Sunday, October 28, 2012

සාහිත්‍ය ඇතහැරලා තාක්‍ෂණයෙන් පමණක්‌ දුර ගමනක්‌ යන්න බැහැ

Sunil R. Gamage
- සුනිල් ආර්. ගමගේ

සුනිල් ආර්. ගමගේ ගී රචනා ක්‍ෂේත්‍රයට පිවිසියේ 1970 දශකය ආරම්භයේදීය. තිස්‌ පස්‌ වසරකට එහා දිවෙන ඔහුගේ ගී රචනා කලාවේ අභිෂේක වන මේ මොහොත වන විට ඔහු ලියා ඇති ගී සංඛ්‍යාව 200 ක්‌ පමණ වේ.

පණ්‌ඩිත් අමරදේව, නන්දා මාලනී, දීපිකා ප්‍රියදර්ශනී, ගුණදාස කපුගේ, මාලනී බුලත්සිංහල සුනිල් එදිරිසිංහ, කරුණාරත්න දිවුල්ගනේ, නිරෝෂා විරාජිණී, අමරසිරි පීරිස්‌, සුජාතා අත්තනායක, සනත් නන්දසිරි ආදී ගායක ගායිකාවන් රැසක්‌ ඔහුගේ ගී රචනා ගායනා කොට ඇති අතර බොහෝ ගී ජනප්‍රිය ඒවාය.
සාහිත්‍ය අමතක කළොත් ගීත රචකයෙක්‌ වෙන්න බෑ...
ඔබ පෙම් කරනා ගී නමින් සුනිල් ආර්. ගමගේ සිය ගී රචනා 116 ක්‌ අඩංගු සී. ඩී. පට සංග්‍රහයක්‌ නිකුත් කොට තිබේ.

 මේ ඔහු සමග කළ කතා බහක්‌.

ගීත ලිවීමට පරිසර බලපෑම කොහොමද?

මම ඔරුවල. එදා ගමක්‌. අපේ අම්මා තාත්තා කවියට, පිරිතට ඇලුම් කළ අය. අපගේ වට පිටාවේ පන්සල, වෙල් යාය, ඇළ දොළ තිබුණා. අපි රාත්‍රියේදී හඳ එළියත් එක්‌ක, තරු එළියත් එක්‌ක ජීවත් වුණ කතා බස්‌ කරපු අය. මාංදම් හිඹුටු පුහුලං කාලා ඇළේ දොළේ නාලා හොඳ ළමා කාලයක්‌ ගත කළ අය.

අද පරපුර ඉන්නේ විදුලි එළියත් එක්‌ක. ඇළට, දොළක, කුඹුරක යන්න වෙලාවක්‌ නෑ. පන්ති... පන්ති... මාදං හිඹුටු අඳුරන්නේ නෑ. සොසේජස්‌ අඳුරනවා. මේක කණගාටුවට කාරණාවක්‌. එදා රබර් වැටි පිට්‌ටනිවල අපි හැන්දැ වෙනකම් සෙල්ලම් කරපු ඉඩම් අද කට්‌ටි කැඩිලා. ජීවිතත් කට්‌ටි කැඩිලා. කට්‌ටිවලට කැඩිලා ගිහින්. අපේ ගමේ සරල ජීවිතය තමයි මේ ගීත ලිවීමට පරිසරය වුණේ.

පරපුරක වෙනස දකින්නේ කොහොමද?

අපේ පරපුරට වඩා හැම දෙයක්‌ම වෙනස්‌ පරපුරක්‌ දැන් ඉන්නේ. නව පරපුරේ ගායන ශිල්පින්, තනු රචකයින් තාක්‍ෂණයෙන් දුරගිය අය. නමුත් සාහිත්‍ය ඇතහැරලා තාක්‍ෂණයෙන් පමණක්‌ දුර ගමනක්‌ යන්න බැහැ. අපේ පරපුරට සාහිත්‍ය පරිශීලනය කළේ චිරත්ත සාහිත්‍ය සමගයි. සාහිත්‍ය පිළිබඳව ගායක ශිල්පියකට හෝ ශිලිපිනියකට යම් අවබෝධයක්‌ තිබිය යුතුයි. පද රචකයන්ට රිද්මය පිළිබඳ අවබෝධයක්‌ තිබිය යුතුයි. ගීතයක උසස්‌ මට්‌ටම රැඳෙන්නේ මේ තුන් ඈඳීම නිසයි. අද පරපුරට සිංහල, සාහිත්‍ය අවබෝධය නැතිවීම තුළ වචන උච්චාරණය, සංගීතයේ භාවයම ස්‌වරූපය, පදරචනයේ නිසරු බව නිසා වර්තමානයේ ගීතය මොකක්‌දොa තැනකට හිරවෙලා...

ගීත ලියන්න පටන් ගත්තේ කොයි වකවානුවේද?

මම හැත්තෑ දශකයේ ගීත ලියන්න පටන් ගත්තා. ඒ අවදියේ රටේ සමාජයීය වශයෙන්, දේශපාලන වශයෙන් ප්‍රබෝධයක්‌ තිබුණ අවදියක්‌. මේ නිසා හැත්තෑව දශකයේ තමයි හොඳ නිර්මාණ බිහිවන්නේ. හැත්තෑහතේ විවෘත ආර්ථිකයත් සමග අසූව දශකයේ බිහිවුණ නිර්මාණකරුවන් විවෘත ආර්ථිකයට, බහුජන සමාගම්වලට, ඇමරිකානු ධනේෂ්වරයට අසුවෙනවා. සාහිත්‍ය දුර්වල කරනවා, ඉතිහාසය නැති කරන්න හදනවා. මේ බලපෑම නිසා අවරඝනයේ ගීත බොහොමයක්‌ බිහිවෙනවා.

අද ගීතවල සාහිත්‍ය වටිනාකමක්‌ තියෙනවද?

හැත්තෑව දශකයේ බිහිවුණු රෝහණ වීරසිංහ, ගුණදාස කපුගේ, එච්. එම්. ජයවර්ධන වැනි තනු රචකයින්ට සාහිත්‍ය පිළිබඳ හොඳ දැනුමක්‌ තිබුණා. අපි ගත කළ පරිසරවලම ජීවත් වුණ අය. මේ අය පදරචනා තේරුම් අරගෙන තනු රචනා කළ ශිල්පීන්. වර්තමාන තනු රචකයින් පදරචනා තේරුම් නොගෙන සංගීතය යෙදීමෙන් ගීත භාවයමය ගුණය විනාශ කරනවා. මතක තියා ගන්න ඕන ගීතයේ සාහිත්‍ය තේරුම් ගන්න බැරිව ගී තනු නිර්මාණ කරන්න බැහැ.

ඔබේ ගීත රචනා අතර කිවිය ඔබ ගීතය විශේෂයි නේද?

ඔව්. ආකෘතිමය වෙනස්‌කම් කළ ගීතයක්‌. මාත්‍රා පහකින්, වචන දෙකකින් මෙම ගීතය පටන් ගන්නේ. එම වචන දෙකෙන් එහාට ගීතයේ ශක්‌තිය තිබෙන්නේ තනු නිර්මාණ ශිල්පියාගේ අතේ. රෝහණ වීරසිංහ ගීතය ඉතා ඉහළින් කරනවා. මගේ බොහෝම ගීත ආකෘති වෙනස්‌කම්වලින් යුක්‌තයි. මම නිතරම ස්‌ථායි කොටසේ ආකෘතික වෙනස්‌කම් කරලා තියෙනවමයි. අන්තරා කොටස තමයි සාම්ප්‍රදායික විරිත් ලක්‍ෂණ රැකගෙන තියෙන්නේ. මගේ හැම ගීතයකම මෙම ලක්‍ෂණ තියෙනවා. මේකත් ප්‍රශ්නයක්‌. මොක ආකෘතික ලක්‍ෂණ වෙනස්‌ කරපු ගීතවලට තනු නිර්මාණ කරන ශිල්පීන් හරිම අඩුයි. රෝහණ වීරසිංහ කියනවා එක අවස්‌ථාවකදී මම තියන තිත් පේළියත්, දිග ඇර, කෙටි ඉරත් තේරුම් ගන්නවාලු. එතන විරාමයක්‌ තියන්න අවශ්‍ය බව.

"නිල් කටරොලු මල් ගොමුවේ" ගීතයේ සඳහන් කළොත්

මෙම ගීතය මගේ අත්දැකීමක්‌. මම රැකියාව නිමවී ගෙදර එන දවසක මගේ පුතා නිල් කටරොලු මලක වහල ඉන්න සමනලෙයක්‌ පස්‌සේ දුවනවා දැක්‌කා. ඊට සංවේදී වූ මම ඒ මොහොතේම එක දිගට විනාඩි කිහිපයක්‌ තුළ කිසිදු වචනයක්‌වත් කපන්නේ කොටන්නේ නැතිව ලියපු ගීතයක්‌.

එහෙම පෞද්ගලික අත්දැකීම්වලට ලියවුණු තවත් ගීත තියෙනවද?

ඔව්. මගේ මිත්‍රයෙකුට වුණ සිදුවීමක්‌ තමයි ගුණදාස කපුගේ ගායනා කරන ඔබ පෙම්කරනා ඔබේ කුමාරි ගීතය. මගේ මිත්‍රයට ඒ වෙච්ච සිදුවීමෙන් කම්පනයට පත්වුණු මම නිල් කටරොලු ගීතය වගේම එක දිගට එක හුස්‌මට ලියපු ගීතයක්‌.

ඔබේ පදරචනාවලින් ගායක ගායිකාවන් ජනප්‍රිය වුණු අවස්‌ථා තිබෙනවාද?

ඔව්. අපේ පරපුරට පසුව පැමිණි දිවුල්ගනේ, ජානක, දීපිකා වැනි අයගේ ස්‌වර්ණමය ගීතයත් මම ලියලා තියෙනවා. කපුගේට ඔබ පෙම්කරනා ඔබේ කුමාරි, ප්‍රියාසූරියසේනට සුදු පරෙව් රෑන සේ වගේම, දීපිකාට කවිය ඔබ ස්‌වර්ණමය ගීතයක්‌ වුණා.

ගීතයකින් ජීවිතයට බලපෑමක්‌ ඇති කළ හැකිද?

ඔව්. මේ අලුත් පරම්පරාවට හොඳ ගීත රචකයන් නොමැතිකම නිසා හරසුත් බොළඳ පද රචනා බිහිවෙනවා. රටේ ව්‍යසනවලට මේවා නොදැනිමව බලපානවා. මනුෂ්‍යයා සාහිත්‍ය තුලින් මනුස්‌සකම හදන්න පුළුවන්. අපට හික්‌මීම ඇතිකළේ සාහිත්‍යය. මේ සාහිත්‍ය නොලැබීම තමයි ව්‍යසනවලට ආරම්භය. මුලින් කිව්ව වගේ ඉතිහාසය, සාහිත්‍ය නොමැතිකම තමයි මේ. සියලු දේ විකුණන සමාජයක්‌ දැන් තියෙන්නේ. මිනිසා... මිනිසා නොදැනීම අලෙවි වෙනවා. අලෙවි කරනවා. මේවා වැඩිපුරම කරන්නේ රූපවාහිනි නාලිකා සහ එෆ්. එම්. නාලිකා. අද ටෙලි නාට්‍ය ගරා වැටිලා. තියෙන්නේ පවුල් ආරාවුල්. යහපත් නිර්මාණ කරන ඒවාට වැටකඩොලු බඳිනවා. මොකද ලාබ හරසුන් දේවල් විකුණ ගන්න පුළුවන් පහසුවෙන්. මේ විකිණීමට තුළ වෙන්නේ ජාතියක්‌ නැතිවීමයි.

ඔබ තරුණ සේවා සභාව තුළ තුරුණු ශක්‌තිවලට සම්බන්ධ වෙනවා නේද?

සුනිල් ජයන්ත නවරත්න මහතා මට ලොකු වගකීමක්‌ පවරනවා තරුණ සේවා සභාවේ. ඒ අනුව අලුත් ගේය පදරචකයින්ගේ, ගී රචනාවලට අලුත් ගායක ගායිකාවන් ගී ගයනවා. වාදක ශිල්පී කණ්‌ඩායමත් නවකයින්. අපි සී. ඩී. තැටි දෙකක්‌ එළිදැක්‌වූවා. ඒ ගීත බොහොම ජනප්‍රිය වුණා. ඒ හරහා තමයි රවී සිරිවර්ධන වැනි ගේය පදරචකයින් බිහිවන්නේ. ශිසිකා නිශංසලා, සුභානි, සුරංගි ශ්‍යාමලි, වැනි ගායිකාවන් බිහිවන්නේ. තනු රචකයින් හැටියට දර්ශන බෝධිකොටුව, දර්ශන වික්‍රමතුංග බිහිවෙනවා. මේවා තරුණ සේවා සභාව ලබපු ප්‍රතිලාභ.

අද අලුත් පරචකයින් බිහිවෙනවා අඩුයි නේද?

නැහැ. එහෙම හිතන්න බැහැ. අපේ පරපුරේ යෂ්ටිය අතට ගත් අය ඉන්නවා. ඒ අයට ගීත ලියන්න අවස්‌ථාව අඩුයි. අපි බිහිවෙන කොට ගුවන් විදුලියේ තිබුණ නව පදමාලා, මියුරුසර වින්දන, ප්‍රබුධ ගීත හැම මාසයකම සරල ගී වැඩසටහනුත් තිබ්බා. අද එවැනි වැඩසටහන් නෑ. මම උත්සාහ කරනවා අලුත් කැසට්‌ සහ සී.ඩී තැටිවලට අලුත් ගේය පදරචකයින්ට වැඩි ඉඩකඩ ලබාදෙන්න.

ගීයක්‌ ජනප්‍රිය වීමට රූප රචනය බලපානවද?

ඔව් බලපානවා. ලාබ දේවල් ජනප්‍රිය කර ගන්න.

ගීත සාහිත්‍ය පාසල් තුලින් ආරම්භ කළොත්

අපේ කාලයේ සිංහල ගුරුතුමිය අපිට කොච්චර දේවල් ඉගැන්නුවද? දැන් ඉන්න සමහර ගුරු උපදේශකවරු ගීතය, ගීත සාහිත්‍ය හා ගීත රසවින්දන හඳුනන්නේ නැහැ.

මේ කාර්ය බහුල, තරගකාරී ජීවිතය ෙද වාචකයක්‌. ළමයි උදේ පාසල් ගියාම ගෙදර එන්නේ රෑ 9 ට. මේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු වැරදීමක්‌ තියෙනවා. මේ ක්‍රමය වෙනස්‌ විය යුතුයි. අපි කොම්පියුටර් තාක්‍ෂණයෙන් ඉදිරියට යන්න ඕනෑ. ඒත් සාහිත්‍ය අමතක කරලා යන්න බැහැ.

ඔබපෙම් කරනා ගී අරමුණ මොකක්‌ද

මම ඔබ පෙම් කරණා ගී නමින් සංගත තැටි හයක්‌ සහ ළමා ගීත 16ක්‌ සමඟ ගීත 116ක්‌ එළිදක්‌වනවා. මෙහි ප්‍රධාන අරමුණ තමයි ගීත සංරක්‍ෂණය කිරීම, මගේ ගේද කාව්‍ය අයිතිය තහවුරු කිරීම සහ නෑසෙන ගීත රසිකයිනට තිළිණ කිරීම . 2012 සැප්තැම්බර් 25 වෙනිදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා එළිමහන් පරිෂ්‍රයේදී රාත්‍රී 7 පැවැත්වෙනවා. මම රචනා කරපු ගීත සුජාතා අත්තනායක, නන්දා මාලනී,අමරසිරි පීරිස්‌,සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනි, ප්‍රදීපා ධර්මදාස , දිවුල්ගනේ, නිරෝෂා ,ජානක, මිත්‍ර කපුගේ, සහේළි , සුරංජි ශ්‍යාමලි යන ගායික ගායිකාවන් රෝහණ වීරසිංහයන්ගේ සංගීතය ගීත ගායනා කරනවා.. සැමට විවෘත ආරාධනා කරනවා.

හර්ෂණ ජයතිලක

උපුටා ගැනීම - දිවයින 

Saturday, October 27, 2012

ෆූටාවෙන් පසු නිදහස් අධ්‍යාපන සටන නිමි ද?

මේදින වල අන්තර්ජාල සංවාදයන්ගේද, මග තොටදී හමුවන දේශපාලන මිතුරන්ගේද, සන්ධ්‍යාවේ මධුපාන මිත්‍රසමාගම්හීද මාතෘකාව බවට පත්ව ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සහ එය නිමාවූ ආකාරයයි.අයෙක් පවසා සිටින්නේ "නිර්මල් වැඩේ පාවාදුන්නා"

තවත් අයෙක් කියන්නේ "වෘත්තීය සමිතියකට යන්න පුළුවන් උපරිම දුරතමයි ඒ පෙන්නුවේ. "තවත් අපගේ දේශපාලන මිත්‍රයන් කියන්නේ "80 වර්ජනේට වඩා දරුණු වෙනවා මේ පරාජය."
අපගේ I Hate politics මිත්‍රයන් පවසන්නේ "අපි කිව්වනේ ඕක වෙනවා කියලා. උඹලට පිස්සු."

තවක් වටින්ගොඩින් ඉදින් සංවාදයන්ට ලුණු ඇඹුල් දමන අය කියන්නේ ෆූටා එක ඇතුලේ වළි ලු. කීපදෙනක් අයින්වෙන්න යනවලු. ධම්ම නිර්මල් එක්ක ඩීල් එකක් දාලලු. බැසිල් නිර්මාල් එක්ක ඩීල් දාගෙනලු.
 
ඇත්තටම සටන අවසන්ද?

මේ සියලු සංවාදයන්ගේ කථා නොකරන එකම කරුණ අධ්‍යාපන සටන ෆුටාවෙන් පසු ගොඩනගන්නේ කෙසේද යන්නයි. ආචාර්යවරුන්ගේ සටන් වැටුප් සටනින් උත්කර්ෂයට පැමිණ ආරාබි වසන්තයක් දක්වා දිගුකරන දේශපාලාන බලවේග නිර්මාණය කරන්නට පෙළගැසුනු බොහෝ කණ්ඩායම් ෆූටාව අවසන්වීමෙන් පසු උකඨලී වී ඇත. නැතිනම් සියල්ල අවසන් වූවාක් මෙන් හැඟීම් බරවී ඇත.

