Showing posts with label Stories. Show all posts
Showing posts with label Stories. Show all posts

Saturday, November 17, 2012

ශිෂ්‍ය ව්‍යාපාරයට මඩ ගැසීමේ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්තුවේ අලුත් මුහුන...

මේ දින වල ජනතා විමුක්ති පෙරමුණ මඟින් අමුතුම රාජකාරියක් ආරම්භ කර ඇත. පසුගිය කාලයේ ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස ගනු ලැබු තීරණ මෙයට හේතු වී ඇත.

මෙහි ආසන්නතම සිදුවීම වූයේ පසුගිය ආචාර්ය අරගලය තුළ ඇති වූ තත්ත්වයයි. මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විසින් සූදානම් කළ සිය අරගලය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා හයිඞ් පිටියේ පැවැත්වූ රැලිය තීරණාත්මක සංධිස්ථානයක් විය. මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ශිෂ්‍ය ව්‍යාපාරයට ආරාධනය ලැබුනේ ආචාර්ය සංගමය විසිනි නමුත් මෙම රැලියේදී ශිෂ්‍ය ව්‍යාපාරයට වේදිකාවේ අසුනක් පවා නොදෙන්නට කුමන්ත‍්‍රණය කරන ලද්දේ ජවිපෙ විසින් බව එම රැලියට ගිය සිසුන් කාටත් වැටහුනේ එහි වේදිකාවේ අසුන්ගෙන සිටි කිසිසේත්ම ආචාර්යවරුන්ගේ අරගලයට වචනයකින් හෝ සහයෝගයක් නොදුන් අය පවා එහි රැඳී සිටීමෙනි.

උදාහරණයක් ලෙස ඒ සඳහා සහභාගී වූ රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමයේ කැ
වුම්කරු දැක්විය හැක. මොහු අචාර්ය අරගලයට සම්බන්ධ එකදු උද්ඝෝෂණයකවත් සිටියාදැයි අප අසමු. මේ හරහා ජවිපෙ බලාපොරොත්තුවූයේ ආචාර්ය සංගමය හා ශිෂ්‍ය ව්‍යාපාරය විරසක කරවීමය. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය හෝ ආචාර්ය සංගමය හෝ එම ගැටයට හසුවුයේ නැත. මේ තුළ ජවිපෙ අරමුණ වූයේ සටනට නිර්ධන පංති පක්ෂයක් ලෙස සහය දීම නොව සටනේ අයිතිය ලබා ගැනීම පිළිබ ප‍්‍රශ්ණයකි. නැතිනම් තම දේශපාලන පක්ෂයට මේ හරහා ලකුණු දමා ගැනීමේ උත්සහායකි.

මීලඟට ආචාර්යවරුන් සහ සිසුන් තම අරගලය පිළිබ
ඇති කරගත් බරපතල න්‍යායික සංවාදයකින් අනතුරුව වෙන වෙනම පා ගමන් දෙකක් කිරීමට සාමූහික තීරණයකට එලඹෙන ලදී. මෙහිදීද ජවිපෙ සිය සාමාජිකයන් හා විශ්වවිද්‍යාල සිසුන් අතර ප‍්‍රචාරය කළ මතය වූයේ ශිෂ්‍ය ව්‍යාපාරය සටන පාවා දුන්නා කියාය. තම දහස් ගනනක් සිසුන් අධ්‍යාපනයේ අයිතිය ඉල්ලා කෑ ගැසූ අධ්‍යාපන ධවල පත‍්‍රිකාව කරළිගතවූ මහා භීෂණ සමයක් රට තුළ වැපිරූ එජාපය හා ලංකාවේ ධනපති දේශපාලන පක්ෂ සමඟ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාගමන් යන්නට ජවිපෙට විලි ලැජ්ජාවක් නැති වුවද, වගකිවයුතු ශිෂ්‍ය ව්‍යාපාරයකට එසේ කළ නොහැකි බව මොලේ කළක් ඇති ඕනෑම අයෙකුට වැටහෙන කරුණකි. මෙහිදීද ජවිපෙට උවමනා වූයේ ''එජාපය නොව මහින්ද ආවත් කමක් නෑ, සටනේ පෙරමුණේ ජවිපෙ ඉන්නවානනම් ඇති" යන අදහස පමණි.

කෙසේ නමුත් ආචාර්යවරුන් සහ සිසුන් සාර්තකව සිය පා ගමන් දෙක එකවර එකම රැලියකින් අවසන් කරමින් සටනේ ඒකාබද්ධතාවද, තම තමන්ගේ අනන්‍යතාවන්ද රැක ගනිමින් සිය සටනේ නිරත විය. නමුත් ජවිපෙට අවශ්‍ය වූ දේ සිදු වූ යේ නැත. ඒ නිසා ඔවුන් තවත් අවස්තාවක් සොයමින් සිටියේය ඔවුන් දැන් අල්ලා ගෙන ඇත්තේ පා ගමනේදී ශිෂ්‍ය ව්‍යාපාරයෙන් උදුරාගත් සහෝදරයන් දෙදෙනාගේ නඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය මැදිහත් නොවී එය පාවා දුන්නාය යන අදහසයි. ඒ වෙනුවෙන් දිගින් දිගටම ජවිපෙ සාමාජිකයන් විශ්වවිද්‍යාල සිසුන්ගේ නිවෙස් වලට යමින් ද සිය මාධ්‍ය යොදා ගනිමින් ද අදාල මඩ ප‍්‍රචාරය දියත් කරමින් තිබේ. (ආණ්ඩුවේ ආරක්ෂක අංශ නියෝජිතයින්ද මෙසේ සිසුන්ගේ ගෙවල්වලට ගොස් තොරතුරු එකතුකරමින් සිසුන්ට විවිධ ආකාරයේ බලපෑම් සිදුකරමින් සිටී)


ඔවුන් සමහර නිවෙස් වලට ගොස් පවසා තිබුනේ එම සිසුන් අවසන් කාලයේදී තමන් සමග දේශපාලන එකඟතාවක සිටියාය වන මුසාවය. මීට මාස ගනනාවකට පෙර කඩුවෙලදී පෝස්ටර් ගැසීමට ගිය මිය ගිය ජානක සිසුවාට ජවිපෙන් පහර දී තිබුණේය. ඒ සමග මෙම මිය ගිය සහෝදරයන්ගේ මල ගෙවල් වලට පවා කිසිදු සහයෝගයක් නොදී මූනිච්චාවට පමණක් ඒවාට සහභාගී වී, ශිෂ්‍ය ව්‍යාපාරය මෙම සිදුවීම මඟහැරියා යයි පවසන්නේ ජවිපේ බංකොලොත් බව නිසා මිස අන් කිසිවක් නිසා නොවන බව පැහැදිළිය. කොළඹ දිස්ත‍්‍රීක්කයේ ජවිපේ ශිෂ්‍ය සංගමයේ නායකයෙක් මෙම මරණය ගැන කියා තිබුනේ මෙය රංගනයක් බවයි. එසේ පවසන ඔහුට අපට පැවසීමට ඇත්තේ කටුවන දී ජවිපෙට එල්ලකල මැර ප‍්‍රහාරයත් රංගනයක්ද යන්නය.

මීට අමතරව තම දේශපාලනයට අනුගත නොවන සිසු නායකයන් පිළිබඳ විශ්වවිද්‍යාල පරිපාලනයට කේලම් කීමේ ඉතා පහත් උත්සහයකද දැන් ඔවුන් යෙදී සිටී. කලින් සඳහන් කළ මිය ගිය සිසුන් පිළිබ කෙරෙන සියලූ පරීක්ෂණ සහා සිය සම්පූර්ණ වෙර ශිෂ්‍ය ව්‍යාපාරය යොදමින් ඇත. නමුත් දැනට පැවැත්වූ නඩු වාර කීයකදී ජවිපෙ සිය මාධ්‍ය හරහා මෙම නඩුව ගැන විස්තර දැම්මාද යන්න මෙහිදී සොයා බැලිය යුතුය. ඒ එක දිනකවත් අඩුම තරමින් එවැනි නඩුවක්පැවතුනාද යන ප‍්‍රවෘත්තියවත් සිය මාධ්‍ය වෙතින් ලබා දීමට තරම් කුහක වන ජවිපෙ මේ පිළිබ ශිෂ්‍ය ව්‍යාපාරයට මඩ ගැසීම පමණක් කිරීමෙන් හෙළි වන්නේ ඔවුන් බාරගෙන තිබෙන්නේ ආණ්ඩුව මෙතෙක් කලක් කරමින් සිටි කොන්තරාත්තුව බවය. මෙම කොන්තරාත්තුවට ජවිපෙට හිතවත් වෙනත් ධනපති මාධ්‍ය ද හවුල් වෙමින් සිටී.

