට අවශ්‍ය භෞතික සම්පත් ලබාදෙන ලෙස රජයට බලකරමින් මේ පිලිබද ජනතව දැනුවත් කිරිමේ දැවැන්ත උත්ඝෝශනයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ගලහ හන්දියේදි පවත්වන ලදී.


                                                                                                                                 -Malinda Jeewan


Tuesday, February 26, 2013

ආදරණීය ගුරුතුමනි














ආදරණීය ගුරුතුමනි,

මම නාසි සිරකඳවුරකින් මිදී පළා ආවෙක්මි.
බොහෝ මිනිසුන් විසින් නොදුටු, නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි.

උගත් ඉංජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු...
දක්ෂ වෛද්‍යවරුන් විසින් මිනිසුනට විෂ එන්නත් කරන අයුරු...
පුහුණුව ලත් හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු...
උපාධිධරයන් විසින් ගැහැණුන් සහ ළමයින් මරා පුළුස්සන අයුරු...
මට අධ්‍යාපනය ගැන ඇත්තේ සැකයකි.
මගේ ඉල්ලීම, ගුරුවරුන් කියාදිය යුත්තේ සිසුන්ට මානව දයාවෙන් යුතු මිනිසුන් වන අයුරු යන්නයි.
ඔබේ උත්සාහය අවසානයේ ලොවට උගත් අමනුෂ්‍යයන්, දක්ෂ යක්ෂයන් දායාද කළ යුතු නැත.

කියවීම, ලිවීම, ගණිතය, ඉතිහාසය වැදගත් වන්නේ ඉන් අපේ අනාගත පරපුර වඩා මානව හිතවාදී වීමට කියාදෙන්නේ නම් පමණි...


හිට්ලර්ගේ ග්‍රහණයෙන් පළා ආ යුදෙව් ළමයෙකුගේ සටහන් පොතක පිටුවකිනි....

අධ්‍යාපන බලධාරීන්ටත් හමුදා මේනියාව


පාසල් ප‍්‍රධානීන්ට හා අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ ඉහළ තනතුරු දරන්නන්ට හමුදා නිල තනතුරු ප‍්‍රදානය කිරීම මීට පෙර වටයක් සිදුකළ අතර යලි එහි දෙවන වටය ලෙස අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ නිලධාරීන් 4,000කට ආසන්න ප‍්‍රමාණයකට හමුදා නිල තනතුරු ප‍්‍රදානය කිරීමට ආණ්ඩුව සැරසෙමින් සිටින බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
මේ සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ i, ii, iii, පංතිවල සිටින සියලුම නිලධාරින්ද විදුහල්පති සේවයේ හා iiපංතිවල සිටින සියලුම දෙනා ද මාර්තු මස 040506 යන දිනවලදී සම්මුඛ පරීක්‍ෂණ සඳහා ජාතික ශිෂ්‍ය භට බලකා මූලස්ථානයට කැඳවා තිබෙන අතර මෙහිදී අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට කර්නල් තරනතුරද,විදුහල්පති සේවයේ පංතියේ අයට මේජර් තනතුරුද,විදුහල්පති සේවයේ ii පංතියේ අයට කපිතාන් තනතුරුද ප‍්‍රදානය කිරීමට නියමිතය.
පාසල් ප‍්‍රධානීන් ඇතුලු අධ්‍යාපන ප‍්‍රධානීන්ට හමුදා නිල තනතුරු බලහත්කාරයෙන් ප‍්‍රදානය කිරීම හරහා පාසල් මිලිටරිකරණයට ලක් කරමින් ඉදිරියේදී අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය වෙතට මර්ධනීය හස්තය එල්ල කිරීම ආණ්ඩුවේ යටි අරමුණ බවත්  විදුහල්පති සේවයේ හා අධ්‍යාපන පරිපාලන සේවයේ අයට මෙසේ හමුදා තනතුරු දැරීමට සිදුවීම තුළ තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ද අහිමිවන අතර ඉදිරියේදී සම්පූර්ණයෙන් හමුදා නීතියට යටත්ව එහි නියෝගයන්ට අනුව කටයුතු කරන්නට සිදුවීම අනිවාර්ය බවද ලංකා ගුරු සේවා සංගමය පවසයි.
පාසල් මිලිටරිකරණය නවතන ලෙසත්පාසල් ප‍්‍රධානීන් ඇතුලු නිලධාරීන්ට බලහත්කාරයෙන් හමුදා තනතුරු ප‍්‍රදානය නොකරන ලෙසටත් ලංකා ගුරුසේවා සංගමය ආණ්ඩුවේ බලධාරීන්ට අවධාරණය කරයි.