"සමහර ආචාර්යවරු පවා ""සිරකරුවෝද මනුෂ්‍යයෝය" , ඒමෙන්ම ""කථිකාචාර්‍යයෝද මනුෂ්‍යයෝය". ජීවිත යථාර්ථය ඔවුනටද මඟ හැර යා නොහැක්කකි " යනුවෙන් අන්තර්ජාල සමාජ වෙබ් අඩවිතුළ සටහන් තබන තත්ත්වයටම මානසික පරාජයන්ට පත්ව සිටිති.

ලිපියට ප්‍රවේශය එතැනින්ම සපයා ගත හැකිය. සැමට සමාන අධ්‍යාපනය නැතිනම් අධ්‍යාපනයේ සම අයිතිය එහෙමත් නැතිනම් නිදහස් අධ්‍යාපනය සුරකීමේ වගකීම තිබෙන්නේ ෆූටාවට හෝ වෙනත් කණ්ඩායමකටද ?

ආසියාතික පසුගාමීත්වයෙන් අගතැන්පත්ව සිටින ලංකා සමාජය සැමවිටම තමන්ගේ වගකීමෙන් මිදී එම වගකීම අනෙකෙකු මත පටවයි.

එමනිසාම විවිධ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමට සෑමවිටම අනෙකෙකු යෝජනා කරති. නිදහස් අධ්‍යාපන සුරකීමේ වෙනුවෙන් අතීතයේ සිට මේ දක්වා ඉතා අඩුපාඩු සහිතවද නොනවත්වා අරගලයේ යෙදෙන්නේ විශ්වවිද්‍යාප ශිෂ්‍ය ප්‍රජාව පමණි.
ඒ ලෙසම මානව හිමිකම් කඩවූ විට ඒ වෙනුවෙන් පෙනීසිටය යුත්තේ මානව හිමිකම් සංවිධාන සහ මානව හිමිකම් ආරක්ෂකයෝය. මාධ්‍ය මර්ධනයට එරෙහිව පෙනීසිටින්නේ මාධ්‍යවේදීන් පමණි. ගොවීන්ගේ ප්‍රශ්ණවලට ගොවීන් පමනී.

මේ ලෙස දකුණේ සමාජය ඉතා ගැඹුරුලෙස වෙන්වී තිබේ. නැතිනම් සමාජයේ පැවැත්ම සඳහා එකිනෙකා අතර වන මහා සම්මුතිය අවසන් වී ඇත. එය අවසන් වී ඇති නිසාම එය පාලකයන් මැනවින් විග්‍රහකරගෙන සිටිති. ඔවුන් විවිධ කණ්ඩායම් වෙනවෙනම ගෙන විසදුම් ලබාදෙන්නේ ඒ නිසාවෙනි.

අවසන්වූ ෆුටා අරගලයටද පාලකයන් ඒ ලෙසම තම උපක්‍රමය ක්‍රියාවට නැංවීය.ඔවුන් අවසානයේ එම අරගලය වැටුප් අරගලයක් දක්වා විතැන් කිරීමට ක්‍රියාත්මක වූයේ මන්ද 6% වැනි සටන් පාඨයකට සමස්ථ සමාජයටම ආමන්ත්‍රණය කළ හැකි නිසාවෙනි. ආචාර්යවරුන්ගේ සංගමය සුපුරුදු ආසියාතික ලක්ෂණ පෙන්නුම් කරමින් අවසානයේ දී සිය සීමාවේදී පමණක් කටයුතු කළහ.

නමුත් මෙහි ධනාත්මක කාරණය වන්නේ අධ්‍යාපනයේ සම අයිතිය සඳහා වන අරගලය නැවත වටයකින් ආරම්භකිරීමට ඉතා හොඳ කථාකාවක් මේවන විට ආරම්භ වී තිබීමයි. එම සංවාදය තවදුටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය පැණනැගී ඇත.ෆූටා නිසා නොව ජනයා තමන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් වීදියට කැඳවන්නේ කෙසේද යන්න අප හමුවට මේ නිශ්චිත මොහොතේදී අභිමුඛ වී ඇති ප්‍රධාන අභියෝගයයි.
 
what's next ? ඉතිං, ඊට පස්සේ?

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂ මෙතැනින් පසු අධ්‍යාපනය වෙනුවෙන් කරන මැදිහත් වීම මත ඔවුන් ඉහත අරගලය දැක්වූ සහය සහ කළ මැදිහත් වීම කෙතරම් අවංකද යන්න නිර්ණය කළ හැක්කේ පශ්චාත් ෆුටා කාලසීමාවේදීය.

ආචාර්ය දේවසිරි හයිඩ් පාක් පිටියේදී පැවති අවසන් රැළියේදී ප්‍රකාශ කළ අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂිත කරන බවට ප්‍රතිඥාවක් එක්සත් ජාතික පක්ෂයෙන් තවමත් ලැබී නැත. (ලැබෙන්නේද නැත - අවධාරණය මගෙනි) මන්ද පසුගිය සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේද 6% දෙන්නට ඇත්ත වශයෙන්ම අපහසු බවයි. එමණක් නොව ඔහු පවසා සිටින්නේ කිසියම් ආදායම් මට්ටමෙන් පහළ පිරිසකට පමණක් නිදහස් අධ්‍යාපන ලබාදුන්නාම ඇති යනුවෙනි.

එම ප්‍රකාශය අප විටහා ගත යුත්තේ ආචාර්ය හර්ෂගේ පුද්ගලික මතයක් ලෙස නොව එක්සත් ජාතික පක්ෂය නිදහස් අධ්‍යාපන සම්බන්ධව දරණ ස්ථාවරය ලෙසය.

ජනාතා විමුක්ති පෙරමුණ තමන්ගේ නිදහස් අධ්‍යාපනය සුරකිමු යන සටන් පාඨය අවස්ථාවට උචිත පරිදි වෙනස් කරගෙන ඇති බව නීර්ක්ෂණය වෙයි. දඹර අමිල හිමි පවසා සිටියේ නිදහස් අධ්‍යපනය සුරකීමට නිදහස් අධ්‍යාපනය රාජ්‍ය අධ්‍යාපනයෙන් තෙම්පරාදු කරගත යුත් බවයි. එය එක් අතකින් ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ පටන්ම සිදුකරන සිය අවස්ථාවාදී දේශපාලනයේ කඩපතක් වැනිය.

රෝසමල මෙතැන. එන්න මැතන නටන්නට කියා මෙතැනට ජනතාවට හඩගසනා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභිමුඛ වී ඇති අභියෝගය සුළුපටු නොවේ.බොහෝවිට මෙම අභියෝගය ඔවුන්ගේ භූමිය තුළ කටයුතු කිරීමේ ශක්තිය මැනබැලීමේ පරීක්ෂණයක් වෙනවා නොඅනුමානය. එක් පැත්තකින් ශිෂ්‍ය ව්‍යාපාරය මෙතැන් පසු මෙහෙයන්නේ කොතැනට අනෙක් පැත්තෙක් දේශපාලන පක්ෂයන් ලෙස නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටනට ජනයා ඒකරාශී කරන්නේ කෙසෙද යන්නයි.

ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂයන් දෙපළකගේ ජීවිත ෆුටාව වෙනුවෙන් පරිත්‍යාග කෙරුනි. එම නිසාම ශිෂ්‍යයන්ගේ නිදහස් අධ්‍යාපන සටන ෆුටාවේ අවසානයෙන් දියාරු කරනොගෙන මෙහෙයවීමේ වගකීම ඔවුන්ගේ කරමතට වැටී ඇත.
 
ජනයා අරගලය කැඳවීම

නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටන එක් පක්ෂයටකට හෝ කණ්ඩායමකට අයත් කාර්යක් පමණක් නොවන බව ලියමනේ මුලින්ම සඳහන් කලෙමි. එම නිසාම අධ්‍යාපනයේ සම අයිතිය රැකගැනීමේ සටනේ ප්‍රමුඛ කාරණාව බවට ජනයා පත්වෙති.

විශේෂයෙන්ම ලංකා සමාජයේ සියලු වෘත්තිකයන් තමන් උපයන මුදලින් වැඩිම ප්‍රතිශතයක් වියදම් කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි. ඉතා පහළ මට්ටමේ ආදායම් ලබන්නන් පවා තම ජීවිත කාලයම කැපකරන්නේ බොහෝවිට තම දුවාදරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි. ඒ ඔවුන්ගේ ජීවිත සුවපත් කිරීමට ඇති එකම මාර්ගය දරුවන්ට හොදින් ඉගැන්වීම බව ලංකා සමාජයම විශ්වාස කරයි. ලංකාව වැනිරටවල ආර්ථික සාමාජීය සහ දේශපාලනික තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ගේ විශ්වාසයෙහි සත්‍යතාවයක්ද පවතී.

මේ නිසාම නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටනේ පෙරමුණු සටන්කරුවන් බවට දෙමාපියන් පත්කරගත යුතුය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරකීමේ සටන තවමත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස් ආකර්ෂණය කරනවා විනා සමස්ථ ජනයට ආමන්ත්‍රණය කර නැත. ශිෂ්‍ය ව්‍යාපාරය වේවා අවසන් වූ ෆූටා අරගලය වේවා ඔවුන් දෙපිරිසම කටයුතු කලේ ප්‍රධාන බලවේගයට අමන්ත්‍රණය නොකරය. අප නිදහස් අධ්‍යාපනයේ ප්‍රධාන බලවේගය කරගත යුත්තේ ලංකාවේ සමස්ථ ශිෂ්‍ය පරපුරේ දෙමාපියන් වේ. මන්ද යම් හෙයකින් නිදහස් අධ්‍යාපනය අවසන් වී මුදල් ගෙවා ඉගෙනගැනීමට සිදුවුවහොත් එහි බර පැටවෙන පිරිස ඔවුන් බැවිනි. ඔවුන් මේ සටනේ ගාමක බලවේගය වන්නේ සරලව එම ආර්තික කාරණය ඔස්සේය. දේශපාලන කණ්ඩායම අනෙතුත් වෘත්තීය සමිති,සිවිල් සංවිධාන මේ සියල්ලම ද්විතීක බලවේගවන්ය වේ.

නමුත් මේ දක්වා සිදුව ඇති සියලු අරගල දෙස වඩාත් පුළුල්ව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ නිදහස් අධ්‍යාපනය සුරකීමේ සටන ගොනූ වී ඇත්තේ පාලකයන්ගේ ඉල්ලීම් ඉල්ලනවා හෝ පාලකයන් වෙනස් කරනවා මිස අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් ජනතාව වෙනස් කිරීමට නොවේ. එම නිසා පශ්චාත් ෆුටාවෙන් පසු නිදහස් අධ්‍යාපනය සටන් ජනතාව ඒ වෙනුවෙන් පෙළගස්සවන,ජනතාව සමග එක්ව කරන සටනක් බවට පරිවර්තනය කර ගැනීමේ අභියෝගය අපහමුවේ පවතී.

එවිට අප විසින් විග්‍රහකරගත යුත්තේ ෆූටාවෙන් පසු නිදහස් අධ්‍යාපනයේ සටන කිසිලෙසකින්වත් අවසන් නොවන බවයි. එය තවත් එක් අත්දැකීමක් පමණ් වන අතර එය අවසන් වූ ආකාරය සම්බන්ධයෙන් තැවීමට හෝ උකඨලී වීමේ අවශ්‍යතාවයක් නැත.

අවශ්‍යවන්නේ නිදහස් අධ්‍යාපන සුරකීමේ වැදගත් කර සමාජය ඒත්තු ගන්වා ජනතාව අරගලය වෙත කැඳවීමයි. නිදහස් අධ්‍යාපන වළපල්ලට යවන්නට සුබ සිහින දකින පාලකයන් එම සිහිනෙන් අවධිකළ යුත්තේ එම ජනතාවගේ හඩනි.

ජනතාව අරගලය වෙත කැදවන්නේ නොමැතිව පාලකයන්ට ගෙදරට යන්නට කීවට පළක් නැත. ඒ සියලු සටන් නිමාවීමට ඇත්තේ ෆූටාව අවසන් වූවා වැනි අනාගත පෙරොන්දුවලින් පමණි.

අප ඒ ශ්‍රද්ධවූ පෙරොන්දුව අත්සන් කළයුත්තේ ජනතාව සමගය. ඒ නිදහස් අධ්‍යාපන අනාගත පරපුරට ලබාදීමට සුරකිනවා කියන පොරොන්දුවයි.

එම නිසාම " ෆූටාවෙන් පසු නිදහස් අධ්‍යාපන සටන නිමද?" නැත, අලුත් සටන අරම්භකළ යුතුව ඇත.
පසන් ජයතිලක \[Pasan Jayathilake]
(කැළණිය විශ්වවිද්‍යාලය )

දෙහිඅත්තකණ්ඩියේ ආදරනීය නංගිලා මල්ලිලා, මෙතෙක් කාලයකට රජයේ නිදහස් අධ්‍යාපනයෙන් නොලත් දැනුම, ලබා ගැනීමට මග බලා සිටිනවා ඇත....!!

සංහිඳ පාමුල 2012 
පශු වෛද්‍ය පීඨය
පේරාදෙණිය සරසවිය

 ආදරනීය අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, බොහෝ විට රාජ්‍ය මාධ්‍යයේ කැමරා කාචයට අසු වෙන සරසවි සිසුවා ගේ භූමිකාවට වෙනත් අර්ථකතනයක් සපයන්නටයි අප මේ උත්සහ දරන්නේ.මන්ද ඔවුන්ගේ කැමරා කාචය සැබෑ සරසවි සිසුවාට ඉඩක් වෙන් කිරීමට පැකිලෙන නිසාවෙන් අප ගැන මෙලෙස සටහනක් තබන්නටයි මේ හදන්නේ. 

ගොඩාක් දුරට ඔබ මෙවන් අත්දැකීම් විඳලා ඇති. ගිනි ගහන මද්දහනේ අව්වේ විතරක් නෙමෙයි , මොර සූරන වැස්සේ පවා මං මාවත් දිග පියමනිමින් , කැට සොලවමින් මග දෙපස ජනී ජනයා ගෙන් ආධාර විමසන සරසවි සිසුන් ඔබ සහතික වශයෙන් ම දැක ඇතුවා විය යුතුය. නැතිනම් බසයකට ගොඩවී , පලමුවත් දෙවෙනුවත් තෙවෙනුවත් නිදහස් අධ්‍යාපනය ගැන සඳහන් කරමින් ඔබගේ ආධාර විමසනා සරසවි සිසුන් ඔබ දැක ඇතුවා විය යුතුම ය. ඔවුනට ඔබ අනන්තවත් දොස් නගා නැතුව නම් විය නොහැක... රජ දරුවන් කාර් රේස් පදින්නට, බොලිවුඩ් සුරූපිනියන් හා රඟන්නට, සමාජශාලා ගානේ සල්ලාලකමේ යෙදෙන්නට තමන් මිලදී ගන්නා භාණ්ඩ සියල්ලෙන් ම පාහේ බදු ගෙවමින් අරමුදල් සපයන විටදී මුනිවත රකින ඔබ මුව, දහසක් දෙනා වෙත් ගොස් රුපියල් දහසක් මහන්සියෙන් එක් ‍රැස් කරගන්නා සරසවි සිසුවෙකුට පන්න පන්නා තර්ක සපයයි, ලේබල් අලවයි, ඒ පමණක් නොව හැකිනම් බැන අසලින් පන්නා ගනියි. ඔබ නිකමට වත් සොයා බැලුවා ද මෙ අරමුදල් කුමට ද කියා? ඔබට ඒ සඳහා පූර්ණ අයිතියක් ඇත. ඒ සඳහා පිළිතුරු සැපයීමට ද අප ට යුතුකමක් ඇත. මන් ද ඔබ සපයනා මුදලට කුමක් සිදුවන්නේ ද් යන්න ඔබ දැන ගත යුතු බැවිනි. 

සංහිඳ පාමුල ශිෂ්‍යත්ව අරමුදල ඇරඹෙන්නේ මීට වසර ගනනාවකට ඉහතදී ය. ඒ සඳහා හේතු පාඨ කිහිපයක් මුල්වී තිබිනි. ඔබත් මාත් දන්නා පරිදි සරසවියේ නිදහස් අධ්‍යාපනය ලබන්නේ, අසරණ අම්මා තාත්තාගේ දරුවන් ය. එහි රජ දරුවන් සිප් සතර හදාරන්නේ නැත. එනිසා එම අසරණ දරුවන් ට ඇති ආර්ථික අපහසුතා අමුතුවෙන් කිව යුතු නැත. මහපොළට පිං සිදුවන්නට සරසවි සිසුවා තම දවසේ වේල රුපියල් සියයකින් පිරිමහ ගනියි. දන්නා කාලයක සිට මහපොළ 2500 කි. එයට වැඩිවීමක් නැත. එසේ ලැබෙනා මුදලින් කොටසක් ද තම නිවෙස් වෙත එවන සිසුන් නැතුවා නොවෙයි. හදිස්සි මුදල් අවශ්‍යතාවකදී එය නිවසට දැනුම් දීමේ අපහසුව නිසා, සති අන්ත වලදී කුලී වැඩක් හෝ කර එම මුදල උපයා ගන්නා සිසුන් අපමන ය. එවන් සිසුන් ට යම් තාක් දුරකට හෝ සරණක් වීමට සහෝදර අපට හැකි නම් ? 

එලෙස අප සෑම වසරක ම සිසුන් ගෙන් ‍තෝරාගත් සිසුන් පිරිසකට එක් වසරකට ශිෂ්‍යත්ව 3ත් 5ත් අතර ප්‍රමාණය ක් ලබා දෙන්නෙමු. එය පළමු හේතු පාඨය අපට සැපයීය. දෙවැන්න අප සිතට එන්නේ ද නිකන් ම නොවෙයි.පශු වෛද්‍ය පීඨයට සිසුන් තේරී පත් වන්නේ මුලු දිවයිනම නියෝජනය වන පරිදිය. ඔවුන් බොහෝ විටෙක ඉතා දුෂ්කර පාසැල් වල සිට ඉතා අපහසුවෙන් මෙහි පැමිණි අය වෙති. එහෙත් ඔවුන් තමන් ගොඩවුනු ඉනිමගට පයින් ගසීමට තරම් ගුණමකුවන් නොවෙති. ඔවුන් එවන් ඉනිමං තව දහස් ගනනක් ගොඩ නැංවීමට සිතති.

 එවන් උදාර සිතුවිල්ලක හේතු පාඨ ඔස්සේ යන අප සාමාන්‍ය පෙළ ගණිත හා විද්‍යා සම්මන්ත්‍රන මාලාවක් සංවිධානය කරයි.එපමණක් නොව එය අති සාර්ථක ලෙස ක්‍රියාවට නංවයි.එලෙස දෙහිඅත්ත්කණ්ඩිය ජාතික පාසලේ බිත්ති සතර අතර පශු වෛද්‍ය 

පීඨයේ නම ස්ථාපනය වෙයි.එලෙස අප පටන් ගත් ගමන මෙවරත් සංවිධානය කිරීමට නොපසුබස්නා උත්සහයෙන් ක්‍රියා කලෙමු.