ශිෂ්‍ය ව්‍යාපාරය මේ දෙපිරිසටම අද බරපතල හිසරදයක් වී ඇත්තේ ඔවුන්ට ආණ්ඩුවක් අටවා ගැනීමේ තදියමට ශිෂ්‍ය ව්‍යාපාරය කඬේ යැවීමට නොහැකි වීමය. ජවිපේ පසුගිය කාලය පුරාම කළේ තමන්ගෙන් ඉවත් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාජිකයන්ට හිරිහැර කිරීමය. නමුත් ඔවුන්ට මෙම කාලකණ්ණි පහරදීම් විශ්වවිද්‍යාල තුළ කිරීමට අවස්තාව ලැබුනේ නැත. එය ඔවුන්ට බරපතල හීනමානයක් ඇති කර ඇත. ඔවුන්ට පමණක් නොව ඔවුන් හා සහයෝගයෙන් වැඩ කරන ඔවුන් නොදැනුවත්වම කඬේ යන ධනපති බංකොලොත් දේශපාලූවන්ටද මෙය ඉවසා සිටීමට බැරි තරම් හිසරදයකි.

පසුගියදා කරාපිටිය වෛද්‍ය පීඨයේ ඇතිවූ සිසු ගැටුමක් මෙම ඊනියා මාධ්‍ය හරහා පෙරටුගාමීන් හා ජවිපෙ අතර ගැටුමක් ලෙස පළ කළ පට්ටපල් බොරු මාධ්‍ය ප‍්‍රකාශ හරහාද. මෙම ගැටුමෙන් අසරණ වී සිටින සිසුන්ගැන තමන් මාධ්‍ය සාකච්ඡාවක් ගන්නද යැයි අසන එම සිසුන්ගේ අසරණ කමින් තම දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීමට වෙර දරන ජවිපේ මැදිහත් වීමෙන්ද මෙම ධනපති දේශපාලනයේ හා ජවිපේ දේශපාලනයේ ඇති උපයෝගිතාවාදී පහත් දේශපාලන භාවිතාව මනාව කැපී පෙනේ.
 

අප ජවිපෙන් ඉල්ලා සිටින්නේ උඩින් බොරුවට ශිෂ්‍ය ව්‍යාපාරය ගැන කිඹුල් කඳුලූ හෙළමින් යටින් සිය පහත් කුමන්ත‍්‍රණ කි‍්‍රියාත්මක කරන දේශපාලනය දැන්වත් නවතන ලෙසයි. ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව මඩ ගැසීමේ ආණ්ඩුවේ කොන්තරාත්තුව ඉටු කරන ඔබට කීමට ඇත්තේ ශිෂ්‍ය ව්‍යාපාරය කෙදිනකවත් කඬේ හැරිය නොහැකි බවයි. ශිෂ්‍ය ව්‍යාපාරය කඬේ යවන්න ජවිපෙට, පෙරටුගාමීන්ට, ආණ්ඩුවට, එජාපයට හො කිසිවෙකුට හෝ නොහැකි බව අප කියා සිටිමු.

සිසුන් බඳවා ගැනීම් කඩිනම් නොකළහොත් යළි අරගල කරනවා - SSU

SSU Logo
2011 උසස් පෙළ සමතුන් කඩිනමින් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ලෙසත් එසේ නොවුන හොත් සිසුන් බඳවා ගන්නා ලෙස බලකරමින් යළි අරගල ක්‍රියාමාර්ගවල නිරතවීමට පසුබට නොවන බව සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි.

එහි ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහත පළවේ.

‘‘2011 අගෝස්තු මාසයේ පැවැති අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසු සිසුවියන් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා දිනය සති, මාස ගණන්වලින් ප‍්‍රමාද වෙමින් තිබේ. දැන් විභාගයට ලියා මස15ක් ගත වී ඇති අතර, තවම විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා නිශ්චිත ආකාරයක් හෝ දිනයක් පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශයට පත්කර නොමැත.

ශ‍්‍රී ලංකාවේ උසස් පෙළ විභාග ඉතිහාසය තුළ විභාග දෙපාර්තමේන්තුව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වැඩිපුරම පීඩාවට පත්කළ ශිෂ්‍ය පිරිස වන්නේ මෙම කණ්ඩායමයි. ඔවුන්ගේ විභාග ප‍්‍රතිඵල නිකුත් කළ යුතුව තිබුණේ 2011 නොවැම්බර් මාසයේදී වුවද එය මාසයකින් ප‍්‍රමාදවිය. නිකුත් කළ ප‍්‍රතිඵල වාර 04දී වෙනස් කළ අතර අවසන් ප‍්‍රතිඵලය ලැබූනේ 2012 ජූලි මාසයේදීය. වෙනදා සිය ප‍්‍රතිඵල එනතෙක් නිවසට වී බලාසිටි සිසුන්ට මෙවර නිවැරදි ප‍්‍රතිඵල ඉල්ලා උද්ඝෝෂණ කරන්නට, පෙළපාළි යන්නට, සත්‍යග‍්‍රහ උපවාස කරන්නට පවා සිදුවිය. අවසානයේ සිසුන්ට යම් සාධාරණයක් ලබාදුන්නේ අගවිනිසුරුවරිය ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිරණය විසිනි.

වෙන වසරවලට වඩා වැඩිපුර සිසුන් 5600ක් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට නඩු තීන්දුවක් බලාදුන් අතර තවම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කර නැත. කෙසේ වුවද මෙම සිසුන්ගේ ප‍්‍රතිඵල අවුල ඇරඹි 2011 දෙසැම්බර් මාසයේ සිට අධ්‍යාපන අමාත්‍යවරයාත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් හැසිරුනේ අර්බුදයට පිළියම් සෙවීමට නොව තමන්ගේ වැරද්ද සිසුන් හා අධිකරණය මත පැටවීමටය. මේ ප‍්‍රශ්නය සම්බන්ධව ඇමතිවරුන් හැසිරනු උද්ධච්ච හා මුරණ්ඩු ආකාරය කිසිසේත් අධ්‍යාපනය සම්බන්ධ, වගකිවයුතු අමාත්‍යවරුන්ට තරම් නොවන බව ජනතාව දනී. හිටපු විභාග කොමසාරිස්වරයා හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ හැසිරීමද ඇමතිවරුන්ට දෙවෙනි වූයේ නැත.

දැන් අධිකරණය මගින් ගැටළුව විසඳා තිබියදී අධ්‍යාපන ඇමතිවරුන් හා බලධාරීන් හැසිරෙන්නේ 2011 උසස් පෙළ සිසුන් සිය සතුරන් ලෙස සලකා ගෙන දැයි සිතෙන තරමට විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම ප‍්‍රමාද කරමින් තිබේ. ආණ්ඩුව මේ නොසලකා හරිමින් තිබෙන්නේ සිසුන්ගේ අනාගතයයි. වර්තමානයේ ඔවුන්ට සති, මාස ගණන්වලින් සිදුවන ප‍්‍රමාදය අනාගතයට බලපාන්නේ වසර ගණන්වලිනි. විශ්වවිද්‍යාලයකට ඇතුළත්ව උපාධිය ලබාගත්තද රැකියා පෝළිමේ තවත් වසර ගණනක් බලා සිටීමට සිදුවීමෙන් මේ ශිෂ්‍ය කණ්ඩායමේ ජීවිත තව තවත් අවුලට පත්වෙනු ඇත.