මාස තුනක දිගු අරගල සමයක නියැලී සිටි අප , මෙවන් සත් කාර්‍යය කට ද අත ගැසුවෙමු.ප්‍රශ්න පත්තර සූදානම් ය.අප ඇදුරු මඩුල්ල සූදානම් ය.අප සියලු දෙන සූදානම් ය.නොබෝ දිනකින් ම අප දෙහිඅත්තකණ්ඩිය බලා පිටත් වන්නෙමු.එහි අපගේ ආදරනීය ආදරනීය නංගිලා මල්ලිලා , මෙතෙක් කාලයකට රජයේ නිදහස් අධ්‍යාපනයෙන් නොලත් දැනුම , නිදහස් අධ්‍යාපනයේ නිශ්පාදන වන අපගෙන් ලබා ගැනීමට මග බලා සිටිනවා ඇත...මන් ද පෙර අප සිදුකල සම්මන්ත්‍රන වලදී අප ඔවුන්ගේ විද්‍යා දැනුමේ දුර්වලතා හඳුනා ගතිමු.ඔවුන් ඇත්තට ම අසරණ ය.රජයේ නූතන නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපත්තිය ට පිං සිදු වන්නට විද්‍යා ගුරුවරු එම පාසැල් වල පස් පාගා නැත.

 එනිසාවෙන් අම්මේ තාත්තේ...මොහොතක් සිතන්න...ඔබ කරන්නේ නිවැරදිම දෙය ද කියා...අරගලකාරී මානසිකත්වය අතරතුර අප සංවිධානය කරනා මෙවන් යහපත් ව්‍යාපෘති ඔබ දැන සිටියා ද? ඔබ කිසිදු මාධ්‍යක මේ පිලිඹඳ වචනයක් හෝ අසා ඇත් ද? තීරනය ඔබට භාරයි.

පශු වෛද්‍ය පීඨ ශීෂ්‍ය සංගමය - පේරාදෙණිය සරසවිය

Friday, October 26, 2012

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමටනම්


අධ්‍යාපනය පෞද්ගලීකරණය කරවීමේ අරමුණ ඇතිව අදවනවිට අධ්‍යාපනය වෙන්කරන ප්‍රතිපාදන දිනෙන් දින කප්පාදු කරමින් ඇත ..............!! 

මුදලට අධ්‍යාපනය විකිණීම තුළින් අධ්‍යාපනය වරප‍්‍රසාද ඇති පන්තියට පමණක් සීමා කිරීම රජයේ න්‍යාය පත්‍රය බවට පත් වී ඇත.................!!

නිදහස්
අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමටනම්, මීට එරෙහිව සංවිදානය වීම හැර වෙන විකල්පයක් නොමැත .................!!

ගුරු/ශිෂ්‍ය විරෝධය රළ ගසමින් නැඟී එමින් ඇත..................!! 
 
ඊට එරෙහිව ඉමහත් කැපවීමෙන් කටයුතු කරන්නට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සමත් විය
යුතුය ............!!.

මෙය ජාතික ප්‍රශ්නයකි, එය රටේ සියලු ජනතාවත් සමග බද්දවී කල යුතු සටනකි.............!!

ඒවෙනුවෙන් සියලුම බලවේග එක්කරගත් ශක්තිමත් අරගලයක නියලිය යුතුය.............!!

පටු දේශපාලණ හෝ අනෙකුත් ප්‍රතිවිරෝධතාවයන් තවදුරටත් පවත්වා ගත නොහැක...............!!

තිබිය යුත්තෙ එකම එක ප්‍රතිවිරෝධතාවයකි එයනම්, 
නිදහස් අධ්‍යාපනය රැකගනීම වෙනුවෙන් පෙනීසිටින හා එයට විරුද්ධ මතයේ සිටින ප්‍රතිවිරෝධතාවයි..............!!

Thursday, October 25, 2012

කලාවේ කාර්යය අලුත් දෙයක්‌ නිර්මාණය කිරීම විනා එක්‌ පරම්පරාවකට අයත් දෑ තවත් පරම්පරාවකට ගෙන යැමත් පිටපත් කිරීමත් නොවේ

කාම ප්‍රබන්ධ, කුලී ලියන්නන් හා සිංහල සාහිත්‍ය සංස්‌කෘතිය

මේ ලිපියේ අරමුණ වර්තමානයේ සිංහල සාහිත්‍ය සංස්‌කෘතිය වැටී ඇති එක්‌තරා ඛේදවාචකයක්‌ හඳුනා ගැනීමයි. එම ඛේදවාචකය නම් සදාචාරාත්මකභාවය බිඳ වැටීමයි. 

සාහිත්‍ය සංස්‌කෘතිය යන සංකල්පයෙන් අප අදහස්‌ කරන්නේ සාහිත්‍යය හා සබැඳි සියලුම දේවල්ය. ඒ අනුව සාහිත්‍ය විචාරය, සාහිත්‍ය සම්මාන, පතපොත පළ කිරීම, පුවත්පත් සම්මුඛ සාකච්ඡා, සාහිත්‍යකරුවන් අතර කතාබහ, රණ්‌ඩු දබර යනාදී සියල්ලම සාහිත්‍ය සංස්‌කෘතිය යටතට වැටේ. 


රටක සාහිත්‍යයේ දියුණුව යනු විශාල පත පොත ප්‍රමාණයක්‌ පළ වීම නොවේ. සාහිත්‍ය රැස්‌වීම්, පොත් ප්‍රදර්ශන, සාහිත්‍ය අතිරේක, සාහිත්‍ය භෝජන සංග්‍රහ යනාදිය මහා පරිමාණයෙන් සිදුවීමද නොවේ. මේ සියලු දෙයින් ගුණාත්මකව සාහිත්‍යය කෙතරම් දුරට පෝෂණය වේද යන සාධකය මතය. මේ සියලු දෙය ගැඹුරු අර්ථයෙන් සදාචාරාත්මකව කෙතරම් පල දරන්නේ ද යන සාධකය මතය. සාහිත්‍යයේ හරය පරම අර්ථයෙන් ගත් කල සත්‍යය වෙත ගමන් කිරීමයි. බොහෝ ලස්‌සන සළු පිළිවලින් දවටා වසා තිබෙන සත්‍යය නිරාවරණය කොට පෙන්වාදීමයි. ඒ සඳහා සාහිත්‍යකරුවෝ විවිධ මාර්ග අනුගමනය කරති. එහෙත් ඒ සාහිත්‍යමය උපක්‍රම මිස වාණිජමය ප්‍රචාරක උපක්‍රම නොවේ.

දොස්‌තොයෙව්ස්‌කිගේ උතුම් අදහස අතිශේ්‍රෂ්ඨ මහා රුසියන් නවකතාකරුවා වූ දොස්‌තොයෙව්ස්‌කි මෙසේ පවසයි.

"පෞද්ගලික නිදහස යනුවෙන් අදහස්‌ කෙරෙන්නේ ආචාරවත් භාවයෙන් තොර වීම නම් ඒ නිදහස පිටුදැකීම මැනවි. කෙනකුගේ පෞද්ගලිකභාවය අත්හැර දැමීම එයටත් වඩා මැනවි. සාහිත්‍යය එහි නමට ගැළපෙන පරිදි පැවතිය යුතු නම් කොතරම් අමිහිරි වුවද සත්‍යය ප්‍රකාශ කළ යුතුය."

දොස්‌තයෙව්ස්‌කි යථෝක්‌ත අදහස 19 වැනි සියවසේ රුසියාවට වඩා වර්තමාන ලංකාවට වටින්නේ යෑයි අපි සිතමු. මන්දයත් මේ මොහොතේ අපගේ සාහිත්‍ය සංස්‌කෘතිය අතිවිශාල සදාචාරාත්මක පරිහානියකට පත්වී ඇති නිසාය. ඒ නිසා දොස්‌තයෙව්ස්‌කිගේ අතිශේ්‍රෂ්ඨ සදාතනික අදහස්‌ මත පදනම් වෙමින් සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රය වෙත යොමු වෙමු.

සාහිත්‍ය විචාරය කුලී ව්‍යාපෘතියක්‌ වීම

සාහිත්‍ය සංස්‌කෘතිය තුළ වඩාත් තීරණාත්මක හා වැදගත්ම අංශයක්‌ ලෙස සාහිත්‍ය විචාරය පෙන්වාදිය හැකිය. විචාරකයා මොන තත්ත්වයක්‌ යටතේ වුවද කෘතිය වෙත පාඨකයාගේ උනන්දුව වඩවන වැදගත් මැදිහත්කරුවාය. අද වැනි අවධියක ධනවාදයේ ව්‍යාප්තියත් සමග ඔහු අර්ධ වෙළෙඳ නියෝජිතයකු තරමටම පිරිහේන. එහෙත් තමාටම අනන්‍ය වූ දැනුමක්‌ හා දැක්‌මක්‌ සහිත විචාරකයෝ කෘතියේ යථාර්ථයට පිවිසීම මිස පොත් ප්‍රකාශකයාගේ කුලීකරුවන් බවට පත් නොවෙති. වර්තමාන සිංහල සාහිත්‍ය සංස්‌කෘතිය තු-ල එවැන්නෝ විරලය. කුලීකරුවෝ බහුලය. මෙය සාහිත්‍ය සංස්‌කෘතිය අද මුහුණදෙන බරපතළ අභියෝගයකි. පාඨකයා නොමග යවන විචාර බහුල වීම සහ විචාරය හුදු ප්‍රචාරක කර්මාන්තයක්‌ බවට පත්වීම මෙහි කනගාටුදායක ප්‍රතිඵලය.

ප්‍රකාශකයාගේ භූමිකාව

ප්‍රකාශකයා වෙළෙන්දෙකි. ලාභ ගවේෂණය කරන්නෙකි. ඒ උදෙසා කටයුතු කරන්නෙකි. එයින් ඔබ්බට ගොස්‌ සාහිත්‍යය පිළිබඳ ආදරයෙන්, ගෞරවයෙන් සිතන ප්‍රකාශකයෝ විරලහ. නැත්තේම නොවේ.

එහෙත් වර්තමාන සිංහල සාහිත්‍ය සංස්‌කෘතිය තුළ එයට වඩා භයානක ප්‍රවණතාවක්‌ නිර්මාණය වී තිබේ. එනම්, ප්‍රකාශකයා තම වෙළෙඳ බලය යොදා කුලී විචාරකයන් නිර්මාණය කිරීමත් නිර්භයව ලියන විචාරකයන්ට තර්ජනය කිරීමත්ය. උදාහරණයක්‌ පවසමු.

කාම ප්‍රබන්ධ ආරක්‍ෂා කිරීම

අතිශය බොළඳ ප්‍රේම කතා ලියා තරුණ පරපුර රවටන ලේඛකයකු සිටියේය. බොළඳ ප්‍රේම කතා ලියන අතර ටියුෂන් ගුරකු ද වූ හෙතෙම හරිහැටි මග පෙන්වන්නකු නොමැති තරුණ පරපුර නතු කර ගෝල පිරිසක්‌ ද නිර්මාණය කළේය. පසුව පොත් ප්‍රකාශකයකු බවට පත්වූ ඔහු බොළඳ ප්‍රේම කථා වෙනුවට අමු කුණුහුරුප බහුල කාම ප්‍රබන්ධ රචනා කිරීම ඇරැඹුවේය. මේ කාම ප්‍රබන්ධ එක්‌ එක්‌ කුලී ලියන්නන් ලවා වර්ණනා කරගැනීමට ඔහුට හැකිවූ අතර තම ගෝල කොම්පැනිය ලවා මාධ්‍ය ප්‍රචාරයද යහමින් ලබා ගත්තේය. මේ අතර එක්‌ නිර්භීත විචාරකයකු මේ කාම ප්‍රබන්ධකරුවාගේ භයානක කාම ප්‍රබන්ධයක්‌ දැඩි ලෙස විවේචනය කර සතිඅන්ත පුවත්පතක විචාරයක්‌ පළ කළේය. කාම ප්‍රබන්ධකරුවා කිපී දස අතටම දුරකථන ඇමතුම් දී විචාරකයාට තර්ජනය කළේය. එයින් නොනැවතුණු හෙතෙම තම කුලී ලියන්නකු ලවා අර විචාරකයාට පහර ගසා තම කාම ප්‍රබන්ධය අගය කර ඊළඟ සතියේම විචාරයක්‌ පළ කළේය. එහිදී කුලී ලියන්නා කාම ප්‍රබන්ධකරුවාව වර්ණනා කළේ සයිමන් නවගත්තේගමට සමාන භූමිකාවක්‌ ලෙස සලකමිනි.

මේ කතාන්දරය අපට පවසන දෙය නම් සාහිත්‍ය සංස්‌කෘතිය තුළ සදාචාරය ඉතාමත්ම භයානක අන්තයටම පිරිහී ගිය ආකාරයය. අවරගනයේ කාම ප්‍රබන්ධකරුවකුට අවශ්‍ය නම් මුදල් වියදම් කොට කුලී ලියන්නකු ලවා තමා සයිමන් නවගත්තේගම කෙනෙක්‌ බවට පත් කරගත හැකිය.

මෙබඳු ප්‍රශ්න වටහා ගැනීමේදී රුසියන් සාහිත්‍යයේ වටිනාකම

මෙබඳු දුෂ්ට ප්‍රවණතා දෙස ගැඹුරු සදාචාරාත්මක හා මානව දයාවෙන් යුක්‌තව බැලීමට රුසියන් සාහිත්‍යය අපව මෙහෙයවයි. කුලී ලියන්නත් එනම් තම පැවැත්ම උදෙසා කාම ප්‍රබන්ධ උසස්‌ සාහිත්‍යය ලෙස හඳුන්වා පාඨක පිරිස්‌ නොමග යවන්නන් නිර්මාණය වූයේ කෙසේද? එබඳු මිනිසුන්ගේ අධ්‍යාත්මය මෙතරම් නීච තත්ත්වයකින් නිර්මාණය වූයේ කෙසේද? වැනි ප්‍රශ්න මෙහිදී අප ඉදිරියේ ඉස්‌මතු වී පෙනෙන ප්‍රශ්නය.

තමාගේ ජීවිතයට අයහපත් දේ වෙනුවෙන් ඉතා සුළු මුදලකට, කමිසයකට හෝ වොඩ්කා බෝතලයකට තම සිරදඬුවම තමාට වඩා විශාල සිරදඬුවමකට හුවමාරු කරන අසරණ මිනිසුන් පිළිබඳ දොස්‌තයෙවුස්‌කි තම "මළ ගෙයක සටහන්" කෘතියේ විස්‌තර කරයි.

විවිධ වරදවල්වලට හසු වූ මිනිසුන් සයිබීරියාවට ගෙන යන්නේ එකින් එක පුද්ගලයාට වෙන වෙනම අංක ලබා දෙමිනි. සෑම පුද්ගලයකුම අංකයකින් හැඳින්වෙන අතර සියලු කටයුතු අංකය යටතේ සිදුවෙයි. සරලව පවසන්නේ නම් පුද්ගලයා යනු තවදුරටත් අංකයක්‌ පමණි. වසර 15, 20 වැනි දිගකාලීන සිරදඬුවම් ලැබූ අය එහි සිටිති. වසර 3, 4 වැනි අඩු දඬුවම් ලැබූ අයත් සිටිති. දිගුකාලීන දඬුවම් ලැබූ කපටි අය කෙටිකාලීනව දඬුවම් ලැබූ අයගේ අංක මාරු කරගෙන ඉතා කපටිකම් කරති. ඇතැම් විට නම්ද මාරු කරති. මෙසේ රැවටීමට ලක්‌වන්නෝ අන්ත අසරණයෝය මුදල් - හදල් නැති අනුන්ට දාසකම් කරමින් දිවි පවත්වාගෙන යන්නෝය. දොස්‌ත යෙවුස්‌කි මළගෙයක සටහන් නවකතාවේ එය විස්‌තර කරන්නේ මෙසේය.

"මාරු කර ගැනීම සිදුවන්නේ මෙසේය සිරකරුවෝ කණ්‌ඩායමක්‌ සයිබීරියාවට ගමන් කරති. ඔවුහු විවිධ වර්ගවලට අයත් සිරකරුවෝ වෙති. සමහරෙක්‌ බරපතළ වැඩට නියම වූවෝය. සමහරෙක්‌ පතල් වැඩට නියම වූවෝය. අනෙකෙක්‌ නිකම්ම පිටුවහල් කරනු ලැබූවෙකි. සයිබීරියාවට එන අතරමග නිදසුනක්‌ විසින් පෙර්ම් ගුබේර්නියාවේදී මිනීමැරීමේ අපරාධයට තදබල වැඩ ඇතිව බන්ධනාගාරයට නියම වී සිටින එක්‌තරා මිකෙයිලෝව් කෙනකුට සිරකරුවකු වශයෙන් අවුරුදු ගණනක්‌ එහි විසීමට නොකැමැති හෙයින් අනෙකකු සමග මාරු කර ගැනිමට සිතෙයි. ලෙවි නුවණින් අගතැන්පත් මේ කපටි මිනිහා කළයුත්තේ කුමක්‌දැයි දනියි. පළමුකොටම හෙතෙම සුළු දඬුවමක්‌ ලබා සිටින බයාදු චාම් මිනිසකු සිටීදැයි විපරම් කර බලයි. පතලයක අවුරුදු කිහිපයක්‌ වැඩ කිරීම, පදිංචිය සඳහා පිටුවහල් කිරීම, සුළු වැඩ ඇතිව සුළු කලකට සිරගෙට නියම වීම වැනි දඬුවම් මෙයට ඇතුළත් වේ. අන්තිමේදී පෙර ප්‍රවේණි දාසයකු වූ පදිංචිවීම සඳහා පිටුවහල් කරනු ලැබ සිටින සුෂිලොව් වැනි මිනිහකු ඔහුට හමුවෙයි. මේ අසරණයා දැනටමත් අතේ සතේ නැතිව වර්ස්‌ට්‌ එක්‌දාස්‌ පන්සියයක්‌ පමණ පයින් ගමන් කර තිබේ. සම්පූර්ණයෙන් වැහැරී ගිය, සිරකරුවන්ට ලැබෙන සලාකයෙන් පමණක්‌ යෑපෙමින් සිර ඇඳුම පමණක්‌ ඇඳගෙන තඹ දොයිතු කිහිපයක්‌ උදෙසා හැම කෙනකුට ම බැල මෙහෙ කරමින් මොහුට යා මට සිදුවී තිබේ. මිකෙයිලෝව් මොහුට කතා කර යහළු වෙයි. ඉක්‌බිති ඔහු මත් කරවා සිය අදහසට එකඟ කරවා ගනියි.

මළ ගෙයක සටහන් පරිවර්තනය - ජී. එස්‌. බී. සේනානායක-83 පිටුව

මෙසේ බරපතළ දඬුවමට ලක්‌වන අහිංසකයා මැරෙනතුරා සිරගෙය තුළ දුක්‌විඳියි.

වර්තමාන කුලී ලියන්නන්ගේ තත්ත්වය ද තම කෙටි කාලීන සිරදඬුවම දිගුකාලීන සිරදඬුවමක්‌ සඳහා මාරු කරන්නන්ගේ තත්ත්වයට සමානය. ඔවුන් හැම අතින්ම අසරණය. මේ අතරතුර කාම ප්‍රබන්ධකයා ප්‍රබලය. ඔහු පොහොසත් ය. බල සම්පන්නය. ඔහුට අවශ්‍යව ඇත්තේ තම ප්‍රබන්ධය කලාත්මකව උසස්‌ යෑයි ප්‍රකාශ කිරීමේ හඬක්‌ පමණි. සුළු මුදලකට ඒ හඬ අසරණ වූ කුලී ලියන්නන්ගෙන් ලබාගත හැකිය.

සාහිත්‍ය සංස්‌කෘතිය තුළ නැවත සදාචාරය නිර්මාණය කරගන්නේ කෙසේද?

මෙබඳු බරපතළ තත්ත්වයක තිබෙන සිංහල සාහිත්‍ය සංස්‌කෘතිය නැවත නිසිමගට ගත හැක්‌කේ අවංක හා සාහිත්‍යය පිළිබඳව දැනුමක්‌ සහිත පිරිසක්‌ මෙම ක්‍ෂේත්‍රය තුළ දිගුකාලීනව කටයුතු කිරීමෙන් පමණි. දැනට යම් පිරිසක්‌ අවතීර්ණ වී ඇතත් මේ ගුණාංග දෙකම සතුව ඇත්තෝ විරලහ. දැනුම සතු අයට අවංකත්වය නොමැත. අවංකත්වය සතු ඇත්තන්a දැනුමෙන් අඩුය. අද අපගේ සාහිත්‍ය සංස්‌කෘතිය මුහුණපාන ගැටලුව එයයි. එය අවබෝධ කරගෙන ඒ සඳහා විසඳුම් නිර්මාණය කරගත යුතුය. එය අප ඉදිරියේ ඇති එක්‌ ප්‍රධාන අභියෝගයකි.

සමාලෝචනය

උසස්‌ සාහිත්‍ය කෘතිවල ද ලිංගිකත්වය තිබේ. ඇතැම්විට කුණුහරුප ද තිබේ. එහෙත් ඒ කුණුහරුපය හා ලිංගික කොටස ඉස්‌a=මතු කරලීම සඳහා නොව වෙනත් යථාර්ථයන් සමග එය ද එක්‌ මිනිස්‌ යථාර්ථයක්‌ ලෙස සලකමින් පමණි. කාම ප්‍රබන්ධවල ලිංගිකත්වය ඇත්තේ ඊට වෙනස්‌වය. හුදු කාමෝද්දීපනය සඳහා පමණි. එම වෙනස වටහා ගනිමින් ශිෂ්ටසම්පන්න සාහිත්‍ය සංස්‌කෘතියක්‌ නිර්මාණය කිරීමට කැපවීම සියලුම ශිෂ්ටයන්ගේ වගකීම යෑයි හඟිමු.

ලියෝ ටෝල්ස්‌ටෝයිගේ නිර්මාණ ගැන ලියමින් රෙජී වීරමන් විචාරකයා ලියූ වැකියකින් මෙම ලිපිය නිම කරමු.

"කලාවේ කාර්යය අලුත් දෙයක්‌ නිර්මාණය කිරීම විනා එක්‌ පරම්පරාවකට අයත් දෑ තවත් පරම්පරාවකට ගෙන යැමත් පිටපත් කිරීමත් නොවේ." 

කථිකාචාර්ය චින්තක රණසිංහ
සිංහල අංශය, කැලණිය සරසවිය
උපුටා ගැනීම - දිවයින 2012/10/25  

අන්තර් පාඨශාලයීය වාර්ශික ගුටි සමය

කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් සහ තර්ස්‌ටන් විද්‍යාලයේ සිසුන් අතර හටගත් ගුටි කෙළිය කොතරම් බිහිසුණු ද යත් එයට මැදිහත් වූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල ද ගුටි කෑවේ ය. පොලිසිය 'ගුටි දෙනු' මිසක්‌ 'ගුටි කනු' නැත. පොලිස්‌කාරයෙකුත් ගුටි කෑවේ නම් සිද්ධිය අත්‍යන්තයෙන් ම බරපතළ ය. මේ යුද්ධයේ පළමු වෙඩි මුරය තබන ලද්දේ තර්ස්‌ටන් විද්‍යාලයේ ශිෂ්‍යයන් හෝ ශිෂ්‍යයකු බව දැන ගන්නට තිබේ. රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙක්‌ බස්‌ නැවතුම්පළේ සිටින විට තර්ස්‌ටන් ශිෂ්‍යයකු / ශිෂ්‍යයන් ඔහුට පහර දෙන ලදී.

එයට ද හේතුවක්‌ තිබිය යුතු ය. ගුටි කෑ ශිෂ්‍යයා තරුණ උපාසකයන්ගේ සංගමයේ සාමාජිකයකු නම් ද නිතර සිල් සමාදන් වන සුපේෂල ශික්‍ෂාකාමියකු නම් ද 'තර්ස්‌ටන් ශිෂ්‍යයන්' ඔහුට පහර දෙන්නේ නැත.

ගුටි කෙළියේ පදනම කුමක්‌ වේවා මහ පාරේ සිදු වූ එය අන්තර් පාඨශාලයීය මට්‌ටමට යැම බරපතළ වරදකි. ශිෂ්‍යයන්ට මහ පාරේ ගහ ගැනීමට මෙන්ම ගුටි කෑමට ද කිසිදු අයිතියක්‌ නැත. එසේම මෙබඳු ගුටි කෙළි කවදාවත් ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය සටන් ඉතිහාසයට එකතු නොවන බවද, අනාගතයේදී මේ ගැන උදම් ඇනීමට ඔවුන්ට කිසිදු ආකාරයකින් නො හැකි වන බව ද මතක තබා ගත යුතු ය. "අපේ කාලයේදී අපි කොන්ද කෙළින් තියාගෙන හිටියේ මෙහෙමයි" කියමින් ඇතැම් පුද්ගලයන් තම දාමරික පාසල් කාලය ගැන කතා කරනු අප අසා තිබේ. ශිෂ්‍ය සටන් යනු 'ගෞරවනීය' වරදකි. ශිෂ්‍ය ප්‍රජාව ස්‌වකීය අයිතිවාසිකම් මතු පරපුරේ ද ප්‍රයෝජනය සඳහා දිනා ගැනීම පිණිස විශ්වවිද්‍යාල මට්‌ටමෙන් කරන සටන්වල අරමුණ යහපත් බැවින් ඉතිහාසයට එක්‌ වන්නේ ය.

රාජකීය-තර්¨ස්‌ටන් ගැටුමට ඉතිහාසයක්‌ තිබේ. ඒ ඉතිහාසය රටේ ඒකීයභාවය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් හෝ ත්‍රස්‌තවාදයට විරුද්ධ වීම වෙනුවෙන් හෝ හටගත් ඒවා නොව හුදු ප්‍රේම සම්බන්ධයක්‌ හෝ එක්‌ පාසලක ළමයකු අනෙක්‌ පාසලේ ළමයකුගේ ඇඟේ හැපීම වෙනුවෙන් හටගත් ගැටුම් ය. පාසලෙන් පිටතදී හෝ ක්‍රිකට්‌ මැච් එකක්‌ බැලීමට යැමේදී ඇතිවන මේ අමනාපය අන්තර් විද්‍යාලයීය ශිෂ්‍ය ගැටුමක්‌ වන්නේ මෙසේ ය රෝයල් හා තර්ස්‌ටන් විදුහල් වෙන් වන්නේ එක තාප්පයෙනි. මුලින් ම සිදු වන්නේ එක්‌ පාසලක්‌ පැත්තෙන් එන ගලක්‌ අනෙක්‌ පාසල් වත්තට වැටීම ය. එවිට ඊට පිළිතුරු වශයෙන් මේ පැත්තෙන් ගඩොල් භාගයක්‌ යවනු ලැබේ. ඊට පිළිතුරු වශයෙන් එන්නේ සම්පූර්ණ ගඩොලකි. ඒ ආ විට පුටු කකුලක්‌ එවනු ලැබේ. ඊට පිළිතුරු වශයෙන් ලැබෙන්නේ සම්පූර්ණ පුටුවකි. එවිට ඩෙස්‌ක්‌ එකක්‌ මේ පැත්තට එයි. මේ සියල්ල මෙතෙක්‌ කෙරෙන්නේ ඉන්දියාව හා පාකිස්‌තානය දේශ සීමා අතර වෙඩි තබා ගන්නාක්‌ මෙනි.

ඊළඟට ඉන්දියානු හෝ පාකිස්‌තානු හමුදාව දේශ සීමාව හරහා ප්‍රතිවාදී රටට කඩාපනින පරිදි එක්‌ පාසලක සිසුවෝ තාප්පය පැන අනෙක්‌ පාසලට වදිති. එය ප්‍රායෝගික නැත්නම් පාසල් කාලය නිම වූ පසු මහ පාරේදී සටන් කරමු ය යන තීරණයට එති. මෙබඳු සටනක්‌ පාරක පවතින විට ශිෂ්‍යයෝ මනුෂ්‍යයා සතු ඉපැරෑණි ගෝත්‍රික ලක්‍ෂණ එළියට දමති. ඒ අනුව අතට හසු වන හැම දෙයක්‌ ම කුඩු පට්‌ටම් කෙරේ. වාහනවලට පහර දෙනු ලැබේ. එවිට මේ පාසල්වලට කිසිදු සම්බන්ධයක්‌ ඇති හා නැති සියලු සිවිල් ජනයා එක පොදියට ගුටි කති.

මෙසේ පාරවල් දිගේ මරා ගන්නා පාසල් යුගල කිහිපයක්‌ ලංකාවේ ඇත. ඒවායින් ප්‍රමුඛතම යුගලය රෝයල් හා තර්ස්‌ටන් ය. ඊශ්‍රායල-පලස්‌තීන ගැටුම, හින්දු-මුස්‌ලිම් ගැටුම, හුටු-ටුට්‌සි ගැටුම, හිට්‌ලර්ගේ ආර්ය-අනාර්ය ගැටුම, සුදු-කළු ගැටුම හා සමාන මේ ගැටුම මේ, පාසල්වල ඉතිහාසය පුරාම කාලයෙන් කාලයට පැන නැංගේ ය. ශිෂ්‍යයා යනු ඉතාම ඉක්‌මනින් නරක්‌ විය හැකි (vulnerable) සත්ත්වයෙකි. ඒ නරක්‌ වූ පලය එහි ඇති පණුවන් සහ කුණු සමඟ වැටෙන්නේ සාමාන්‍ය ජනයාගේ හිස්‌ මතට ය.

රෝයල්-තර්ස්‌ටන් ගැටුමට සම්බන්ධ කිසිදු ශිෂ්‍යයකුගේ පන්ති තහනම් කිරීම හෝ ඔවුන් පාසල්වලින් නෙරැපීම කළ යුතු නැත. එවිට මරු සිරා සහ අංගුලිමාල බිහි වෙයි. මෙබඳු ගැටුමක්‌ හටගත් විට අදාළ පාසල්වල විදුහල්පතිවරුන් ගෙන්වා ඔවුන්ගේ පතුරු ගැලවීම සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමැතිව සිටි කාලයේදීත් සිදු විය. බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමැතිව සිටින මෙකලත් සිදු වනවා ඇත. එය ඒ විදුහල්පතිවරුන්ගේ ආත්ම ගෞරවයට හානියකි. එසේ නම් අවසන් විසඳුම කුමක්‌ද?. මෙබඳු කලහ ඇති වන විට සිවිල් ජනයා හට පණ ගලවා ගනු පිණිස පාරේ යැමෙන් වැළකී සිටීම ද?

-දිවයින

Tuesday, October 23, 2012

පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් සිදුවන්නේ කුමක් ද?

පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පක්‍ෂව හා විරුද්ධව මේ මොහොතේ ලාංකීය සමාජයේ විවිධ පුද්ගලයන්, කණ්ඩායම් විවිධ වූ අදහස් දක්වමින් සිටී. විශේෂයෙන් ම මේ මොහොතේ ලාංකීය විශ්වවිද්‍යාල සිසුන් ප‍්‍රකාශ කර සිටිනුයේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම යනු මෙරට නිදහස් අධ්‍යාපනයේ අවසානය බවයි. එහෙත් උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක ඇතුළු වත්මන් ආණ්ඩුව ප‍්‍රකාශ කර සිටින්නේ මේ මොහොතේ ආණ්ඩුවේ ප‍්‍රමුඛ කාර්යභාරයවන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම බවයි. එම නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට පක්‍ෂ මතවාද හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට එරෙහිව මත දක්වන්නන්ගේ මතවාද ප‍්‍රවේශමෙන් කිරා බැලිය යුතු ය.

මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹිය යුතු ය යන තර්කය ඉදිරිපත් කරන්නන්ගේ ප‍්‍රධානතම තර්කය වන්නේ ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වල ඉඩකඩ සීමිත නිසා සිසුන් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වන නිසා මෙරටින් විශාල මුදලක් පිටරටට ඇදී යන බව ය. එම නිසා එම මුදල් මෙරට ඉතිරි කර ගැනීමේ අරමුණින් පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට ස්ථාපනය කළ යුතු බවයි. එම නිසා එම මුදල් මෙරට ඉතිරි කර ගැනීමේ අරමුණින් පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට ස්ථාපනය කළ යුතු බවයි. බැලූ බැල්මට මෙය සත්‍ය යැයි කෙනෙකුට සිතිය හැක. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව ගතහොත් වාර්ෂිකව මෙරටින් ඇමරිකානු ඩොලර් මිලියන 48 ක් පමණ මෙලෙස විදේශ ගතවන සිසුන් නිසා මෙරටින් පිටතට ඇදී යයි. මෙම මුදල රුපියල් මිලියන 5400 කි. නමුත් පාලකයන්ගේ මෙම තර්කය යට සැඟවී ඇත්තේ කුමක් ද යන්න තේරුම් ගත හැක්කේ ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත දෙස බැලීමේ දී ය. මෙම රු මිලියන 5400 පිට රටට ඇදී යන බවට කිඹුල් කඳුලූ හෙළන ආණ්ඩුව 2008 වසරේ සීනි ආනයනය සඳහා රු මිලියන 22350 ක් ද කිරිපිටි ආනයනය සඳහා රු මිලියන 32042 ක් ද මාළු සහ ඒ ආශ‍්‍රිත නිෂ්පාදනයන් ආනයනයට රුපියල් මිලියන 12623 ක් ද තිරිඟු පිටි ආනයනයට රුපියල් මිලියන 40563 ක්ද වැය කළ බව 2009 මහ බැංකු වාර්ථාවෙන් පෙන්වා දෙයි.

ඒ අනුව ආණ්ඩුව ලංකාවේ කිරි ඉල්ලූමෙන් 50%ක් මෙරට නිෂ්පාදනය කළේ නම් රුපියල් මිලියන 16000ක් ද ඉතිරි කර ගැනීමට තිබුණි. මෙරට සීනි අවශ්‍යතාවයෙන් 50% ක් රට තුළ නිෂ්පාදනය කළේ නම් රුපියල් මිලියන 11000 ක් ඉතිරි කර ගැනීමට තිබුණි. රට වටා මුහුද තිබියදී ඔවුන් මාළු ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා රුපියල් මිලියන 12623 ක් පිට රටට ගලා යෑමට ඉඩ දෙද්දී අධ්‍යාපනයට වැය වන රුපියල් මිලියන 5400 ගැන කතා කිරීම ගැටළුවකි.

අනෙක් අතට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතු යැයි ප‍්‍රකාශ කරන ආණ්ඩුව ලෝකයේ කිසිදු රටක නොමිලේ අධ්‍යාපනය ලබා නොදෙන බවත් මෙලෙස රජය නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නේ ලංකාවේ පමණක් බවත් එම නිසා තව දුරටත් රජයට නොමිලේ අධ්‍යාපනය ලබා දිය නොහැකි නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට ඇරඹිය යුතු බවත් ය. ලෝකයේ රටවල නොමිලේ අධ්‍යාපනය ලබා නොදෙන බව සත්‍යයකි. එසේ ම ලංකාවේත් නොමිලේ අධ්‍යාපනය ලබා නොදෙයි. ශ‍්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය යනු නොමිලේ අධ්‍යාපනය ලබා දීම නොව පෙර ගෙවුම් අධ්‍යාපනයකි. එනම් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ රටේ ජනතාව කළින් ගෙවූ බදු මුදල් වලිනි. 2011 අයවැය වාර්ථාවට අනුව අපේක්‍ෂිත ආණ්ඩුවේ මුල් ආදායම රුපියල් බිලියන 963.5 කි. ඉන් රුපියල් බිලියන 862.1 ක් ලබා ගන්නේ බදු වලින් ය. එනම් රටේ ආදායමෙන් 87% ක් බදු මුදල් ය. මෙම බදු මුදල් වලින් වැඩි ප‍්‍රතිශතයක් මෙරට සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා පරිභෝජන භාණ්ඩ වලින් ලබා ගන්නා වක‍්‍ර බදු ය. 2009 මහ බැංකු වාර්ථාවට අනුව රජය අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 100 ක් වැය කරනුයේ ජනතා මුදල් වලිනි.

එසේ ම අනෙකුත් රටවල ශ‍්‍රී ලංකාවේ මෙන් වක‍්‍ර බදු මෙතරම් අය නොකරයි. එසේ ම එම රටවල වැටුප් තල නිර්ණය කිරීමේ දී එයට අධ්‍යාපන වියදම් ද ඇතුළත් කොට ඇත. එහෙත් ශ‍්‍රී ලංකාවේ ජීවන වියදම සළකා බලන කොළඹ පාරිභෝගික මිල දර්ශනයේ අධ්‍යාපනය නොමිලේ ලබා දෙන්නක් යැයි සළකමින් එයට බරතැබීමක් සිදු නොකරයි. එවන් තත්ත්වයක් යටතේ මෙරට ජනතාවගෙන් අධ්‍යාපනය සඳහා නැවත වරක් මුදල් අය කළොත් ඔවුන් අධ්‍යාපනය සඳහා දෙවරක් මුදල් ගෙවා ඇත. මෙය ඉතා අසාධාරණ තත්ත්වයකි.