මෙවර විෂය නිර්දේශ යටතේ වෙන වෙනම එක් එක් පාඨමාලාවලට සිසුන් බඳවා ගැත යුතු වුවද, එසේ බඳවා ගන්නා ප‍්‍රමාණයන් පිළිබඳව තවම ප‍්‍රකාශයට පත්කර නැත. එමනිසා තමන් විශ්වවිද්‍යාල වරම් ලබයිද නැද්ද යන්න ගැන පවා සිසුන්ට ඇත්තේ බලවත් අවිශ්වාසයකි.

එනිසා මෙම සිසු ජීවිත තවදුරටත් අඳුරු නොකර, 2011උසස් පෙළ සමතුන් වහා විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු. එසේ නොවුනහොත් පසුගිය කාලයේ නිවැරදි ප‍්‍රතිඵල ඉල්ලා උද්ඝෝෂණ, පාගමන්, සත්‍යග‍්‍රහ,අධිකරණ ක‍්‍රියාමාර්ග සිදුකළා මෙන් නැවත වතාවක් එම සිසුන් සමග එක්ව අරගල කිරීමට පසුබට නොවන බව ආණ්ඩුවට මතක්කර සිටිමු.''

Friday, November 16, 2012

සරසවි කුරුටු ගී - 01

බැජා උනත්
බොග වේ නම්
බිම හෙලනු
ජුන්ඩන්ටත්
නිවැරදිනම්
ගරු කරනු
වේල් දෙකක්
දිනකට කැන්ටිමෙන් කනු
කන විට
හෙළන ටික
හොඳහැටි පිසදමනු
කැන්ටිමෙ මැල්ලූමයි
පොල් සම්බොලෙ නොකනු
දුප්පත් කමවත්
එම් සී නොයනු
කැන්ටිම වහන දවසට
පන්සලය යනු

නත්තල දාට
මාතර පල්ලියට යනු
පන්සිල් කඩනු
එක පදයක් අත්හරිනු
අන්සතු දෙයක්
කිසි විටකදී නොගනු
අතේ දුරින් නුඹ
ඇදුරන් තබාගනු
අවැසි විටදි පමණක්
ඵල නෙලාගනු ඕනැමනම්
ඉඳහිට අඩියක් ගසනු
කිසිවිටකදී බීලා
පාරට නොයනු
කේලම් කීම
ලිඳ ලඟ වැට අත්හරිනු
ඉවසනු නොහැකිනම්
කොක්කක් ගසනු
යුක්තිය ලඟදි
සැමවිට නුඹ හිස නමනු
අයුක්තියෙදි තනිවම උව
හ`ඩ නගනු

පියා උන්ත්
පොලිසියෙනම් සැක කරනු
පොලිසිය උසාවිය
මේවට ගාවා නොගනු
ගජයත් ගසනු
සැමවිට නුඹ
හැඩට ඉනු
අමතක නොකර
ගත් දේ යලි ගෙනත් දෙනු
හෙලූවෙන් නටනු
 ඕනැම නම් නිදාගනු
පාරට බසින විට
හොඳහැටි රෙදි අඳිනු
විනය කමිටු තුල
හොදහැටි පච කියනු
ආ විගසින් කියු පච ටික
ලියා ගනු
පොලිසිය උසාවිය
මේවට ගාවා නොගනු
පණ කඳ ගියත්
කිසිවිට පාවා නොදෙනු

(මැද්දවත්ත නේවාසිකාගාරය - රුහුණ විශ්වවිද්‍යාලය)

රුහුණ වෛද්‍ය පීඨයේ තෙවන ඇස අධ්‍යයන කවය 

Thursday, November 15, 2012

වතුර නටන තුරු හැලියේ නටමුද?

"If you toss a live frog into a pot of boiling water, he’ll immediately jump out to escape the heat. But if you put that same frog in a pot of tepid water and increase the heat ever so slowly, he’ll never notice and he’ll end up boiled alive."

ඔබ ඉහත කියමන අසා තිබේද?

මෙයින් කියවෙන්නේ උතුරන වතුර බඳුනකට දමා,ඔබට මැඩියෙකු මැරීමට නොහැකි බවයි.ඌ ක්ෂණිකව ඉවතට පනිනු ඇත.ඔබට ඌ මැරීමට අවශ්‍යනම් කලයුත්තේ, මැඩියාව සීතල වතුර භාජනයක දමා ක්‍රමක්‍රමයෙන් රත්කිරීමයි.එවිට ඌට නොදැනීම ඌව මියයනු ඇත.

මදක් සිතා බලන්න.....

ඔබත් මමත් දිනවූ නිදහස් අධ්‍යාපනයට සිදුවෙමින් පවතින්නේත් සිදු කරමින් පවතින්නේත් මෙයම නොවේද?

අනාගත පරපුර සඳහා නිදහස් අධ්‍යාපනය දිවිහිමියෙන් රැකගත යුතු නොවේද?
තීරණය ඔබ සතුය.....

අකුරු කරන්නට වලවේ ගඟට උඩින් අවධානම් ගමනක්‌

මොණරාගල දිස්ත්‍රික්කයත්, රත්නපුර දිස්ත්‍රික්කයත් යා කරන මායිමක් වන හම්බෙගමුව, ඇඳගලයාය ගම්මානයේ ජනතාව වසර 40 ක් පුරා වලව ගඟ හරහා කම්බි තුනක් උපයෝගී කරගෙන තනා ඇති කූඩුවේ නැග එගොඩ යාම දිනපතා පතා සිදුකරයි.

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් හම්බේගමුව, ඇඳගලයාය ගම්මානයේ පවුල් 3000 කට ආසන්න සංඛ්‍යාවක් වෙති. පාසල් ළමුන් සියයකට අධික පිරිසක් දිනපතා කෝන්ගහමංකඩ විද්‍යාලයටත්, ර/වැලිපත යාය මහ විද්‍යාලයටත් යන්නේද  වලව ගඟ හරහා යොදා තිබෙන මෙම කම්බිවල ආධාරයෙනි.

ලෙඩුන් පවා කල්තොට රෝහලට ගෙනයන්නේ මෙම කූඩුවේ තබා ගෙනය. මෙය ඉතා අනාරක්ෂිතය. අඩි 70 ක් පමණ ඉහළින් පිහිටි කූඩුවේ නැග මෙම ග‍ඟෙන් එගොඩ මෙගොඩ යාම සිදුවේ. ග‍ඟේ ජල මට්ටම සාමාන්‍ය දිනක අඩි 10 ට වඩා වැඩි අතර වැසි කාලයට එය අඩි 50 ක් පමණ ඉහළ නගී.

ඇඳගලයාය ගම්වාසීන්ගේ එකම ඉල්ලීම වන්නේ වලව ගඟ හරහා පාලමක්‌ ලබා දෙන ලෙසයි. ප්‍රදේශයේ දේශපාලනඥයන්ට නොයෙක්‌ විට ලිපි මගින් හා වාචිකව ඉල්ලීම් කළද ඔවුන්ගේ පොරොන්දු ඡන්ද කාලයට පමණක්‌ ලබා දෙන කඩ වුණු පොරොන්දු බවද ප්‍රදේශවාසීහු පවසති.




Monday, November 12, 2012

කැරකෙන අවන්හල්, පාවෙන අවන්හල්, ආසියාවේ උසම නෙළුම් කුලුන ගැන කතාකරන රටක,ජිවිත පරදුවට තබා ගුරු ගෙදරට යන පාසැල් සිසුන්.

දුවේ නුඹ කවදාක එගොඩ යයිද මේ ගඟේ ! 

හදිසියේම වාගේ නන්දා මාලනියගේ සුගායනීය වූත් හෘදයාංගමය වූත් මධුර ස්‌වරයකින් ලියුම්කරුගේ හදවත කම්පනය වූයේ පසුගිය රාත්‍රියේ දුටු සිහිනයකින් නම් නොවේය. ඒ පසුගිය 01 වැනිදා "දිවයින" පුවත්පතේ මුල්පිටුව මගින් ජනතාව හමුවේ තැබූ ජනතාවාදී රූප ප්‍රවෘත්තියකින් කියෑවුන කඳුළු කතාවක්‌ නිසාය. එම පුවතම පසුගිය දින එක්‌තරා රූපවාහිනී නාලිකාවකද දර්ශන සහිතව විකාශය විය. ඒ හද රිදවන පුවත මේසය.