එසේ ම පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම පිළිබඳව ආණ්ඩුවේ ජනප‍්‍රියම තර්කය වන්නේ මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹු විට පෞද්ගලික හා රජයේ විශ්වවිද්‍යාල අතර ඇති වන තරඟය නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ගුණාත්මකව ඉහළ නගින බවයි. එහෙත් රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර තරඟයේදී ලංකාවේ අත් දැකීම් ඉහත කරුණට ඉඳුරාම පටහැනි ය. මෙයට හොඳ ම උදාහරණය වන්නේ මගී ප‍්‍රවාහනය පිළිබඳව රාජ්‍ය ඒකාධිකාරය පැවැති අවධියේ දී ඔවුන් ප‍්‍රකාශ කළේ ප‍්‍රවාහන ක්‍‍‍ෂේත්‍රය තුළ පෞද්ගලික අංශයටද ඉඩකඩ ලබා දිය යුතු බවයි. එවිට රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර තරඟයෙන් මෙරට රාජ්‍ය ප‍්‍රවාහන පද්ධතිය මෙන් ම රටේ ප‍්‍රවාහනය ද දියුණු වන බවයි. එහෙත් මෙම තරඟයෙන් සිදු වී ඇත්තේ කුමක් ද? ලංකා ගමනා ගමන මණ්ඩලය හෙවත් රාජ්‍ය ප‍්‍රවාහන පද්ධතිය බරපතල ලෙස බිඳවැටීමයි. දිනපතා පෞද්ගලික බස්රථ 22000 ක් පමණ ප‍්‍රවාහනය සඳහා එක් වන මේ මොහොතේ ලංගම සතුව ඇත්තේ අබලන් වූ බස් රථ 4000 ක් පමණි. මෙයිනුත් දිනපතා ප‍්‍රවාහනයට එක් කළ හැකිව ඇත්තේ මීටත් වඩා අඩු බස් රථ සංඛ්‍යාවකි. එසේ ම ප‍්‍රවාහන සේවය පෞද්ගලික අංශයට විවෘත කරන මොහොතේ ආණ්ඩුව ප‍්‍රකාශ කළ ප‍්‍රවාහනයේ දියුණුව ඇති වී නැත. රාත‍්‍රී 7 න් පසුව අතුරු මාර්ග වල බස් රථ නොමැත. එයට හේතුව ලාභය අරමුණු කරන පෞද්ගලික අංශය තමන්ගේ මූලික අරමුණු කරගෙන ඇත්තේ සේවාව නොව ලාභය නිසා ය. එසේ ම ඔවුනට අවශ්‍ය පරිදි ප‍්‍රවාහන ගාස්තු ඉහළ දමමින් පවතී.

එලෙස ම මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල හා රාජ්‍ය විශ්වවිද්‍යාල අතර තරඟයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල ජයගනු ඇත. උදාහරණයක් ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාල වල මහාචාර්යවරු සහ ආචාර්යවරු ඒවායේ සේවය ලබන්නේ ඉතා අඩු වැටුප් ලබමිනි. එහෙත් පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට ඇරඹුවහොත් ඔවුන් වැඩි වැටුපක් සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට නොබැඳෙනු ඇතැයි දිය හැකි සහතිකය කුමක් ද? එලෙස ආරාර්යවරු රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හැර ගියහොත් මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අර්බුදයට ලක් වනු නොඅනුමානය.

එසේ ම ආණ්ඩුවේ තවත් තර්කයක් වනුයේ ලංකාවේ සිසුන් 130000 ක් පමණ උසස් පෙළ සමත් වුවත් විශ්වවිද්‍යාල වලට බඳවා ගත හැක්කේ 20,000 ක් පමණ ප‍්‍රමාණයක් නිසා තවත් සිසුන් විශාල ප‍්‍රමාණයකට අසාධාරණයක් සිදුවන බවත් එම නිසා එම සිසුන් ට උපාධි ලබා ගැනීමට නම් මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළ යුතු බවත් ය. ලංකාවේ උසස් පෙළ සමත් වන සිසුන්ගෙන් විශ්වවිද්‍යාල වලට බඳවාගන්නේ ඉතා සීමිත ප‍්‍රමාණයක් බව සත්‍ය කරුණකි. එහෙත් එම සිසුන්ගෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී උපාධියක් ලබා ගත හැක්කේ 1% ටත් අඩු පිරිසකට ය. මක් නිසා ද යත් ලංකාවේ ජනතාවගෙන් 42% ක් ඩොලර් 2 ට අඩු ආදායම් ලබන්නන්ය. ඔවුන්ට තම දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යැවීමේ හැකියාවක් නොමැත. එසේ ම රටේ පවුල් 16000 ක් සමෘද්ධිලාභී පවුල් ය. ඔවුන් යැපෙනුයේ රජයෙන් ලබා දෙන සහනාධාර මත ය. එවන් තත්ත්වයක් යටතේ ඔවුනට තම දරුවන් ට උපාධියක් ලබා දීම සඳහා මුදල් වැය කළ නොහැක.

උදාහරණයක් වශයෙන් මාලඹේ අරඹා ඇති SAITM හි වෛද්‍ය උපාධිය සඳහා රුපියල් ලක්‍ෂ 65 ක මුදලක් අය කරයි. එනම් තම දරුවා වෛද්‍යවරයෙකු කිරීමට එක් වසරකට රුපියල් ලක්‍ෂ 13 ක මුදලක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් මසකට රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් ගාස්තු වශයෙන් ගෙවීමට අවශ්‍ය වේ. එවැනි විශාල මුදලක් වැය කොට තම දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැක්කේ ඉතා ම සීමිත පිරිසකට ය. ආණ්ඩුවේ අරමුණ වන්නේ වැඩි සිසුන් පිරිසකට උපාධිය ලබා දීමට නම්, ඔවුන් සිදු කළ යුතුව ඇත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා සිසුන් ප‍්‍රමාණය වැඩි කිරීමයි. ඒ සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට වෙන් කරන ප‍්‍රතිපාදන ප‍්‍රමාණය වැඩි කළ යුතු ය. එහෙත් රජය සිදු කරන්නේ එම ප‍්‍රතිපාදන ප‍්‍රමාණය තවදුරටත් කප්පාදු කිරීමය. එසේ නොමැතිව පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය ඇරඹූ පමණින් අධ්‍යාපන හැකියාවන් ඇති සිසුන් හට අධ්‍යාපනය ලබා ගැනීමට හැකියාව නොමැත. ඒ සඳහා ආර්ථික හැකියාවද අවශ්‍ය වෙයි.

උසස් පෙළ සමත් වූ සිසුන්ගෙන් වැඩි පිරිසකට උපාධිය ලබා දිමට ආණ්ඩුවට සැබෑ වුවමනාවක් ඇත්නම් සිදු කළ යුතු ව ඇත්තේ එම විශ්වවිද්‍යාල වලට වෙන් කරන ප‍්‍රාග්ධන ප‍්‍රතිපාදන ප‍්‍රමාණය වැඩිකොට ඒවායේ පහසුකම් වැඩි කොට විශ්වවිද්‍යාල වලට වැඩි සිසුන් ප‍්‍රමාණයක් බඳවා ගැනීමට හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමයි. නමුත් ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාල වලට බඳවා ගත හැකි සිසුන් සංඛ්‍යාව පවා බඳවා නොගන්නා අවස්ථා දක්නට ලැබේ. එසේ ම උපාධිධාරීන් වැඩිපුර නිර්මාණය කිරීමට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතු යැයි ආණ්ඩුව තර්ක කරන්නේ දැනට සිටින උපාධිධාරීන්ට ද රැකියා ලබා දීමේ ක‍්‍රමවේදයක් නිර්මාණය නොකළ තත්ත්වයක් යටතේ ය.

එසේ ම පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹිය යුතු යැයි තර්ක කරන්නන්ගේ ප‍්‍රධාන තර්කය වනුයේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් පිටවන උපාධිධාරීන්ගේ භාෂා දැනුම හා හැකියාවන් නව ලොවට නොගැළපෙන බවයි. එසේ නම් ඒ පිළිබඳව වගකිව යුත්තේ මෙරට අධ්‍යාපන ප‍්‍රතිපත්තීන් සකසන පාලකයන් ය. බොහෝ විශ්වවිද්‍යාල වල පාඨමාලා වසර ගණනාවකින් නවීකරණය වී නොමැත. එසේ ම බොහෝ පීඨ වල අවශ්‍ය තරම් ආචාර්යවරුන් නොමැත. භෞතික උපකරණ නොමැත. මෙවන් තත්ත්වයක් යටතේ උපාධියක් ගුණාත්මක කිසි ලෙසකින්වත් ඉහළ දැමිය නොහැක.

එසේ ම පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම වෙනුවෙන් පෙනී සිටින වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානතම තර්කයක් වන්නේ ලෝකයේ ජනප‍්‍රිය විදෙස් විශ්වවිද්‍යාල මෙරට ආරම්භ කළ හොත් ඉන්දියාවේ හා ආසියානු කලාප වල සිසුන් එම විශ්වවිද්‍යාල වලට ඇතුළත් වීමට මෙරටට පැමිණෙනු ඇති බවත් එවිට අපට විශාල විදේශ විනිමයන් ලැබෙනු ඇති බවයි. මෙය සම්පූර්ණ මුලාවකි. විශේෂයෙන් ම ඉන්දියාව. සිංගප්පූරුව, මැලේසියාව, ජපානය වැනි රටවල් වල ද මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටා ඇත එම රටවල ජනතාව උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවන්නේ නම් ඔවුන් යුරෝපා රටවල් හැර ලංකාවට පැමිණෙන්නේදැයි සිතීම විහිළුවකි. එසේ ම එම සිසුන් හා ශ‍්‍රී ලංකාවේ සිසුන් ඇතුළත්වන්නේ විදෙස් විශ්වවිද්‍යාලවල ලංකාවේ ශාඛාවකටය. එනම් එම මුදල් එම රටවලට ඇදී යෑම වැළැක්විය නොහැකි ය.

එසේ ම විදෙස් විශ්වවිද්‍යාල මෙරට ආරම්භ කළ පමණින් අධ්‍යාපනය සඳහා විදෙස්ගතවන සියළු දෙනා සිසුන් මෙරට නතරවනු ඇතැයි ආණ්ඩුවට දිය හැකි සහතිකය කුමක් ද? බොහෝ සිසුන් වීසා රැගෙන යුරෝපීය රටවලට ගමන් කරන්නෙ උපාධිය ලබාගැනීමටත් වඩා එම රටවලට ගොස් රැකියාවක් සොයා ගැනීමට ය. ඔවුන් මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹූ පමණින් මෙරට නතර වන්නේ නැත. එසේ ම විදෙස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවීම මෙරට එක්තරා සමාජ ස්ථරයක මානසික අවශ්‍යතාවයකි.

මේ අනුව මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹිය යුතු යැයි ගෙන එන තර්ක පිටුපස සැඟවී ඇති සැබෑ උවමනාව කුමක් දැයි අප අවබෝධ කරගත යුතු ව ඇත. එම තර්ක ඉතා සාධාරණ යැයි බැලූ බැල්මට අපට සිතිව හැකි ය. එහෙත් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹුණහොත් මෙරට නිදහස් අධ්‍යාපන අයිතිය වැළලෙනු ඒකාන්ත ය. ඒ හරහා මෙරට අනාගත පරපුරේ බොහෝ දෙනෙකුට අධ්‍යාපන වරම් අහිමි වෙනුද ඒකාන්ත ය.


ගිනි සිලුව - ජනවාරි කලාපය

Monday, October 22, 2012

ජාතික චින්තනවාදීන් සහ ‘දේශ හිතෛෂීන්‘ නව ලිබරල්වාදය වැළඳ ගැනීම

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය දින සියය සපුරද්දී නිමාවට පත් වීය. තම ඉල්ලීම් පිළිබඳ රජයෙන් ලැබුණු ප්‍රතිචාරය පිළිබඳ සෑහීමකට පත් නොවන බව ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියාය. මෙම ප්‍රශ්නය විශ්ව විද්‍යාල ආචාර්යවරුනට හෝ රජයට ජයක් හෝ පරාජයක් නොමැතිව රටටත් ජනතාවටත් ජයග්‍රහණය හිමිවන ආකාරයට විසඳීමට තමන් සමත් වූ බව එහිලා මැදිහත්කරු ලෙසින් ක්‍රියාකළ ඇමති බැසිල් රාජපක්ෂ පසුව ප්‍රකාශ කොට තිබුණි. එයින් කියැවෙන්නේ ආරම්භයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පිරිනැමූ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ මෙය බවද?

තම අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ අනුමතිය සහිතව ආචාර්ය සමිති සම්මේලනය සමග සාකච්ඡාවට බට මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශේෂිත කණ්ඩායමක් ලෙස රජය කල් තබා සැළකූ හෙයින් ඔවුන් විශේෂිත වැටුප් තලයක පිහිටුවන දිගු කාලීන විසඳුමක් ඉදිරිපත් කිරීම තමන් රජයට යෝජනා කරන බව මුලින් කියා සිටියේය. නමුත් ඒ වෙනුවට ඔහු පසුව නිශ්චිත නොවන මධ්‍යවාර වැටුප් යෝජනා ඉදිරිපත් කළේ තම අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ පිළිබඳ ඔහුගේ මුල් අදහස් වෙනස් කරගත් නිසාද? අය වැයෙන් මෙහා කිසිදු වැටුප් වැඩි කිරීමක් නොකිරීම රජයේ ප්‍රතිපත්තිය බව රජය මුල සිටම කියා තිබුණි. නමුත් ඇමති බැසිල් රාජපක්ෂ ගේ මැදිහත් වීමෙන් සිදුවූ සාකච්ඡාවලදී රජය වැටුප් වැඩි කිරීම පිළිබඳ කිසියම් නම්‍යශීලී බවක් ගැනීමේ ඉඩකඩ පෙනෙන්නට තිබුණි. ඒ, වැටුප් හැරුණු කොට ප්‍රතිපත්තිමය කරුණු මුල් කරගත් අනෙක් ඉල්ලීම් සඳහා රජය ඉදිරිපත් කළ කැබිනට් සටහනක් මත දෙපාර්ශ්වය එකඟතාවකට පත්ව සිටි තත්වයක් යටතේය.

මේ තත්වය වෙනස් වන්නට පටන් ගත්තේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම ප්‍රශ්නයට මැදිහත්කරුවෙකු ලෙසින් ක්‍රියා කිරීමට රජය ඇතුළතින්ම එල්ල වූ විරෝධය උග්‍රවීමත් සමගය. ආචාර්ය සමිති සම්මේලනය ගාල්ලේ සිට කොළඹට ආ පා ගමනට විපක්ෂයේ දේශපාලන නායකයන් එකතු වීම මෙම විරෝධය කුළු ගැන් වූ කොටස් වලට පිටුවහලක් වූ බව පෙණුනි. ආචාර්ය සමිති සම්මේලනය ප්‍රතිපත්තිමය කරුණු මුල් කරගත් ඉල්ලීම් මත මෙවර වැඩ වර්ජනයට එළඹ සිටීමත් හුදු ජනාධිපති කොමිසමක් පිළිබඳ පොරොන්දුව මත ඔවුන් තම වර්ජනය අත් නොහැරීමත් මත ‘රෙජීමය වෙනස් කිරීමේ‘ අරාබි වසන්තය බඳු විප්ලවයක් ගෙන ඒමේ පෙරමුණක් ලෙස මෙම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ යැයි රජය අර්ථ නිරූපණය කළේ බුද්ධි වාර්තා මත එවැන්නක් තමන් තරයේ විශ්වාස කරන බව පෙන්වමිනි. එනිසා අධ්‍යාපනය සඳහා රජය දළ ජාතික නිශ්පාදිතයෙන් සියයට හයක් වැය කළ යුතුය යන යෝජනාව මත ආචාර්ය සමිති සම්මේලනය වැඩවර්ජනය දිග් ගස්සන්නේ නම් එය ‘රෙජීමය වෙනස් කිරීමේ‘ අරමුණින් කරන්නක් යැයි පිළිගෙන එයට එරෙහිව තම සමස්ත බලය යෙදීමට රජය තීරණය කළ බවක් එක් අවස්ථාවක දී පෙන්නුම් කෙරිණි.