වැල්ලවාය පතානයාය ගම්මානයේ ජීවත් වන පවුල් එකසියපනහකට අධික පිරිසකට ගම්මානය හරහා ගලා බසින කිරිදිඔය දායාදයකි. එහෙත් එම ගඟෙන් එගොඩ මෙගොඩ වීමට ඔවුන්ට පාළමක්‌ නැත. අවුරුදු හතළිහක්‌ පමණ තිස්‌සේ ඔවුන් ගඟෙන් එගොඩ මෙගොඩ වන්නේ හුළං පිර වූ ටියුබ්වලිනි. මේ දිනවල ඇදහැලෙන ධාරානිපතා වර්ෂාවෙන් කිරිදිඔය දෙගොඩ තලා යන්නේය. එහෙයින් පතානයාය ගම්වැසියන්ට ඔයෙන් මෙගොඩඩ ඒමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති. එහෙත් ඒ ගම්මානයේ දරුවෝ ජිවිත පරදුවට තබා ගුරු ගෙදරට යන්නෝය. 
කාල වර්ණ රුවක්‌ ඇති, කොන්ඩය කරල් දෙකකට ගොතා පොත් මිටිය ළැමට තුරුළු කොටගෙන පාසල් නිල ඇඳුමින් සැරසී හිමිදිරි උදැසනක පාසල් යන මේ දැරිය ඒ සුන්දර චමත්කාර ජනක පාසල් ගමන යන්නේ, සිය මිතුරු මිතුරියන් හා කෙලිකවට සිනහවෙන් හෝ ඔමරි කතාවෙන් යුතුව නම් නොවේ. ඉහළට ගත් හුස්‌ම පොද පහළට දැමීමට පවා බියෙන් බිහිසුණු දිය දහරා මැදින් හුළං පිරවූ ටියුබයකට මැදිවී මරබියේ ගැහෙමින් වයස අවුරුදු දොළහක්‌ පමණ වූ මේ දැරිවියගේ දැසින් රූරා ගලන්නේ අපේ රටට දැන් ඇති එකම ප්‍රශ්නය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් 13 ඉවත්කිරීම පමණකැයි කෑ මොරදෙන දේශපාලන ගෙම්බන්ගේ දැස නොදකින කඳුළුය. දැසට නොපෙනෙන කඳුළුය. මේ අවිහිංසක දියණිය හැඬුවේ ඇයට දින ගණනාවකින් කුසට අහරක්‌ නොවැටුනේ කියා හෝ, පාසල් යැමට අවැසි ඇඳුම් පැළඳුම් පොත පත නොලැබුනේය කියා හෝ, එසේත් නැතිනම් පොඩ්ඩන්ට පුළුවං කියා පෙන්නූ වැඩ කිඩ වලින් තරුවක්‌ වීමට අවශ්‍ය SMS නොලැබීම නිසා හෝ නොවේ. තමන් ජීවත්වන මුළු ගමේම මිනිසුන්ට මේ ප්‍රචණ්‌ඩ ජල ධාරාවෙන් එගොඩ මෙගොඩ වීමට අඩුතරමේ වැල් පාලමක්‌ හෝ ලබා දෙන්නැයි රට කරවන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමිනි. ගමේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඉකිබිඳ හඬා වැටුන මේ දියණියගේ කඳුළු අපව රාත්‍රියේදී ලැඡ්ජාවට පත් කළේය. කම්පාවට පත් කළේය.

නාගරික හා අර්ධ නාගරික පාසල්වල අකුරු කරනා අපේ දූ දරුවෝ බොහොමයක්‌ එදින රාත්‍රි ප්‍රවෘත්ති විකාශය දුටුවේ නම් (බොහෝ පාසල් දරුවෝ ප්‍රවෘත්ති බලන්නේ නැත.) ඔවුන් විශ්මයෙන් ගල් ගැසීයනු ඇත. මන්ද එක්‌කෝ ගේ දොරකඩටම එන පාසල් වෑන් රථයෙන් හෝ පාසල් බසයෙන් හෝ කිසිම අපහසුවක්‌ නැතිව පාසලේ ප්‍රධාන ගේට්‌ටුව අසලට යැමේ වාසනාව ඇති මේ දරුවෝ කිසිදාක මේ දුක දන්නේ නැත. ඒ දුක දන්නවා නම් සිය ගණනින් ගොස්‌ අල්ලපු වැටේ පාසලේ සිටින තම සගයන්ට ගල්මුල් වලින් පහර දෙන්නේ නැත. විදුහලට අලුතින් පත්ව ආ විදුහල්පතිවරයාගේ මෝටර් රථය පොඩිකර විදුහල්පතිවරයාටද පහර දී මැරයින් සේ හැසිරෙන්නේද නැත.

රටේ අග නගරයට යන අපි 'කොලොම්පුරේ ශ්‍රියාවෙන්" මන් මත්වී මහා සම්භාෂණ මන්දිරයක්‌ අසලින් දිවෙන අලංකාර ඇවිදීමේ, ශරීර සුවතා මංතීරු ඔස්‌සේ ඇවිද යන කල රෙදි ගැළවෙන තරම් ලඡ්ජාවක්‌ දැනුනානම් ඒ දැනුනේ සැබැවින්ම රත්තරං දුවේ, ඒ නුඹ එදා හෙලූ ඒ කඳුළු නිසාය. නොකඩවා නුඹේ දැසින් ගැලූ කඳුළු වැල් නිසාය.

හුළං පිරවූ වාහන ටියුබයකට ගොඩවී නුඹට ඔරවමින් ගොරවමින් වේගයෙන් ගලා බසිනා දිය දහරාවට බියේ පණ ගැහි ගැහී සුදු ඇඳුම තෙමාගෙන, නුඹ ගිය ඒ පාසල් ගමන මුළු රටේම හිස්‌බව අපට ප්‍රත්‍යක්‍ෂ කළේය. පැයට කිලෝමීටර් සියයක වේගයෙන් ඉගිල යාහැකි සුපිරි මාවත් අපට තිබේ. දින 65 න් ඉදිකළ ගුවන් පාලම්ද අපට තියේ. එහෙත් දුවේ නුඹ හඬන්නේ ගමට වැල් පාලමක්‌වත් දෙන්න කියාය.

අනාගත ආසියාවේ ආශ්චර්යය වීමට සිහින මවන රටක, වාර්ෂිකව රුපියල් බිලියන සිය ගණනක මහජන මුදලින් නඩත්තු වන දැවැන්ත ඇමැති මණ්‌ඩලයක්‌ සිටින රටක නුඹ හෙලූ ඒ කඳුළ, බොල් කඳුළක්‌ වන්නේ කෙසේද?

කැරකෙන අවන්හල්, පාවෙන අවන්හල්, ආසියාවේ උසම නෙළුම් කුලුන ගැන කතාකරන අපි, ළඟදීම ඒක පුද්ගල ආදායම ඇ.ඩො. හාරදහස ඉක්‌මවන මිනිසුන් සිටින රටක පුරවැසියන් වෙන සැටි සිහිනයෙන් දකිනා කල, රත්තරං දුවේ ඊයේ රාත්‍රියේදී මා දැස දුටු නුඹේ ඒ කඳුළු බිඳු මහ මෙරක්‌ සේම බර කළේ කිමද? මා දුබල හදවත.

නුඹ හැඬුවේ, නුඹ වෙනුවෙන්ම නොවේය. නුඹ වැනිම නංගිලා මල්ලිලා සේම අක්‌කලා සහ අයියලා ද වෙනුවෙනි. ඡන්ද කාලයට ගඟ හරහා පිහිනාගෙන සරම තෙමාගෙන, නුඹලාගේ අම්මාවරුන්, අප්පාවරුන් වෙතට පැමිණ උන්ගේ දුප්පත් ඡන්දය කොල්ලකාගෙන පලාගිය දේශපාලන ගෙම්බන්ගේ කෙලෙහි ගුණ නොදත්කම වෙනුවෙන් නුඹ හෙලූ කඳුළුය ඒ.

නුඹේ වෙව්ලන කටහඬ තවමත් මා දෙසවන දොaංකාර දේ. නුඹේ කාලවර්ණ කොපුල්තල දිගේ පහළට රූරා ගලා බසින රිදීවන් කඳුළු කැට මගේ ආත්මයට දියකර හරින්නා සේ මට දැනේ. ලෝකයම නොපෙනෙන්නට මම දැස වසාගත්තෙමි. ඈතින් ඇසෙන්නේ නන්දා මාලනියගේ මධුර ස්‌වරයයි. සමාජ හෘද සාක්‍ෂියේ ෙදනීය දොaංකාරයයි. මම ඇයට සවන් දෙමි.

"මිරිවැඩි සඟලක්‌ ඉල්ලා හැඬුවෙමි

පායුග නැති ඔබ දකින තුරා

කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි

නෙත් යුග නැති ඔබ දකින තුරා..."

ජයන්ත විඡේසිංහ දිවයින පුවත් පතට ලිවූ ලිපියක් ඇසුරෙන්

Sunday, November 11, 2012

ඔහුන්ගේ අය - අපගේ වැය 2013

කන්නන්ගර දරුවෝ කාටූන්
අය වැය 2013 ට පසු වදනක් සටහන් කිරීමට මා හට සිත් විය. ඊට ප්‍රධානම හේතුව වනුයේ මෙම අය-වැයට පෙර අප නිරත වූ මහත් වූ උස්සාහයක ප්‍රතිඵල රහිත වීම ය. නැතහොත් එය ව්‍යර්ත කිරීමට මෙම ඊනියා සමාජවාදී හෝ ජනතාවාදී හෝ තමාම සංවේදී යැයි කියාගන්නා ආණ්ඩුව ඉතා පිළිකුල් සහගත අන්දමින් කටයුතු කිරීම යි. ඒ වෙනෙකක් සඳහා නොව ‘අධ්‍යාපනය‘ සදහා දළ ජාතික නිශ්පාධිතනේ 6% ප්‍රමාණයක් හෝ හැකි උපරිම ප්‍රමාණයක් හෝ වෙන් කර ගැනීම සඳහා කරන ලද අරගලයට දැක්වූ ප්‍රතිචාරය යි.

අය-වැය (නැතිනම් ණය-වැය) පසුගිය දා කියවීය. නැතිනම් ආණුඩුවේ කැරැට් මල්ල ලිහා දැමීය. මට දැනුනාවූ ආකාරයට එතන ඇත්තේ වැස්සට හසුවී නරක් වී ගිය කැරැට් ඵලදාවකි. නැතිනම් ජොන්ස්ටන් ගේ ආරක්ෂිත කූඩ සංස්කෘතියට හසු නො වූ වක් විය යුතු ය. එනම් අවසාන වශයෙන් කිව හැක්කේ කැරැට් ද ගෙනත් නැත. සත්ත්‍යවශයෙන් ම එක් මන්ත්‍රීවරයෙක් කියනා පරිදි ඔහුන්ගේ අයත්, අපගේ වැයත් එහි තිබුණි. එය වෙනදා මෙන් සරදියල් ක්‍රමයේ අය-වැයක් ද නොවීය. වචන සියල්ල හමාර විය. සියල්ල සතුටින් විසිර ගියහ. (''සියල්ල" යන වචනයෙන් මා මෙහිදී ආවර්ණය කරනු ලැබුවේ අණ්ඩු පක්ෂයේ මැති ඇමති පිරිස පමණකි) සුපුරුදු පරිදි ජනතාවාදී අය-වැයක් ලෙස ආණ්ඩුවෙනුත්, ප්‍රෝඩාකාරී අය-වැයක් ලෙස විපක්ෂ වලිනුත් අසන්න ලැබිණ. එය තෙවන වර කියවා හමාර කරනතුරු ම මෙය අපට අසන්න ලැබේ වි.නමුත් බහුතරයකින් සැදුම්ලත් මෙම ආණ්ඩුවෙන් මෙන්ම, වර්තමානයේ ඔහුන් විසින් දිගින් දිගටම අනුගමනය කරන ලද පාලන ප්‍රතිපත්ති ගැන විමසිලිමත්ව බැලුවහොත් කිසිම සහනයක් නොලැබෙන බව අප කණගාටුවෙන් හෝ පිළිගත යුතු ය. තවද, අයවැය අවසන් කරමින් ජනපති තම පරම්පරාව (මැදමුලන වලව්ව) ගැන ආඩම්බරයෙන් කතා කිරීය. නමුත් එකී වංශයට එය තමාගේ ද පවුල් උරුමයක් සේ සලකා ඡන්දය දුන් බොහො දෙනෙක් ද අද වංශය කබල්ගානු නො අනුමාන ය.

සභා ගැබේ උණුසුම මැද, ආණ්ඩුවේ අනුමත කිරීමේ නාදය මැද, වික්ෂයේ විරෝධතාවය මැද ගෙන ආ එක සහනයක් මට මෙන්ම බොහෝ දෙනෙකුට හොඳින් මතක සිටිනු නොඅනුමානය.එය අය-වැය හාස්‍යයට ලක් කරනු වස් ජනතාවගේ ලැම්බෝ (Lambo) බඩගින්න හඳුනා ගැනීමකි. ඒ අනුව ඔහුන් රේසිං කාර් සඳහා බදු රහිතව ගෙන්වීමේ නිදහස ලබා දුනි. සභා ගැබෙන් පිටවන විට මධ්‍යෙව්දීන් ට පිළිතුරු දුන් නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ, “දැන් විපක්ෂයට ඇති එකම ප්‍රශ්නය රේසින් කාර් බදු සහනය ද? “ඇත්තෙන්ම විපක්ෂයෙන් පිළිතුරු දුන්නත් නැතත් අප එයට පිළිතුරු දිය යුතු ආකාරයක් ඇත. එනම් ''ආණ්ඩුවට ඇති එකම ප්‍රශ්ණය එය ද යන්නයි'' සංවේදී තාත්තාට, ඔහුගේ පුතාලාට හෝ අනුගාමික ඇමතිවරුන්ට හෝ 'අධ්‍යාපනය' යන වචනය අදාල නොවේ. හුදෙක් එය අපේ ම වචනයක් පමණකි. අප විසින් මනෝරාජිත ලොවක මවා ගත් විද්වතුන්ගෙන් පිරි රටක පැතුම විය. යතාර්ථය එය වුව ද සිදුවන්නේ වෙනකකි. අද රේස් කාර්. තව කලකින් අභ්‍යාවකාශ චාරිකා. අප කිසිදු පැකිලීමකින් තොරව මෙකී සමාජ පද්ධතිය තව දුරටත් පෝෂණය කරමුද? නැතිනම්, නො-ඇසුනාක් මෙන් සිටිමු ද? යහපත් සමාජ පද්ධතියක් ගොඩනැඟිමේ ලා වෙනසක් දැකීමට ඇවැසි නොවේ ද?

දිනෙන් දින පාසල් වැසේ, අධ්‍යාපනය වැනසේ, රෝහල් වල පහසුකම් සහ ඖෂද හිඟවේ, ඳිළින්දා ඳිළිදුමය, රාජ්‍ය ත්‍රස්තවාදය සහ පාතාලය දිනෙන් දින සක්‍රීය වේ, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් ජීවන වියදම සමඟ පොර බඳියි, රාජ්‍ය අංශ දියාරු වේ, නීතිය හොල්මන් වී ඇත, ඝාතන සහ පැහැරගිනීම් රැල්ක් හඹා යයි... මේ කිසිවක් ආණ්ඩුව දන්නේ නැත. නොදන්නේ ද නැත. ඔහුන්ට අපට මෙන් ඒ ගැන කිසිදු විශේෂත්වයක් ද නැත. ඔබට මේ ගැන සිතනවානම් තවත් බොහෝ දේ සිතේවි. ඉදිරි වසරේ මාස කිහිපයක් ගත වන විට නො තේරෙන අයට ද තේරේවි. තව බොහෝ දේ සයිබර් අවකාශයේ අප ඵල කරාවි. එහෙත් පැහැදිලි වෙනසක් නොකරනුයේ නම් හෝ නො වනුයේ නම් හෝ අප දිනෙන් දින ගමන් ගරන්නාවූ මේ ආශ්චර්ය්‍ය, අප සෞරග්‍රහමණ්ඩලය අයත් චක්‍රාවාටය හෙවත් ‘ක්ෂීරපතයේ‘ මධ්‍යයේ පිහිටි කළුකුහරයට හා සමාන වනු නො අනුමාන ය.