මෙම අවස්ථාවේදී ආචාර්ය සමිති සම්මේලනය පරාජය කිරීම සඳහා රජයේ පාර්ශ්වයෙන් හැකි සියලු බලවේග සටනට කැඳවනු ලැබිණි. මෙම වැඩ වර්ජනය ආරම්භයේදී ඊට එරෙහිව එක් පුවත් පත් ලිපියක් පමණක් ලියා තම සුපුරුදු වෙනත් මාතෘකා කරා ගොස් සිටි ජාතික චින්තනවාදී ආචාර්ය නලින් ද සිල්වා යලිත් සටනට පිවිසියේ ඒ අනුවය. ‘දේශි හිතෛෂී‘ අමාත්‍ය විමල් වීරසිංහ ද මෙවර සටනට පිවිසියේ ය. ඔවුන් දෙදෙනාගේ අනුගාමික පිරිස් ද, මාඕ වාදීන්ව සිටි දේශපාලනඥයන්ද ඔවුන් හා එක්ව සටනට පිවිසියහ. ආචාර්ය සමිති සම්මේලනයේ කිසිම ඉල්ලීමක් නොදිය යුතු යැයි එම ඉල්ලීම්වල සාධාරණ භාවයට අභියෝග කරමින් විවිධ තර්ක ඉදිරිපත්කළ ආචාර්ය නලින් ද සිල්වා ආචාර්යවරුන්ගේ වර්ජනය පෙන්නුම් කළේ දෙමළ බෙදුම්වාදී –‘ඇන්ජීඕ‘ සහ ‘ඩයස්පෝරා‘ – බටහිර කුමන්ත්‍රණ ව්‍යාපාරයේත් බෞද්ධ විරෝධී කතෝලික ව්‍යාපාරයකත් අතකොලුවක් ව ‘රෙජීමය වෙනස් කිරීමේ‘ කටයුත්ත අරමුණු කොට ගත් එකක් ලෙසිනි. අධ්‍යාපනය පිළිබඳ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් යහපත් යැයි කියන අතර ඒ පිටුපස ‘රෙජීමය වෙනස් කිරීමේ‘ කුමන්ත්‍රණයක් ඇතැයි කී විමල් වීරවංස සහ කණ්ඩායම ද මෙම වර්ජනය පරාජය කළ යුතු යැයි කියා සිටියාය. වර්ජනය අවසන් වූ පසු මෙම චෝදනාව පිළිබඳ The Island පුවත් පතේ කර්තෘ ප්‍රභාත් සහබන්දු පළකළ පහත අදහස නලින් ද සිල්වා සහ විමල් වීරවංස කණ්ඩායම් වලටද අදාළ ය. “විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සැබෑ අභිප්‍රාය රජය කී පරිදි රෙජීමය වෙනස් කිරීමක් විණි නම් ඔවුන් කවරදාකවත් සාකච්ඡා මඟින් එකඟතාවකට එනු ඇතිව තිබිණි ද? එසේ කීම ඇමති නැවැත්විය යුතුය. රජය විශ්ව විද්‍යාල ගුරුවරුන්ගෙන් සමාව අයැද සිටිය යුතුය.“

ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අසාධාරණ යැයි අයුතු සහගත යැයි ආචාර ධර්මීය නොවේ යැයි කියමින් තම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාජ තර්ක ඉදිරිපත් කිරීම නලින් ද සිල්වා සහ විමල් වීරවංස කණ්ඩායම් අනු දත් උපක්‍රමය වීය. උදාහරණයක් දක්වතොත් ආචාර්ය සමිති සම්මේලනයේ මූලික ප්‍රතිපත්ති ඉල්ලීම වූ අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් රජයේ වියදම් වශයෙන් වැය කළ යුතුය යන යුනෙස්කෝ දර්ශකයට රජයේ වියදම් පමණක් අයිති නොවේයැයි රජය මුල සිටම ගෙන ගිය ව්‍යාජ තර්කය මත පිහිටා ආචාර්ය නලින් ද සිල්වා ද තෝරා ගත් උද්ධෘතයක් ගෙන හැර පාමින් එම ඉල්ලීම නිශේධ කරන්නට දැරූ උත්සාහය තම දේශපාලන අරමුණ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්නට ඔහු සූදානම් බව පෙන්නුම් කළේය. නොඑසේ නම් ඔහු උපුටා දැක්වීම් කළ අදාල වාර්තාවේ අධ්‍යාපනය සඳහා කෙරෙන රජයේ වියදම් සියයට 6 ක්වත් විය යුතුය යන නිර්දේශය ඇතුළත් පහත සඳහන් උද්ධෘතය ඔහුට මඟ හැරුණේ කෙසේද?

“Increasing public spending on education, in place of expenditure under budget heads, should be regarded as a necessity everywhere, and especially in developing countries, since it is a vital investment for the future. As a rule of thumb, not less than 6 percent of the GNP should be devoted to education ………..“ Learning The Treasure Within Report to UNESCO of the International Commission on Education for the Twenty-First Century, Jacques Delors (p. 165) මෙහි ‘public spending‘ යනුවෙන් හැඳින්වෙන්නේ රජයේ වියදම් මිස මහජනයා පෞද්ගලිකව කරන වියදම් හෝ පෞද්ගලික අංශයේ වියදම් නොවේ.

ජාතික චින්තනවාදී නලින් ද සිල්වා සහ දේශහිතෛෂී විමල් වීරවංස සහ ඔවුන්ගේ අනුගාමිකයන් ආචාර්ය සමිති සම්මේලනයට එරෙහිව ගෙනගිය මෙම ව්‍යාපාරයේ වඩාත්ම උත්ප්‍රාසජනක අංගය වන්නේ ඔවුන් ගෙනහැර පෑ එබඳු ව්‍යාජ තර්ක නොව ආචාර්යවරුන්ට එරෙහිව මෙම සටනේදී ඔවුන් ගත්තේ නව ලිබරල්වාදයේ පැත්ත වීමයි. අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන රජයේ වියදම් කපා හැරීම, රාජ්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සහ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පහත හෙළීමේ වත්මන් රජයේ වැඩ පිළිවෙළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ යටතේ සහ ලෝක බැංකුවේ ණය ආධාර යටතේ ගෝලීය ධනවාදයේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති අධ්‍යාපන ක්ෂේත්‍රයට ආදේශ කිරීමේ ප්‍රථිපලයකි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය වෙනුවෙන් නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම තමනට පවරා ගෙන ඇත්තේ මුදල් අමාත්‍යංශ සහ මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ය. උසස් අධ්‍යාපනයේ නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇමති එස්. බී. දිසානායක භාර ගෙන ඇත. ඉතින් ලංකාව අධිරාජ්‍යවාදයේ ග්‍රහණයෙන් මුදවාලීමට ශපථ කළ ජාතික චින්තනවාදීන් සහ ලෝක බැංකුවේ ‘ප්ලග්‘ ගළවන බවට ශපථ කළ ‘දේශ හිතෛෂීන්‘ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ලිබරල්වාදය ක්‍රියාත්මක කිරීමට එරෙහිව රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීම සඳහා ආචාර්ය සමිති සම්මේලනය ඉදිරිපත් කළ ඉල්ලීම් පරාජය කිරීමට පෙරමුණ ගැනීම ඉතිහාසයේ සරදමක් නොවේද? මෙම සටනේදී නව ලිබරල්වාදී අමාත්‍ය එස්. බී. දිසානායකගේ සහායට ලංකාවේ ලිබරල් පක්ෂයේ නායකයා වන රජීව විජේසිංහත් නලින් ද සිල්වා සහ විමල් වීරසිංහ සමග එක් වීම තනන්නේ අපූර්ව මිත්‍ර පෙරමුණ ක් නොවේද?

නව ලිබරල්වාදී ධනේශ්වර මාවත ගන්නා රජයකට “කඩේ යෑම“ පිළිබඳ එල්ල වන විවේචන ගැන නලින් ද සිල්වා කියන්නේ තමා සේවය කරන්නේ රජයට නොව ජනතාවට බවයි. එමෙන්ම මෙම අධ්‍යාපන ක්‍රමය බටහිර ගැති බවත් එය සහමුලින්ම විනාශ කළ යුතු බවත් නලින් ද සිල්වා ගේ මතය යි. ජනතාව ගේ යහපත වෙනුවෙන් පෙනී සිටීම යනු යුද්ධය අවසන් වී වසර තුනක් ගෙවී ඇති තැන යළි දෙමළ බෙදුම්වාදයක් පැන නැඟීම පිළිබඳ අනියත බියකින් ජනතාව පොළඹවා මහජන සුභ සාධනය කප්පාදු කිරීමේ නව ලිබරල්වාදී විය ගසේ ඔවුන් බැඳ තබන්නට රජයට උදව් වීමද? මෙරට සාමාන්‍ය ජනයාට තම දූ පුතුන්ට ඉහළට උගන්වා තම සමාජීය ජීවිතය යහපත් කරගැනීමට තවමත් ඇති ප්‍රධානම මඟ වන රජයේ අධ්‍යාපනය විනාශ කර දැමීමට කෙරෙන ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හමුවේ ජනයා ජාතිකවාදයෙන් මත් කොට නිහඬ කිරීම ද?

අපගේ වත්මන් අධ්‍යාපන ක්‍රමය අපට බටහිරින් ලැබුණක් බව සැබෑය. නමුත් නිදහසින් පසු ලංකා සමාජය අද පවත්නා තත්වයට ගොඩ නැඟුණේ මෙම අධ්‍යාපනයේ පිහිටෙනි. පවත්නා අධ්‍යාපනක්‍රමයට විකල්පයක් ගොඩ නොනඟා එය සහමුලින් විනාශ කිරීමේ උග්‍ර අන්තවාදී ආස්ථානය යෝජනා කරන නලින් ද සිල්වා ඒ අර්ථයෙන් නූතනවාදියෙකි. වත්මන් රජය නිරතව සිටින්නේ පවත්නා අධ්‍යාපන ක්‍රමය විනාශ කිරීමේ කටයුත්තේ යැයි වටහා ගත් හෙයින් එම විනාශය වැළැක්වීමට කටයුතු කරන ආචාර්ය සමිති සම්මේලනයට එරෙහිව තමා රජය සමග අත් වැල් බැඳ ගත්තේ යැයි නලින් ද සිල්වා කියන්නේ දැයි අපි නොදනිමු. නමුත් වත්මන් රජය පවත්නා අධ්‍යාපන ක්‍රමය විනාශ කරමින් සිටින්නේ ඊට විකල්ප ජාතික අධ්‍යාපන ක්‍රමයක් ඉදිකිරීමේ අරමුණින් නොවේ. හුදෙක් ගෝලීය ධනවාදී වෙළෙඳ පොලේ රැකියා සඳහා ශ්‍රමිකයන් බවට අපගේ තරුණ තරුණියන් පුහුණු කරන අධ්‍යාපන ක්‍රමයක් බිහිකිරීම සඳහා ය. අප කළ යුත්තේ ජාතියට මඟ පෙන්වන නව බුද්ධිමත් පරපුරක් බිහි කිරීම සඳහා පවත්නා රාජ්‍ය අධ්‍යාපනය රැක ගෙන ඒ මත අපට අවශ්‍ය නව ජාතික අධ්‍යාපනයක් ගොඩ නැංවීම යි.

කුමුදු කුසුම් කුමාර [ Kumudu Kusum Kumara]
උපුටාගැනීම- යුක්තිය

හිසට පරාල ඇණ ගසා තී‍්‍රමා ඝාතනය කර වසර 24 යි.

Padmasiri thrima withana

2012 ඔක්තෝම්බර් 22 වැනිදාට, එනම් අදට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 24 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් සංහාරයට ලක්වූ සමාජයක, පද්මසිරි ති‍්‍රමාවිතාන සොයුරාගේ ඝාතනය සුවිශේෂී වන්නේ ඔහු ජීවිතය පූජා කළේ මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීම උදෙසා වන බැවිනි. 1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ නියමුවකු වූ තී‍්‍රමා අංකුර කවියෙකි. චිත‍්‍ර ශිල්පියෙකි. ඒ හැමටම වඩා ඔහු සැබෑ මිනිසෙක් විය.

     ති‍්‍රමා දකුණේ අම්බලන්ගොඩ කහව ගල්දූව ගමේ දී 1964 මාර්තු මස 01 දින උපත ලැබීය. ඔහුගේ පියා ගාල්ල උසාවියේ භාෂා පරිවර්ථකයෙකු ලෙස සේවය කළේය. මලනුවන් තිදෙනෙකුට හා එක් නැගනියකට වැඩිමහල් සොහොයුරා වූ පද්මසිරි ත‍්‍රීමාවිතාන අහිංසක පවුලක, මවගේ පියාගේ හා සොයුරු සොයුරියන් සිවු දෙනෙකුගේ දහසක් පැතුම් ඉටු කරන්නට සිටි එකම බලාපොරොත්තුව විය. මූලික අධ්‍යාපනය අම්බලන්ගොඩ කහව විද්‍යාලයෙන් හැදෑරූ ඔහු උසස් අධ්‍යාපනය සදහා 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට තේරීපත් විය. ඔහු බ්ලොම් ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටියේය.

වඳ වී ගිය ගුරු පරපුරක හංස ගීතය හෙවත් ගුරු ගීතය


ගුරුවරයා වූ කලි උත්තම පුරුෂයෙකි. ඔහු පහනෙන් පහනක් දල්වන්නෙකි. පරපුරක් ගොඩනඟන්නෙකි. සමාජයට වගකිව යුත්තෙකි. අතීතයේ සිට දේවත්වයෙන් පිදුම් ලැබූවෙකි. එහෙත් ලාංකීය සමාජය ගතහොත් ගුරුවරයාගේ භූමිකාව වූ කලී කාලානුරූපී ව වෙනස් වූවකි.

නිදහස් අධ්‍යාපනය ලැබීමත් සමඟ ම ඈත පිටිසර ගම්මානවල පවා පාසල් බිහිවන්නට විය. දුර බැහැර පාසලකට එකල ගුරුවරයකු පැමිණීම යනු පහන් පැලට දෙවියකු වැඩම කිරීම හා සමාන ය. ගුරුවරයා පැමිණෙන දිනයේ ගැමියෝ මඟට වී බලා සිටිති. ඔහු ගෙනා බඩු මුට්ටු කරෙන් ගෙන යති. ගමේ හොඳ ම නිවසේ ඔහුට නවාතැන් ලැබෙයි. කොයි දෙසින් පැමිණිය ද ඔහු ටිකින් ටික ගමේ සාමාජිකයකු බවට පත්වෙයි. ඇතැම් විට එකල ගුරුවරයා ඒ ගමෙන් ම විවාහයක් කරගෙන ගමේ ම පදිංචි වෙයි.

පැරණි සමාජය වූ කලී අල්පේච්ඡ සමාජයකි. එය බරපතළ පාරිභෝගික සමාජයක් නොවේ. ඒ නිසා ලද දෙයින් සතුටුවීමේ හැකියාව එකල සමාජයේ පැවතිණි. එසේම ලබන වැටුපෙන් ජීවත්වීමේ හැකියාව ඔවුනට පැවතිණි. ඒ නිසා ම ඔවුහු තම වෘත්තියට ආදරය කළෝ ය. ගෞරව කළෝ ය. අප්‍රමාණ වූ කැපකිරීම් කළෝ ය. මේ ගීතය මඟින් ද චන්ද්‍රසේකරයන් තේමා කරගන්නේ එබඳු දෙවිවරුන් බඳු ගුරු පරපුරකට මෙන්ම ඔවුන්ගෙන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය පරපුරකට මුහුණ දෙන්නට සිදුවූ ඛේදවාචකයයි. රචකයා ඉතාම සංයමශීලී ව සියුම් ගෙත්තමක් ලෙසින් මේ අනුභූතිය ඉදිරිපත් කරනු ලබයි.

පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ

පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ

දරුවන්ට ශිල්පදානය දීම පිණිස දුෂ්කර ක්‍රියා කරමින් තම රාජකාරිය ඉටු කරනු වස් පිය නැඟූ අතීත ගුරු පරපුර මෙහිදී රසිකයාට සිහිපත් වේ. අන් අයට මඟ පෙන්වූ ඔවුහු නොමඟ ගිය පිරිසක් නොවූහ. එහෙත් සමාජය ක්‍රමයෙන් සංකීර්ණ වන්නට විය. 


සුනිල් එදිරිසිංහ

ක්‍රමයෙන් පාරිභෝගික සමාජයක් බිහිවන්නට විය. ගුරු දෙවියන්ගෙන් ශිල්ප ලැබූ පරපුර මේ පාරිභෝගික සමාජයේ ගොදුරු බවට පත්විය. තමා ඉහළ යාමේ නිරන්තර අරගලයක ඔවුහු නිරතවන්නට පටන්ගත්හ. රචකයා මූසිලයන් ලෙස හඳුන්වනු ලබන්නේ ආධ්‍යාත්මික ගුණ වගාව අමතක කොට ධනවාදයේ ගොදුරු බවට පත්වූ පරපුරයි. පැරණි ගුරුවරයා කියාදුන් සාරධර්මවලට එරෙහි පරපුරයි.

”සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ”

මේ අයුරින් මූසිලයන් සියල්ල අමතක කොට ඉහළ නැඟීමට වෙර දරද්දී අධ්‍යාපනයේ වටිනාකම් හෑල්ලු වෙයි.

”උගත මනා ශිල්පය මයි මතු රැකෙනා” නැමැති ප්‍රකාශය “මතු රැකෙනා ශිල්පයමයි උගතමනා” බවට පරිවර්තනය වෙයි. පාසල් යාමට වඩා “රටකජු” විකුණා හෝ මුදලක් අතට ගැනීමට ඊළඟ පරපුර පෙලඹෙන්නේ එබැවිනි.


රෝහණ වීරසිංහ

සාමා සහ අමරලා යනු බාල පරපුරයි. ඔවුහු පෙළපොත් පිටු ඉරා ඒවායෙන් රටකජු ගොටු සදන්නට පෙලඹීම ප්‍රබල උපහාසයක් ජනිත කරවයි. මෙහි දී රචකයා උගත මනා ශිල්පයට, ප්‍රාණවාචී අරුතක් සපයයි. තමා පිල්කඩට විසිවීයාම පිළිබඳ ව සන්තාපයට පත්වූ උගත මනා ශිල්පය, තමාට දඬුවම් කරන ලෙසට වේවැලෙන් ඉල්ලා සිටී. රචකයා මේ සමාජ සංස්කෘතික ඛේදවාචකය සියුම් උපහාසයකින් ඉදිරිපත් කර තිබේ.

නැවතත් රචකයා තම දැක්ම යොමු කරන්නේ, පැරණි ගුරුවරයා ගේ ඛේදවාචකය දෙසටයි. මේ සමාජ පරිවර්තනයට ඔහුට ගොදුරුවිය නොහැකි ය. ඔහුගේ මුල් ශක්තිමත් වී ඇත්තේ තරගකාරී අවස්ථාවාදී චින්තනයක් මත නොවේ. මේ නිසා ඔහු ද ඔහුගෙන් යැපෙන්නන් ද මේ සමාජ පරිවර්තනය ඉදිරියේ අතරමං වෙයි. අසරණ වෙයි.

රන් මසු පට පිළී අබරණ උරණ වෙලා

සමන් පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා

ගුරු නිවහනම කඳුළට උල්පතක් වෙලා

ලොකු හාමිනේ ඇත බිතුසිතුවමක් වෙලා

මේ ගුරුතුමා ගේ බැංකු ගිණුම් තර වී නොමැත. තම ඇස් දෙක බඳු දියණිය විවාහ කර දීමේ අර්බුදයට එතුමෝ ගොදුරු වෙති. ඇය ගෙදරට ම නාකි වෙයි. අලුත්, ඇඳුම්, ස්වර්ණාභරණ, දෑවැද්ද ඇයගෙන් දුරස් වී ගොසිනි. වෙනදා මහා දෙවොලක් බඳු වූ ගුරු නිවස අද කඳුළේ උල්පත වී තිබේ. ගුරුතුමා ගේ බිරිය අජීවී බිතුසිතුවමකි. මේ අතීත දිසාපාමොක්ලාට නූතන අර්ථ රටාව තිළිණ කළ ඉරණමයි.

අතීත ගුරුවරයාට නමස්කාර කරන රචකයා වර්තමාන ගුරුවරයා කෙරෙහි වෛරීය දෘෂ්ටියක් යොමු නොකරයි. සමාජ ක්‍රමය විසින්, ආර්ථික වාදියකුª බවට පත්වූ වර්තමාන ගුරුවරයා දෙස රචකයා යොමු කරන්නේ සානුකම්පික දෘෂ්ටියකි. ගුරුවරයකු ලෙස ජීවිතයේ වැඩි කාලයක් කැප කළ මහින්ද චන්ද්‍රසේකරයන් මේ දෙස උපේක්ෂාවෙන් බලන්නේ මේ සියලු ම අනුභූ®තීන් ඔහු ද පෞද්ගලික ව විඳ ඇති බැවිනි.

මට මගේ පියා සහ මව සිහිවෙයි. ඔවුන් රජයේ ගුරුවරු ය. පාසල නිමාවීමෙන් පසුව ද ඔවුහු කොට්ටම්බා ගස් යට වාඩිකරවා, විභාගවලට පෙනී සිටින සිසුන්ට ඉගැන්වූහ. ඔවුහු ඒ වෙනුවෙන් මුදල් අය නොකළ හ. 

මම ටියුෂන් ගුරුවරයෙක් මි. මම ශිෂ්‍යයන්ගෙන් මුදල් අය කරමි. එසේ නොකළොත් මට අද සමාජයේ දෙපයින් සිට ගැනීමට නොහැකි ය. මම පාරිභෝගික සමාජයක සාමාජිකයෙක්මි. මගේ දෙමාපියන්ට වඩා මගේ අවශ්‍යතා වැඩි ය. මා අවට සමාජය මට බලකර සිටින්නේ මගේ ශිල්පය විකුණා ජීවත්වන්නටය. 

ඒ නිසා, මම මගේ ශිල්පය විකුණමි. නිකම් නොව දැන්වීම්, පත්‍රිකා බෙදමින් අඬබෙර ගසමින් විකුණමි. එහෙත් මගේ දෙමාපියන් සිහිවෙද්දී මා තුළ ද සියුම් ලජ්ජාවක් ඇතිවෙයි. එහෙත් ඒ ලජ්ජාව යටපත් කරගෙන මම විකුණමි. විකිණෙමි. එහෙත් මූසිලයකු වීමට හෝ මූසිලයන් බිහිකිරීමෙන් වැළකීමට මම දිවා රෑ උත්සාහ කරමි.


මහින්ද චන්ද්‍රසේකර ඇතැම් විට එය ද අසාර්ථක වනු ඇත. මේ ගීතය කනවැකෙන හැම මොහොතකම මට මගේ දෙමාපියන් සිහිවේ. එවිට සියුම් වේදනාවක් මගේ ශරීරය පුරා දිවයයි.

රෝහණ වීරසිංහයන් ගේ සංගීතය ගැන හෝ සුනිල් එදිරිසිංහයන් ගේ් ගායනා විලාසය ගැන අටුවා ටීකා ටිප්පණි අනවශ්‍ය ය. ඔවුහු ඔවුන්ගේ කාර්යභාරය මනාව ඉටු කරති.

මගේ ඇස මත මේ මොහොතේ මැවෙන්නේ පැරණි දුෂ්කර වැඩවසම් ගම්මානයකි. අකල් වැස්සකින් මඟ දෙපස මඩ වී තිබේ. ජාතික ඇඳුම ඇඳගත් මැදිවියේ ගුරුතුමකු මඩ කඩිති මැදින් පැනගෙන මේ දුෂ්කර මඟෙහි ගමන් කරයි. 

“චිංගීස් අයිත්මාටව්” නැමැති රුසියානු ලේඛකයාගේ ‘ගුරු ගීතය” නවකතාවේ ‘දුයිෂෙන්’ නැමැති ගුරුවරයාට වඩා පෞරුෂයක් මේ ගුරුවරයා සතුය. ඔහු එනතුරු සරම්, බැනියම් ඇඳගත් ළමෝ බලා සිටිති. 

වැව් තාවුල්ල පසු කරන විට පාසල දුරට පෙනෙයි. ළමයින් කෑකෝ ගසන හඬ ඇසෙද්දී ගුරුතුමා ගේ මුවඟට සිනහවක් නැඟෙයි. මම පෑන පසෙක තබා ඒ ගුරුතුමාගේ දෙපතුල ළඟ වැඳ වැටෙමි.

~~ධම්මික බණ්ඩාර~~

(සිළුමිණ)

Saturday, October 20, 2012

කර්නල් විදුහල්පතිලා

පන්නිපිටිය ධර්මපාලය ඉදිරිපිටම විශාල ඩිජිටල් කටවුට් එකකි. එහි විමලසේන විදුහල්පතිතුමා කර්නල් විදුහල්පති වෙලාය. කර්නල් තොප්පිය සහිත හමුදා නිල ඇඳුමින් සැරසී ඉන්න එතුමාගේ ඡායාරූපය දැක්කාම දුකේ බැරිය. විදුහල්පතිතුමාගේ සුදු ඇඳුම ඇඳලා පාසලේ ටයිපටය බැඳලා වෙනදාට තියෙන විදුහල්පති තේජස කර්නල් ඇඳුමේ අහලකවත් නැතිය. කර්නල්කමට ඇඳලාට වඩා අන්දලා වගේය. කැමැත්තෙන් කර්නල් වුණ පෙණුමක්නම් විමලසේන විදුහල්පතිතුමාගේ මූණේ නැතිය. කැමැත්තට වඩා බයට කර්නල් වෙලා වගේය. බයට කර්නල් වුණ මුහුනක හැටි හිතා ගත හැකිය. ඇති විදුහල්පතිකම වෙනුවට නැති කර්නල්කමකට ඇන්ඳාම එහෙමය. ඇඳුම කර්නල් වුණාට මුහුණ විමලසේනමය. අනේ පවුය. අපේ රටේ හැම හෙණේම අධ්‍යාපනයටමය. හැම එකාම අධ්‍යාපනයටම මූත‍්‍රා කරන්නේ ඇයිදැයි සොයා බැලිය යුතුමය.

ආණ්ඩුව තෝරාගත් විදුහල්පතිවරු පිරිසක් කර්නල්කමට ඇන්දුවාය. පසුගියදා පදක්කම්ද පැළැන්දුවාය. ඒ බොහෝ දෙනා කොළඹ හා ප‍්‍රධාන නගර ආශ‍්‍රිත ජාතික පාසල්වල විදුහල්පතිවරු හා වරියන්ය. විදුහල්පති නම ඉදිරියට කර්නල් දුන්නේ ඇයිදැයි ජනතාවට දැනගැනීමට අයිතියක් තිබේය. ආණ්ඩුව කියන්නේ, විනය පිරිහිලා නිසා විනය තකා කර්නල් කළා කියලාය. විනයනම් පිරිහී ඇත්තේ පාසලේ විතරක් නොවේය. පාසල එක තැනක් විතරය. එතනත් කර්නල් පට්ටම දී තියෙන්නේ, විනය රකින අයටම දැයි වෙනම සොයා බැලිය යුතුය. පාසල්වලට ළමුන් ඇතුළත් කරද්දී ලක්ෂ ගණනින් පගාව ඉල්ලන්නෙත් ඔය ඇතැම් විනය රකින ලොකු තැන්වලින්මය. දැන් ළමුන් ඇතුළත් කරද්දී විදුහල්පතිලා වෙනුවට කර්නල් විදුහල්පතිලා ඒ වැඩේ කරන්න ගියාම මරේ මරුය. එතකොට ඒ අය ගෙනියන්න වෙන්නේ සාමාන්‍ය උසාවියට නොව හමුදා අධිකරණයටදැයි දන්නේ නැතිය.

විනය පිරිහීම කර්නල් පැළඳීමෙන් විසඳිය හැකිද යන්නත් ගැටලුවක්ය. ඒ, පිරිහීම ඇත්තේ, පාසලේ විතරක් නොවන නිසාය. පිරිහීම රට පුරාය. සමාජය තුළමය. එහෙමනම් උත්තරය මුළු රටම හමුදාකරණය කිරීම දැයි වෙලාවකට හිතෙනවාය. පාඩුවේ හිටපු විදුහල්පතිවරු හදිස්සියේම කර්නල් තනතුරුවලට කැඳවූයේ රටම හමුදාකරණය කිරීමේ ආරම්භයක් ලෙසටදැයි හිතෙනකොටත් බයය. ඒත් හිතෙන එක නවත්තාගන්නට බැරිය.

විදුහල්පතිලා කර්නල් විදුහල්පතිලා වන විට අධ්‍යාපන ඇමති බෑයෝ අඳින්නේ, කාටදැයි හිතා ගත හැකිද? ඔවුන් නිල ඇඳුම නොඇන්දත් දැනටමත් හමුදාපතිවරුන් වගේමය. පාසලේ ගුරුවරුන්ටත් හමුදා තනතුරක් දුන්නාම සියල්ල ඉවරය. කලින් ළමුන්ගේ කණ පලන්නේ ගුරුතුමාය. දැන් කෝප‍්‍රල්ය. ලුතිනන්ය. කර්නල්ය. දේශපාලන පත්වීමෙන් ඉහළ ආ අධ්‍යාපන අධ්‍යක්ෂකලාද බි‍්‍රගේඩියර්ලාට ඇන්දත් අපටනම් පුදුමයක් නැතිය.

ඉතිහාසයේදී කර්නල්කමට අන්දපු නැති හැබෑම කර්නල්ලා විදුහල්පතිවරු ලෙස සිටියාය. ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් විදුහල්පතිවරයෙකු වූ කර්නල් කුඩලිගම මහතා එවැන්නෙක්ට හොඳම උදාහරණයක්ය. ඒ කර්නල්කමට ඇඳලා හෝ අන්දවලා නොවේය. පාසලේ ශිෂ්‍ය භට බලකායේ සිටම ඉහළට පැමිණි සැබෑම කර්නල්වරුය. දවස් පහක පුහුණුව සහිත බ්‍රොයිලර් කර්නල්ලා නොවේය. නූතන කර්නල්ලා කුඩලිගමලාට අලගු තියන්නවත් මදිය. ගෝඨාභය මහතාගේ කර්නල්ලා බී කර්නල්ලාය. බී කිව්වේ බ‍්‍රාවෝ කර්නල්ලා නිසා නොවේය. ‍බ්‍රොයිලර් කර්නල්ලා නිසාය.

ලංකාවේ අධ්‍යාපනයට ඇති එකම ප‍්‍රශ්නය විදුහල්පතිලාට කර්නල්කම නොතිබීම නොවේය. විවෘත ආර්ථිකය බෝකළ සියලු විෂබීජ පාසලට පැමිණීම විදුහල්පතිලා කර්නල් කිරීමෙන් නතර කළ නොහැකිය. අද පාසල් ළමුන්ගේ ‘වින්දනය’ පිරිමැසීමට මදන මෝදක, කැහි බොහෙත් ප‍්‍රමාණවත් නැතිය. ෆාමසිවල ඇති මානසික රෝගීන්ට දෙන බෙහෙත් ගිලින තරමට තත්වය බරපතළය. දරුවෙකුට ජංගම දුරකථනයක් නැතිනම් ඒක දෙමව්පියන්ගේ තත්වයට හොඳ මදිය. ඒ නිසා අන්තර් ජාල පහසුකමද ඇති දුරකථනය දරුවාට දෙන තාත්තා හොඳම තාත්තාය. ඒ දරුවෝ දරුවෝ නිල් චිත‍්‍රපටි බලනවා විතරක් නොවේය. විදුහල්පති කර්නල්ලා නොදන්නා බොහෝ දේ දැන් ළමයි දන්නවාය. ඒ ධනවාදයේ නූතනත්වයට හා දෙමව්පියන්ගේ අදට ගැලපෙනකමට පින් සිදු වෙන්නටය.

විදුහල්පති කර්නල් වූ පලියට ජල පහසුක්ම් නැති පාසලට ඒ පහසුකම ලැබෙන්නේ නැතිය. ගමට තාමත් කැකිරිමය. ඒ අසාධාරණකම් නොඉවසන දරුවෝ සහ දෙමව්පියෝ එරෙහිව නැගී සිටින විට ඒවාට මුහුණදීමට දින පහේ පුහුණව නම් බොයිලර් කර්නල්ලාට හොඳටම ප‍්‍රමාණවත් මදිය. යුද්ධය පැවති කාලයේත් විමලසේන විදුහල්පතිතුමා පන්නිපිටිය ධර්මපාල විදුහලේ විදුහල්පතිමය. දැන් යුද්ධය ඉවරය. විදුහල්පති විමලසේන දැන් කර්නල් විදුහල්පතිය. මේ විදිහටම කර්නල් දොස්තරලාද හැදිය හැකිය. ඒ රෝහල්වල බෙහෙත් හිඟට උත්තර හොයන්නට නොව රෝහලේ පාලනයටය. කර්නල් ප‍්‍රාදේශීය ලේකම්ලා හා කෝප‍්‍රල් ග‍්‍රාමසේවකලාද නරකම නැතිය. නීති හදන තැන පාර්ලිමේන්තුවය. එතන නිකම්ම මන්ත‍්‍රීලා ඉඳලා වැඩක් නැතිය. කර්නල් මන්ත‍්‍රීලා පත්කළ හැකිය මරේ මරුය. නැවතත් කරුණාට කර්නල් කරුණා අම්මාන්ම විය හැකිය. මර්වින් සිල්වාත් එවිට ආචාර්ය කර්නල් මර්වින්ය. අන්තිමට ජනතාව හැර අන් සියල්ලෝම කර්නල්ලාය. ඒකට කියන්නේ හමුදා පාලනයක් කියලාය. දැන් නොකියා කරන්නට මුලපුරා තියෙන්නේ ඒකය. විමලසේන විදුහල්පතිතුමා කර්නල් විමලසේන කළේ ඒකටය. ජනතාව සීරුවෙන් සිටිල්ලාය. ගොඨාභය ඇතුළු කර්නල්ලා පහසුවේන් සිටිනු ඇතිය.

සුනිල් හඳුන්නෙත්ති
උපුටා ගැනීම - ලක්බිම

Friday, October 19, 2012

ඒකාධිපතියකු හා සටන් වැද.... නොහොත් ම්ලේච්ඡත්වය සහ මුග්ධභාවය සමඟ කළ ශිෂ්ටත්වයේ අරගලය


පිටිසරබද කඳුකර සීතල ගමක නිල්ල පිරුණු වටපිටාවක අනගාරික ධර්මපාලතුමා විසින් ආරබ්භ වසර 100 ක්‌ පැරණි විදුබිමක හෝඩියේ පංතියේ සිට දහතුන වසර දක්‌වා අඛණ්‌ඩව අකුරු කිරීමට මම වාසනාවන්ත වීමි. නිදහස්‌ අධ්‍යාපනයේ මධුරතම ප්‍රතිඵල සහ අධ්‍යාපනයේ නිදහසේ සොඳුරුතම ස්‌මරණ සහිතව ප්‍රථම පංති සාමාර්ථ හා ස්‌වර්ණ මුද්‍රිකා සමඟ බොහෝ විබැඳුම් සමත් වීමි. 1988/89 භීම සමයේ එක ටයරයේ දැවෙන හිසසුන් සොයුරන්ගේ ක්‌වන්ධ අසලින් පාසල් ගියෙමි. අප වැඩිවිය පැමිණ ලොකු ළමයින් වූයේ එතැනදීය. එතැන් සිට සිව් දශකයක්‌ වන මගේ දිවියේ අඛණ්‌ඩව කරමින් සිටි යමකට කැප කිරීමකට ඉලක්‌කමක්‌ අගයක්‌ ලැබුණේ මේ නුදුරු තෙමස තුළය. ඒ 6% ය. ඔබ එය දනියි. එය මුද්‍රණය කළ ටීෂර්ටය මම දැනුදු හැඳ සිටිමි. ගාල්ලේ සිට කොළඹ තෙක්‌ අනුරාගී අරගල මාවතේ ගැටී උපන් දිය පට්‌ටා සොම්නසින් අතගා බලමි.

ඒ අනුස්‌මරණීය පාගමන අතරත ලංකා ඉතිහාසයේ යෝධ කටයුත්තකට නොහොත් පෑනෙන් ලියූ කඩුවෙන් මකා දැමීමට අසමත් දැවැන්ත ඓතිහාසික ව්‍යqහයකට එක්‌වෙමින් සිටින්නාක්‌ බඳු හැඟීමක්‌ විසින් වෙනස්‌ මත දැරූ අප දහස්‌ ගණනක්‌ එකට බැඳ දමා තිබිණි. ලා නිල්පාට ඇඳුම් ඇඳ ගාලු පාර දිගේ පෙර පාසල්වල පිපි මල් කැකුළු හිටගෙන සිනා පිරි මුවින් ඔවුන්ගේ හෙට දින නිධානය වූ 6% ඉලක්‌කමට අත්පුඩි ගැසූහ. ගුරු ලියෝ ඔවුනට මග කියූහ. මේ දැන් පාසල ඇරි ආ කුඩා දියණියක්‌ සුදු ඇඳුමින්ම තමා පසුකර යන "වෙනස්‌ මිනිසුන්ට" ටොපි බෙදුවාය. ඒ අයට පයිප්පයකින් වතුර දුන් තාත්තා කෙනෙක්‌ මෙසේ කීය. "මහත්තයෝ මේ සටන පාවා දෙන්න එපා. එහෙම උනොත් මේ වතුර වස වේවි". ආදරණීය පියාණෙනි. අපි සටන පාවා නොදුන්නෙමු. හිස්‌ දෑතින් මිනිසුන් සේ වැඩට ගියා පමණි. ලංකාවේ මෑත ඉතිහාසයේ විපරීත අධිබලයක්‌ හිමි රෙජීමයකට විරුදුව ගල් කැටයක්‌ හෝ කිසිවෙකුත් නොගසනා සමයෙක අපි සාර්ථක සටන් පෙරමුණක්‌ සෑදුවෙමු. එහෙත් අපේ පෙරමුණ භාර නොගත්, අත්පඬුර නොගත් අප නැසීමට වෙර යෙදූ, අපවාද නැගූ සැලසුම් තැනූ බොහෝ ජනයනී, පාරිභෝගිකයන් මිස තමා පුරවැසියන් බව නොදත් බොහෝ හිතවතුනි අප දිවි හිමියෙන් පෙන්වූ අනතුරට සවන් - නෙත් වැසූ ජනයනි, නුඹලාගේ දරුවන්ගෙන් ඇතැම් විට සිරගෙවල් පිරෙනු ඇත. සමාජයේ පදාස පිටින් නාය යනු ඇත. මානව සංවර්ධන දර්ශක වැළලී යනු ඇත. මහා ගනඳුරක්‌ පැතිරෙනු ඇත. නුඹලාගේ දිවියට නපුරු කාලයක්‌ උදාවනු ඇත. මිනිසුනි, කනගාටුයි. අපි තාවකාලිකව සමුගත්තෙමු. නුඹලා තැනූ සිංහල බෞද්ධ ජාතිකවාදී ඒකාධිපතිත්වය, ම්ලේච්ඡත්වය සහ මුග්ධභාවය සමඟ කිරුළු පැලඳ සිටි බැවිනි.