අය වැය කියා අවසන්, දැන් ඇත්තේ අපෙන් අය කරගෙන ඔහුන්ට රිසි සේ වියදම් කිරීමට පමණි. මේ සදහා බොහෝ සංදර්ශණ, ප්‍රසංග, චාරිකා, තුටු ප්‍රධානයන්, ප්‍රිය සාද, ඡන්ද, රේස් සහ ක්‍රීඩා ඉදිරි වර්ෂය සඳහාද පෙළ ගැසී ඇත. මේ අනුව පසුගිය කාලය පුරාවටම දිනගන්න උත්සාහ දැරූ සමාජ අයිතිවාසිකම් ද තාවකාලිකව අවසන්. වෘත්තීය සමිති ද තාවකාලිකව නිහඬ විය. නමුත් මෙම පීඩනයන් යලිඳු පැන නඟින බව අප හොඳින්ම දනි. හේතුව තවම මේ සියල්ලටම කිසිදු විසඳුමක් ලැබී නැති බැවිනි. එහෙත් ඉතිහාසය අපට එකම අවස්තාව දෙවරක් ලබා නොදෙනු ඇත. වරෙක වී. අයි. ලෙනින් මහතා අපට මෙසේ කියා ඇත.

“එක්සත් වෙනු, නැතිනම් විනාශ වී යනු. ඉතිහාසය විකල්ප දී නැත.“

අදහස - නිර්මලා මධුශානි ගෙනි

Tuesday, November 6, 2012

හකුළාගත් විශ්වවිද්‍යාල පනත යළි හොරපාරෙන් එයි - ssu

මතුවූ විරෝධතා හේතුවෙන් ආණ්ඩුව හකුළාගත් විශ්වවිද්‍යාල පනත නැවත කැබිනට් පත්‍රිකාවක් හරහා ගෙනඑන බව සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි.
 
එහි ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවැසුවේ අද (06) බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් පැවැසූ අදහස් පහත පළවේ.

‘‘අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ සහ අයවැය සම්බන්ධ කරුණු ගණනාවක් මතුවෙලා තිබෙන මොහොතක සමාජවාදී ශිෂ්‍ය සංගමය විදියට අප කල්පනා කළා අධ්‍යාපනය සම්බන්ධයෙන්ද මතුවෙලා ඇති ගැටලූ ගණනාවක් ගැන අවධානය යොමු කරවන්න. එමෙන්ම එළඹෙන අයවැයේ දී අධ්‍යාපනයට වෙන්කළ යුතු ප‍්‍රතිපාදන ගැන ජනතාවගේ අවධානය යොමුකරලා ඒ ගැන ආණ්ඩුවට බලපෑමක් කරන්නත් අපි කල්පනා කළා.

ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය බවට පත්වෙලා තිබෙන්නේ අධ්‍යාපන පෞද්ගලීකරණයයි. එසේ අධ්‍යාපන පෞද්ගලීකරණයේදී ආණ්ඩුව මුහුණු දුන්න අභියෝග තිබුණා. එකක් තමයි නීතිමය බාධාවක් තිබුණා. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත මගින් පෞද්ගලික විශ්වවිද්‍යා පිහිටුවීමට සෘජුව බලයක් ලබාදී නැති එක. එනිසා එජාපය, ශ‍්‍රිලනිප සභාග ආණ්ඩු ඒ සඳහා කළේ විශ්වවිද්‍යාල පනතේ නීතිවලින් රංගා පෞද්ගලීකරණය කරන්න උත්සාහ කළා. ඒ අනුව අවු. 35ක කාලය තුළදී රටතුළ විශ්වවිද්‍යාල 08 ක් දැම්මා. වත්මන් ආණ්ඩුවේ එස්.බී.දිසානායක ඇමතිවරයාත් උත්සාහ දරමින් ඉන්නේ පෞද්ගලීකරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙනඒමට. 2011 සැප්තැම්බර්

මාසයේදී ආණ්ඩුව නව විශ්වවිද්‍යාල පනතක් කෙටුම්පත් කළා. එයට 2011 දෙසැම්බර් නීතිපති දෙපාර්ගමේන්තුවෙන් අනුමැතිය ලබාගත්තා. 2012 පෙබරවාරී හදිසි පනතක් ලෙස ගේන්න උත්සාහ කළා. එයින් උත්සාහ කළේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට අමතරව පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනයට අධිකාරියක් පිහිටුවීමටත්, විශ්වවිද්‍යාල කොමිසමට සහ ස්ථාපිත කරන නව අධිකාරියට ඉහළින් මණ්ඩලයක් පත්කොට එම මණ්ඩලය ඇමතිවරයා යටතට ගැනීමටත්ය. ඒ අනුව රජයෙන් ලබාදෙන උපාධියත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් දෙන උපාධියත් සමාන මට්ටමකට ගෙන්න සහ පෞද්ගලික උපාධියට වටිනාකම වැඩිකිරීමටත් ආණ්ඩුව උත්සාහ කළා.

ඒ වගේම ඉහතකී මණ්ඩලය යටතේ ආයතන දෙකක් ස්ථාපිත කරන්න යෝජනා කළා. එකක් සුදුසුකම් රාමු ඒජන්සියයි. අනෙක ප‍්‍රමිති ආරක්ෂණ ඒජන්සියයි. එයින්ද උත්සාහ කළේ පෞද්ගලික උපාධි සඳහා ජනතාවගේ තිබූ අවිශ්වාසය නැති කරලා ඒ සඳහා වටිනාකමක් ලබාදීමටයි. 2012 පෙබරවාරී සිට අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලූදෙනාගේ විරෝධය හමුවේ ආණ්ඩුව අපේ‍්‍රල් මාසයේ පනත හකුළා ගත්තා. නමුත් ඒ පනතේ කොටස් විවිධ කැබිනට් පති‍්‍රකා හරහා කි‍්‍රයාවට නැගීමට උත්සාහ කරමින් ඉන්නේ. ඉන් එකක් තමයි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා

විසින් 2012.10.08 දින කැබිනට් එකට යෝජනා කරනවා ශ‍්‍රී ලංකා සුදුසුකම් රාමු ඒජන්සිය පිහිටුවීමට. මෙහි බලාපොරොත්තුව තමයි රජයේ විශ්වවිද්‍යාලවලින් ලබාදෙන උපාධියත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ලබාදෙන උපාධියත් සම මට්ටමට ගෙනල්ලා එයින් වඩා උසස් කුමක්දැයි තීරණය කිරීම. ඒ සඳහා එස්.බී. දිසානායක මහතා ජනතාව නොමග යවන ප‍්‍රකාශයක් කැබිනට් පති‍්‍රකාවට ඇතුල් කරලා තිබෙනවා. එයින් කියනවා ශ‍්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000-8000 ත් අතර ප‍්‍රමාණයක් විදේශ රටවල අධ්‍යාපනයට යොමු වෙනවා කියලා. අපි අහනවා පශ්චාත්

උපාධි ලබාගැනීම හැර මූලික උපාධි ලබාගැනීමට 5000-8000 ක් විදේශ ගතවෙනවා කියන්නේ කුමන සාධක පදනම් කරගෙනද කියලා. කවර වර්ෂයේ දත්තද? මූලාශ්‍ර මොනවද කියලා සඳහන් කරන්න ඕනෑ. මුලදි කිව්වා විදේශ ශිෂ්‍යත්ව සඳහා මිලියන 5000 ක් වැය වෙනවා කියලා කිසිදු සාධකයක් නැතිව. එවැනිම ප‍්‍රකාශයක් තමයි මේකත්.

එම සුදුසුකම් රාමු ඒජන්සිය මගින් කුමන විශ්වවිද්‍යාලයද උපාධි ලබාදීමට සුදුසුකම් ලබන්නේ කියලා තීරණය කරන්න පුළුවන්. එයට එම බලය ලබාදී තිබෙනවා. අවශ්‍ය නම් රජරට විශ්වවිද්‍යාලයෙන් උපාධිලබාදීම නතර කරලා මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබාදීමට අවස්ථාව ලබාදෙන්න පුළුවන්.

එනිසා අපි කියන්නේ ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුළාගත්තා යැයි ජනතාවට බොරු කීවට විවිධ කැබිනට් පති‍්‍රකා හරහා එම දේවල් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා කියලයි. ඊළඟට එස්.බී ඇමතිවරයා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙනත් එය කි‍්‍රයාත්මක කරන්න දිවිහිමියෙන් කැපවීම් කරමින් සිටිනවා. මාළඹේ වෛද්‍ය විද්‍යාලය නීත්‍යානුකූල නැති බව වෛද්‍ය සභාව කියද්දිත් ඇමතිවරයා මාළඹේ වෛද්‍යවිද්‍යාලයේ උපාධිය පිළිගන්නා බවට චක‍්‍රලේඛයක් නිතුත් කරනවා. වෛද්‍යවරුන් කියද්දී උපාධිය පිළිගන්න බැහැ ශික්ෂණ රෝහලක් නැතිව කියලා විරෝධය පළකරද්දී ආණ්ඩුවෙන් මිලියන 600 ක ණයක් ලබාදුන්නා. ඒ මදිවට ඇමතිවරයා කළේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිනියට තර්ජනය කරලා ඇය ඉල්ලා අස්වීමේ තත්වයට පත්කළා. වෛද්‍ය සභාවේ නෝනිස් මහතාට පහරදීමට කටයුතු සැලැස්සුවා, වෛද්‍ය සභාවේ වෛද්‍ය ලලන්ත රණසිංහ මතාගේ නිවසට බෝම්බ දැම්මා නමුත් පරීක්ෂණ නැහැ.

ඒ වගේම මෙම මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දෙදෙනකු සහ වෛද්‍යවරුන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කළා. එහි තාක්ෂණික දෝෂයක් පදනම් කරගනිමින් අධිකරණය දින 30 ක් ඇතුළත පෙත්සම ගොණු කළේ නැහැ කියලා නිෂ්ප‍්‍රභ කළා. එය පදනම් කරගෙන එස්.බී. ඇමතිවරයා කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයත් පෞද්ගලික විශ්වවිද්‍යාල දීම පිළිගෙන තිබෙනවා කියලා.

විවෘත ආර්ථිකයත් සමග සියල්ල පෞද්ගලීකරණය කළා. ඒ අනුව දැන් පෞද්ගලික ප‍්‍රවාහනනයටත් ඇමතිවරයෙක් ඉන්නවා. ඒ වගේම තමයි දැන් උසස් අධ්‍යාපනයට වගකියන ඇමතිවරයෙක් නැහැ. ඔහු වගකියන්නේ පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙන්. එපමණක් නොවෙයි. පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් ආණ්ඩුවේ උවමනාව කොපමණද කියනවානම් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය මගින් උපාධිය විකිණීමට ආණ්ඩුව පටන් අරගෙන. යුධ සමයේ ති‍්‍රවිධ හමුදාවට අවශ්‍ය ඉංජිනේරුවරුන්,වෛද්‍යවරුන් සහ අනෙකුත් උපාධිධාරීන් බිහිකරන්නයි කොතලාවල

විද්‍යාපීඨය ස්ථාපිත කළේ. නමුත් දැන් යුද්ධය අවසන්. දැන් එම අවශ්‍යතාවය අඩුවෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුවේ වියදමින් ශික්ෂණ රෝහලක් ඉදිකරලා මුදලට වෛද්‍ය උපාධිය විකිණීම ආරම්භ කරලා තිබෙනවා. ආණ්ඩුවේ අරමුදල්වලින් අධ්‍යාපනය ලබාදීලා රුපියල් ලක්ෂ තුනහමාරකට වෛද්‍ය උපාධිය විකිණීමට ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා.

ඒ නිසා මේ කරුණු පෙළගැසුවාම අපිට පෙනෙන්න තිබෙන්නේ මහින්ද චින්තනය, ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පෙළගැසිලා තිබෙන්නේ අධ්‍යාපනය විකිණීමේ දිසාවටයි. එනිසා තමයි ආණ්ඩුව කල්පනා කරන්නේ අධ්‍යාපනයට වෙන්කරන්නේ නැතිව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පැන නගින උද්ඝෝෂණ මර්දනයට මුදල් වෙන් කරන්නේ. විසර්ජන පනතෙන් 2013 සඳහා අපේක්ෂිත ආණ්ඩුවේ මුළු වියදමින් 5%ක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරද්දී 25% ක් ආරක්ෂාව වෙනුවෙන් වෙන්කරනවා.

ඒ වගේම තමයි අධ්‍යාපනය විකුණනවට අමතරව අධ්‍යාපනයට සම්බන්ධ ආයතනත් විකිණීමට පටන් ගෙන තිබෙනවා. කොළඹ තිබෙන ඉඩම්වලට මේ ආණ්ඩුව ලොල්කමක් දක්වනවා. ඒ අනුව තමයි රාජගිරියේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඉඩම් කොටසක් පහුගිය අවුරුද්දේ ජූලි මස 07 වෙනිදා එස්.බී ඇමතිවරයා කැබිනට් පති‍්‍රකාවකින් පර්චස් 10 ක් ඉන්දියාවේ ඇට්ලාන්ටික් සමාගමට මහල් නිවාස සංකීර්ණයක් හදන්න ලබාදෙන බවට මාධ්‍ය වාර්තා කළේ. ඒ වගේම ආණ්ඩුව සැලසුම් කරලා තිබෙනවා රාජගිරියේ දේශීය වෛද්‍ය ආයතනය සහ රාජගිරිය ශික්ෂණ

රෝහල එම ඉඩමෙන් ඉවත් කර ඹරුගොඩවත්තට ගෙනියන්න. ඒ වගේම යාබදව තිබෙන සෞන්දර්ය විශ්වවිද්‍යාලයත් එතැනින් ඉවත් කර ඉඩම පෞද්ගලික සමාගමකට ලබාදෙන්න යනවා. ආණ්ඩුව ඒ නිසා තමන්ට තිබෙන නීතිමය බාධාවන් ඉවත් කරමින් යනවා. ඒ වගේම ආණ්ඩුව දැන් කටයුතු කරමින් ඉන්නවා මෙම කි‍්‍රයාමාර්ගවලට එරෙහිව අරගල කරන බලවේග මර්දනය

කිරීමට. එනිසා ආණ්ඩුව විවිධ ආයතන තෝරාගනිමින් ඒ සඳහා මිලිටරිකරණය කිරීම ආරම්භ කර තිබෙනවා. එනිසා තමයි ආරක්ෂක අංශ සඳහා වෙන්කරන මුදල් ප‍්‍රතිශතය වැඩි කරන්නේ. අනෙක් කාරණය තමයි කිසිදු පදනමක් නැතිව පාසල් 40 ක් තෝරාගෙන විදුහල්පතින්ට සති දෙකක පුහුණුවකින් පසුව කර්නල් පදවි ලබාදෙන්නේ. පළමු වසරේ සිට ශිෂ්‍යාට හමුදා පාලනයක් සාධාරණීකරනය කරන්න, සාමාන්‍යකරණය කරන්න පාසල් පද්ධතියෙන් ආරම්භ කරලා තිබෙනවා. අනතුරුව විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන ශිෂ්‍යන්ට හමුදා පුහුණුවක් ලබාදෙනවා

කඳවුරු ඇතුලේ. එමෙන්ම කොතලාවල විද්‍යාපීඨයෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවරු සහ ගණකාධිකාරීවරු පුහුණු කරමින් සිටිනවා. ඉදිරියේදී රෝහල්වලට ප‍්‍රතිකාර සඳහා යන රෝගියාට සිදුවන්නේ සැලියුට් ගහලා, අඩිය හප්පලා, යර්ස් සර් කියලා වෛද්‍යවරයා ළඟට යන්න. ඒ නිසා හරි පැහැදිලියි අධ්‍යාපනයත් ආණ්ඩුව හමුදාකරණය කරමින් සිටිනවා.

ඒ නිසා අධ්‍යාපනයට මේ අනතුර තිබෙනවා. ඒ වගේම දළදේශිය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන්කරන්න කියලා සියලූ බලවේග ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. බලකළා. ඒ නිසා අපි බලකිරීමක් කරනවා අයවැයෙන් අධ්‍යාපනයට සැලකිය යුතු ප‍්‍රතිපාදන වෙන්කරන්න කියලා. ඒ වගේම ජීවන වියදම නිසා අපහසුතාවයට පත්ව සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යන් වෙනුවෙන් මහපොළ, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 5000 දක්වා වැඩිකරන්න කියලා අපි ආණ්ඩුවට බලකර සිටිනවා''.