හොරු - තක්‌කඩි සහ කාලකණ්‌ණි

සිරකරුවන්ද මනුෂ්‍යයන් වූ මුතු ඇටයක්‌ වන් කොදොව්වේ උපාධි, පශ්චාත් උපාධි, පශ්චාත් ආචාර්ය උපාධි, පේටන්ට්‌ බලපත්‍ර, ජාත්‍යන්තර විමර්ශන සටහන් සහිත අපි අතළොස්‌සක්‌ හොරු - තක්‌කඩි හා කාලකණ්‌ණි වීමු. එය දඹ රත්රන් බඳු සත්‍යයක්‌ ලෙස අධම ජනමාධ්‍ය කිහිපයක්‌ විසින් ජනගත කරන ලද්දේය. කිපී - පිබිදී ආ කිසිවකුත් නැත. දේශපාලනය වෙනුවට සත්ත්ව පාලනය ඇති රටක නොහොත් අශ්ලීල ලොකු කඩයක්‌ බවට පත්ව ඇති රටක එසේ කිසිවෙක්‌ අවදි නොවෙති. තෙමසක්‌ සරසවි වැසී ඇත. උසස්‌ පෙළ දරුවෝ අඳුරේය. ඉදින් අපි කාලකණ්‌ණි වෙමු. දරුවෙනි, ඔබේ තෙමසක දිවි පමාවට විභාග පමාවට දිවි නසා නොගන්න. එම දිවි පමාවට වඩා සිය දිවි කුසුම අතහැරි, පරාල ඇණ වැදුණු - නිය ගැලවුණු පරපුරක්‌ නිසා ඔබ හුස්‌ම ගන්නා බව සිහි කරති. ඔබේ දිවිය නැගී සිටින්නේ නිදහස්‌ අධ්‍යාපනයේ උරුමයට දිවි පිදූවන්ගේ සොහොන් කොත මතය. ජානක (මාතලන්) සහ සිසිත සරසවි විරු දරුවෙනි. දූයිෂෙයින් කීවා සේ අපට හොඳ ගුරුවරුන් වීමට බැරිවීම පිළිබඳව සමාවුව මැනවි. මගේ සරසවි සිසු - ගුරු දිවියේ වසර 18 ක වකවානුවේ (1994 - 2012) දුක්‌බරම - වරදකාරීම මොහොත වූ කලී විරු සිසු සමරුවේ විනාඩි දෙකේ නිහැඬියාව බව තවත් සැඟවිය යුතු නැත. ඔබේ සුසානය මත අපි හුස්‌ම ගනිමු. දැන් අප සියලු දෙනාද නිදහස්‌ අධ්‍යාපනය වෙනුවෙන් මරා දමා ඇති නිසා, පිළිතුරු පත්‍ර බැලූ පසු ජය ලබා සරසවි පැමිණ අවශ්‍ය නම් අපවද සිහි කළ හැකිය.

ෆුටාවේ පාවෙල්ලා

ඒකාධිපති රාජ්‍යයක්‌ සමඟ සාකච්ඡා පිණිස අපට දිය හැකි හොඳම සමූහය දුනිමු. නිර්මාල්, ජනක්‌, කුමුදු, අනුර, ආනන්ද, සංජීව හා අමිල හිමි ඇතුළු සමූහයට වඩා අත්දැකීම්, ඉවසීම, ප්‍රඥාව, කේවල් කිරීමේ ශක්‌තිය ඇති වෙනත් කණ්‌ඩායමක්‌ අපට නැත. එහෙත් ඉර බටහිරින් නොනගී. ඉබ්බන්ට පිහාටු නැත. කොළ එළියක ඡායාද නැත. දින 100 කි. අපි ළමුන් වෙනුවෙන් වැඩට යමු. ශ්‍රී ලංකා වැසියනි, සමාවන්න ඔබගේ රජය දරුණු වැඩිය. "අධ්‍යාපනය" ඔවුනගේ වචනයක්‌ නොවේ.

ඒකාබද්ධ ප්‍රකාශයේ රජයේ කොටස

මෙය අයත් වන්නේ "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නගා සිටුවීමට රජයේ කැපවීමක්‌ ඇත" යන මැයෙන් ලියූ උසස්‌ පෙළ දරුවකුගේ වාක්‍ය රචනාවකට ය. වචන, වචන හා වචන පමණි. ජනතාව සමඟ බරපතළ ගිවිසුමක්‌ අවධි කළ අපට වචන ලැබී ඇත. අප කළේ ක්‍රීඩාවක්‌ නොවේ. දින 100 ක මහා පා ගමනකි. කළුගලක්‌ වුවද මෙළෙක්‌ විය යුතුය. එහෙත් හිතවතුනි, ඔබේ ඒකාධිපති රජය එසේ නැත. සමාවන්න. අපි තාවකාලිකව සමුගනිමු. වැටුප් වැඩිවීම නම් ඔබේ හිත් කැළඹූ, සසළ කළ, දුටුවන් කම්පා කළ ලක්‍ෂ ගණන් වූ පඩි වැඩිවීම් නැතිව හිස්‌a දැතින් එහෙත් මිනිස්‌සු සේ අපි නැවත දේශන ශාලාවේ හිට ගනිමු. එදින ද ඔබ 6% අපරාජිත ටී ෂර්ටය දකිනු ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය හා චෝදනා

ඒකාබද්ධ විපක්‍ෂය හෙවත් දේශපාලන පක්‍ෂවල සහයෝගීතාව පිළිගැනීම පිළිබඳ අවලාද නැගිණි. ෆුටාව යනු වෘත්තීය සමිතියකි. එය අරගලකාරී දේශපාලන පක්‍ෂයක්‌ නොවේ. අරගලකාරී දේශපාලන පක්‍ෂයක න්‍යාය පත්‍රය නොගෙන වෘත්තීය සංගමයක සටන් අවසානයකින් සැනසීමට අපට සිදු වුණි. අරගලකාරී පක්‍ෂය මගේ නම් ඒකායන අභිලාෂය යි. ඒ කරා කෙදිනක හෝ අප යා යුතුය. ආචාර්ය සටන නම් කිරිකළයට වැටුණු දේශපාලන ගොම බිංදුව ගැන මට දුකක්‌ නැත. එම ගොම බිංදුව ද ජනතාවගේ නිර්මාණයකි. තිබෙන විපක්‍ෂය පැල්ලම් සහිත වූයේ ෆුටාවේ වරදින් ද? මිනී නොමැරූ පක්‍ෂ මෙරට නැති වීම අපේ වරදක්‌ ද? ඊනියා වම්මු කොහි ද? නිර්මාල් රංජිත් කොටියෙක්‌ නම් කරුණා අම්මාන් හාවෙකු දැයි රජය කිව යුතුය. පිල්ලෙයාන් සමනලයෙකු දැයි පැහැදිලි කළ යුතුය. කෝටි දෙකහමාරක දේශපාලන අභිලාෂ වෘත්තීය සමිතියක දෙතුන් දහසක්‌ ඉදිරියේ තබා පලා නොයන්න. දේශපාලන සුජාත කන්‍යාවක වූ විපක්‍ෂයක්‌ ආනයනය කරමුද? ජනතාවක්‌ ආනයනය කරමුද? හිතාදර දේශපාලන පක්‍ෂ නායකයිනි, වෘත්තීය සංගම් නායකයිනි, ජනතාවනි ඔබ මේ සටනේ යෂ්ටිය නියම තැනදී නොගත්තෙහුය. සමාවන්න. ඉතිහාසය එකම අවස්‌ථාව දෙවරක්‌ නොදෙනු ඇත.

අන්තරේ

රාජ්‍ය අධ්‍යාපනය ද? නිදහස්‌ අධ්‍යාපනය ද? සටන් පාඨවල ඉස්‌පිලි පාපිලි මධ්‍යම කාරක සභාවල දී තර්ක කළ හැකි ය. එක්‌ ව සටන් කර වෙන් ව වාද කර ගත යුතුය. නැතිනම් වාදය ද නිසි නිමේෂයේ දී එක්‌ව කළ හැකිය. ඉස්‌පිලි පාපිලි යනු සටන් නොකිරීමට හේතුවක්‌ නොවන බව ඔබ ද දනියි. එදා ඡේ.වී.පී. හෝ අද පෙරටුගාමී හෝ ඔබෙන් මට ඇසීමට ඇත්තේ එකම පැනයකි. මේ ඒකාධිපති රජය තැනුවේ කවුරුන් ද? යනුවෙනි. තීරණාත්මක තැන දී ඉවත් වීම පිළිබඳ ඉතිහාසය දිගුය. වඩා වැදගත් වන්නේ හිසේ ඇවිළෙන ගින්න නිවීම ය. ළය ඇනුණු ඊතලය ගැලවීම ය. එය හැදූ කම්මල හා ආචාරියා පසු ව සෙගායා ගත හැකි ය. සමාවන්න. රුවන්මය අවස්‌ථාව පියඹා ගොස්‌ ඇත.

හතු සංගම්වල ව්‍යාජ ප්‍රේමියෝ

තමාගේ විෂය ක්‍ෂේත්‍ර පිළිබඳ ඇදුරන් සාමාන්‍යයෙන් ලියන පර්යේෂණ ලිපි ජනතාව සාමාන්‍යයෙන් නොදනිති. එහෙත් ජනතාවට අදාළ පොදු මහජන අර්බුද ගැන සැමදා ලියුවෝ සිටියේ ද අප සමග ය. ජනතාව නම හෝ නෑසූ, අකුරකින් හෝ ජන හදවත් පිරිමැද නොතිබූ පිරිසක්‌ මිහිතලයේ නොන්ඩි සංගම් ඇටවූහ. පිටු ගණන් ලියූහ. රූපවාහිනි අරක්‌ ගත්හ. මේ අය කවුදැයි ඇසූ ජනතාවක්‌ නැත. බෝකර හැරි කුණු රසය පමණක්‌ වැළඳ ගත්හ. එහෙත් ඒ අතර සිටි ඇතැම් සරසවි ඇදුරෝ සිය අපාය සිය දැතින්ම තනාගත් බව තවමත් නොදනිති. ඔවුන්ගේ සංගම් හා ඔවුන්ගේ නම් අතීතයේ අපි නෑසූ ඒවාය. ලංකාවේ රැවටෙන ජනයිනි, ඉදිරියේ දී ද ඔබ ඒ අය ගැන නාසති. මක්‌ නිසාද ඔවුන්ගේ ගිවිසුම අවසන් බැවිනි.

අරගලයේ මිතුරෝ

නිර්මාල්, ජානකී, රංගික, ධනේශ්, මාධව, අමරකීර්ති, මුගලන්, ජනක්‌, ආනන්ද, රොහාන්, අනුර, කුමුදු, මහීම්, හරිනි, ප්‍රභාත්, පවිත්‍රා, දිලීප, උපුල්, දීපිකා ඇතුළු තවත් රාශියක්‌ වූ විශිෂ්ට ආචාර්ය උපාධිවලට හිමිකම් කී තුරුණු නායකයන් සමඟ වැඩ කිරීම අපට ඉමහත් ආස්‌වාදයක්‌ විය. දඹර අමිල හිමි ඇතුළු අන්‍යයෝ කොතෙක්‌ද? ඔවුහු රට දනිති. ෆුටා ඉතිහාසයේ නලින්, සම්පත් බඳු නම් ගොත් ද තිබුණි. දැන් ඒ අය තමාට හිමි අපාය විඳිමින් සිටිති. ඇතැම් පිළිකුල් දේශප්‍රේමීන්ට වඩා පර්යේෂණ ක්‍ෂේත්‍රයේද මානව භක්‌තියේ ද උණුසුමින් පිරි අපේ මිතුරන්ට අපි ගරු කරමු. අපි අරගලයේ සගයන්ට හිස නමමු.

මහාචාර්ය ජයතිලක, උයන්ගොඩ, කීරවැල්ල, නවරත්න බණ්‌ඩාර ආදී විශ්‍රාමික දිවියට ආසන්න සම්භාවනීයන් අප සමඟ පයින් ගියේ අප අපට ම ගෞරවයක්‌ ලෙස දැනෙන ලෙස ය. "මල්ලි මට දැන් 64 යි" කියූ ධර්මසිරි බණ්‌ඩාරනායක සමඟ හරි හරියට ඇවිද ගොස්‌ පත්‍රිකා බෙදීමට මට ද බැරි විය. පතිරාජ, ප්‍රසන්න, ජයසිරි, විඡේසිරිවර්ධන ඇතුළු මහා කලාකරුවන් සමඟ අපේ ඓතිහාසිකත්වය තීව්‍ර විය. සියවස්‌ ආසන්න වියෑති ව කම්කරු උණුසුමේ වසන බාලතම්පො සමීප ව දැක ගන්නට හැකි විය. කවුඩුල්ලේ ජයතිස්‌ස ඇතුළු ගොවි රජුන්ගේ හාල් කරවල ලොව කිසිම ඩොලරයකට අපි හුවමාරු නො කරමු.

ජනාධිපති තාත්තා සහ අසංවේදී පුතාලා

හොරු, තක්‌කඩි, කාලකණ්‌ණි යන අභිධානවලින් අපට නිග්‍රහ කළ විෂය භාර අමාත්‍යවරයා සමඟ අපි ඉදිරියට යමු. ඔහු කෙතරම් අවමන් කළ ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඔහු ව ඉවත් නොකළේය. උසස්‌ අධ්‍යාපන විෂයයට එම අමාත්‍යවරයා සුදුසු බව සිතීම ම ජනපතිවරයාගේ උසස්‌ අධ්‍යාපන දර්ශනය හා නුවණ හෙළි කරයි. දැන් මේ අනුව යන ඖරස පුත්තු ද වෙති. අප ඉල්ලූ 6% න් වැඩිම කොටස වෛද්‍ය ශිෂ්‍යයන් තැනීමට බව නොදන්නෝ කවරහු ද? එහෙත් ශිෂ්‍යයා වෛද්‍යවරයකු වූ පසු ඔවුන් අනුරුද්ධ පාදෙනියලා වීම අපි කෙසේ ඥනනය කර ගනිමුද? වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ගෞරවනීය වෙදැදුරන්ගෙන් මේ පාදෙණිය සමාව ගත යුතුය. ලොව භයානකම වර්ජන අවිය, කේවල් කිරීමේ ශක්‌තිය සහිත මේ වෛද්‍යවරු නිදහස්‌ අධ්‍යාපනයේ නියම පුත්තු ය.

දකුණට නොහැරුණු වමා

නිර්මාල් රංජිත් දේවසිරිට 'වමා' යෑයි කීවේ අප නොව ඔහු සමඟ සාකච්ඡා මේසයේ විරුද්ධ අන්තයේ සිටි ධම්ම හා චරිතලාගේ පරපුරය. දැන් කීමට අත්තේ රෝහිත භාෂණගේ වචන ය. "මගේ මිතුරන් අප පැතූ ලංකාව ඔවුන්ගේ අරුතින් ගොඩනඟමින් සිටිති" යනුවෙනි. ඒ මිතුරන් දකුණේ අසුන් ගනිද්දී වමා වමේ වාඩි විය. පීඩා ඉවසූ ෆුටාවේ වානේමය නායකත්වයට තුති පිදිය යුතුය. බැසිල් රාජපක්‍ෂ සමඟ අප වෙනුවෙන් පමණක්‌ සිනාසුන නිර්මාල්ගේ ඡායාරූපය ඔහු විඳී පීඩාව කියා පෑය. එහි කුණු රසය තලු මැරූවන්ට තම දිවියේ අනාගතය වන්දියක්‌ ලෙස රජය විසින් ඉල්ලා සිටින දිනයේ දී ඇතැම් විට අප සිහිපත් වනු ඇත.

ජනතාව වෙනස්‌ කිරීම

අමාරුම කාර්යය කළ යුතු ය. ආණ්‌ඩු පෙරළීම සරල ය. එය අනර්ථය ම සාදයි. අතීතයේ ආණ්‌ඩු පෙරළා ඇත. පලක්‌ නොවීය. "මෙහි ජනතාව වෙනස්‌ කළ යුතුය". බර්ටෝල්ට්‌ බ්‍රෙෂ්ට්‌ කියා තිබුණි. ජනතාව වෙනස්‌ නොවුණු විට මූසල රජයක්‌ ඔවුහු නැවත තනති. "රෝගෙට නොව නිධානෙට පිළියම් කරමු" යනුවෙන් අප ගැයුවේ එනිසා ය. ඈත කඳු ප්‍රාන්තයට එගොඩ වීමට වැල් පාලමේ ගීතයක්‌ වූ ෆුටා ගීතයේ එය ලියා තිබුණි. අප ප්‍රයත්නයේ අඩුපාඩු ඇත. ඈත ගම්දනව් කරා 6% යැමට වැට බැඳ වැටුප ගැන ම කී කුප්‍රකට මාධ්‍ය අප ඊළඟ වටයේ ජයගනු ඇත. අපි මේ පරීක්‍ෂක දිවිය, දුෂ්කර දිවිය ජීවත් වී පෙන්විය යුතු බව ලියනගේ අමරකීර්ති ලිවීය. මිනිසුන් වෙනස්‌ කිරීම කෙතරම් අසීරු වුවද මිනිසුන් වෙනස්‌ කිරීම හැර අන් කිසිදු විකල්ප මගක්‌ නැත.

සමාලෝචනය වෙනුවට සමාරම්භය

"එක්‌සත් වෙනු, නැතිනම් විනාශ වී යනු. ඉතිහාසය විකල්පයක්‌ දී නැත". එසේ කියා ඇත්තේ සොරෙකු තක්‌කඩියෙකු කාලකණ්‌ණියෙකු වූ මා නොව වී. අයි. ලෙනින් ය. ඒ කුඩා මිනිසා කියූ නිරවුල්, නිසැක හා එකම මග ෆුටාවේ අප සියලු දෙනා පෙම්වතියක සේ හෙට දවසේ වැළඳගනු ඇත. එමග නොගන්නා බොහෝ දේශප්‍රේමීහු මතු නොව ජනතාව ද වඳ වී යනු ඇත. මම යළි කියමි. මිතුරු මිතුරියනි, සගයිනි, ඉතිහාසය විකල්පයක්‌ දී නැත.

හිනිදුම සුනිල් සෙනෙවි