Saturday, October 27, 2012

ෆූටාවෙන් පසු නිදහස් අධ්‍යාපන සටන නිමි ද?

මේදින වල අන්තර්ජාල සංවාදයන්ගේද, මග තොටදී හමුවන දේශපාලන මිතුරන්ගේද, සන්ධ්‍යාවේ මධුපාන මිත්‍රසමාගම්හීද මාතෘකාව බවට පත්ව ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සහ එය නිමාවූ ආකාරයයි.අයෙක් පවසා සිටින්නේ "නිර්මල් වැඩේ පාවාදුන්නා"

තවත් අයෙක් කියන්නේ "වෘත්තීය සමිතියකට යන්න පුළුවන් උපරිම දුරතමයි ඒ පෙන්නුවේ. "තවත් අපගේ දේශපාලන මිත්‍රයන් කියන්නේ "80 වර්ජනේට වඩා දරුණු වෙනවා මේ පරාජය."
අපගේ I Hate politics මිත්‍රයන් පවසන්නේ "අපි කිව්වනේ ඕක වෙනවා කියලා. උඹලට පිස්සු."

තවක් වටින්ගොඩින් ඉදින් සංවාදයන්ට ලුණු ඇඹුල් දමන අය කියන්නේ ෆූටා එක ඇතුලේ වළි ලු. කීපදෙනක් අයින්වෙන්න යනවලු. ධම්ම නිර්මල් එක්ක ඩීල් එකක් දාලලු. බැසිල් නිර්මාල් එක්ක ඩීල් දාගෙනලු.
 
ඇත්තටම සටන අවසන්ද?

මේ සියලු සංවාදයන්ගේ කථා නොකරන එකම කරුණ අධ්‍යාපන සටන ෆුටාවෙන් පසු ගොඩනගන්නේ කෙසේද යන්නයි. ආචාර්යවරුන්ගේ සටන් වැටුප් සටනින් උත්කර්ෂයට පැමිණ ආරාබි වසන්තයක් දක්වා දිගුකරන දේශපාලාන බලවේග නිර්මාණය කරන්නට පෙළගැසුනු බොහෝ කණ්ඩායම් ෆූටාව අවසන්වීමෙන් පසු උකඨලී වී ඇත. නැතිනම් සියල්ල අවසන් වූවාක් මෙන් හැඟීම් බරවී ඇත.

"සමහර ආචාර්යවරු පවා ""සිරකරුවෝද මනුෂ්‍යයෝය" , ඒමෙන්ම ""කථිකාචාර්‍යයෝද මනුෂ්‍යයෝය". ජීවිත යථාර්ථය ඔවුනටද මඟ හැර යා නොහැක්කකි " යනුවෙන් අන්තර්ජාල සමාජ වෙබ් අඩවිතුළ සටහන් තබන තත්ත්වයටම මානසික පරාජයන්ට පත්ව සිටිති.

ලිපියට ප්‍රවේශය එතැනින්ම සපයා ගත හැකිය. සැමට සමාන අධ්‍යාපනය නැතිනම් අධ්‍යාපනයේ සම අයිතිය එහෙමත් නැතිනම් නිදහස් අධ්‍යාපනය සුරකීමේ වගකීම තිබෙන්නේ ෆූටාවට හෝ වෙනත් කණ්ඩායමකටද ?

ආසියාතික පසුගාමීත්වයෙන් අගතැන්පත්ව සිටින ලංකා සමාජය සැමවිටම තමන්ගේ වගකීමෙන් මිදී එම වගකීම අනෙකෙකු මත පටවයි.

එමනිසාම විවිධ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමට සෑමවිටම අනෙකෙකු යෝජනා කරති. නිදහස් අධ්‍යාපන සුරකීමේ වෙනුවෙන් අතීතයේ සිට මේ දක්වා ඉතා අඩුපාඩු සහිතවද නොනවත්වා අරගලයේ යෙදෙන්නේ විශ්වවිද්‍යාප ශිෂ්‍ය ප්‍රජාව පමණි.
ඒ ලෙසම මානව හිමිකම් කඩවූ විට ඒ වෙනුවෙන් පෙනීසිටය යුත්තේ මානව හිමිකම් සංවිධාන සහ මානව හිමිකම් ආරක්ෂකයෝය. මාධ්‍ය මර්ධනයට එරෙහිව පෙනීසිටින්නේ මාධ්‍යවේදීන් පමණි. ගොවීන්ගේ ප්‍රශ්ණවලට ගොවීන් පමනී.

මේ ලෙස දකුණේ සමාජය ඉතා ගැඹුරුලෙස වෙන්වී තිබේ. නැතිනම් සමාජයේ පැවැත්ම සඳහා එකිනෙකා අතර වන මහා සම්මුතිය අවසන් වී ඇත. එය අවසන් වී ඇති නිසාම එය පාලකයන් මැනවින් විග්‍රහකරගෙන සිටිති. ඔවුන් විවිධ කණ්ඩායම් වෙනවෙනම ගෙන විසදුම් ලබාදෙන්නේ ඒ නිසාවෙනි.

අවසන්වූ ෆුටා අරගලයටද පාලකයන් ඒ ලෙසම තම උපක්‍රමය ක්‍රියාවට නැංවීය.ඔවුන් අවසානයේ එම අරගලය වැටුප් අරගලයක් දක්වා විතැන් කිරීමට ක්‍රියාත්මක වූයේ මන්ද 6% වැනි සටන් පාඨයකට සමස්ථ සමාජයටම ආමන්ත්‍රණය කළ හැකි නිසාවෙනි. ආචාර්යවරුන්ගේ සංගමය සුපුරුදු ආසියාතික ලක්ෂණ පෙන්නුම් කරමින් අවසානයේ දී සිය සීමාවේදී පමණක් කටයුතු කළහ.

නමුත් මෙහි ධනාත්මක කාරණය වන්නේ අධ්‍යාපනයේ සම අයිතිය සඳහා වන අරගලය නැවත වටයකින් ආරම්භකිරීමට ඉතා හොඳ කථාකාවක් මේවන විට ආරම්භ වී තිබීමයි. එම සංවාදය තවදුටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය පැණනැගී ඇත.ෆූටා නිසා නොව ජනයා තමන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් වීදියට කැඳවන්නේ කෙසේද යන්න අප හමුවට මේ නිශ්චිත මොහොතේදී අභිමුඛ වී ඇති ප්‍රධාන අභියෝගයයි.
 
what's next ? ඉතිං, ඊට පස්සේ?

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂ මෙතැනින් පසු අධ්‍යාපනය වෙනුවෙන් කරන මැදිහත් වීම මත ඔවුන් ඉහත අරගලය දැක්වූ සහය සහ කළ මැදිහත් වීම කෙතරම් අවංකද යන්න නිර්ණය කළ හැක්කේ පශ්චාත් ෆුටා කාලසීමාවේදීය.

ආචාර්ය දේවසිරි හයිඩ් පාක් පිටියේදී පැවති අවසන් රැළියේදී ප්‍රකාශ කළ අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂිත කරන බවට ප්‍රතිඥාවක් එක්සත් ජාතික පක්ෂයෙන් තවමත් ලැබී නැත. (ලැබෙන්නේද නැත - අවධාරණය මගෙනි) මන්ද පසුගිය සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේද 6% දෙන්නට ඇත්ත වශයෙන්ම අපහසු බවයි. එමණක් නොව ඔහු පවසා සිටින්නේ කිසියම් ආදායම් මට්ටමෙන් පහළ පිරිසකට පමණක් නිදහස් අධ්‍යාපන ලබාදුන්නාම ඇති යනුවෙනි.

එම ප්‍රකාශය අප විටහා ගත යුත්තේ ආචාර්ය හර්ෂගේ පුද්ගලික මතයක් ලෙස නොව එක්සත් ජාතික පක්ෂය නිදහස් අධ්‍යාපන සම්බන්ධව දරණ ස්ථාවරය ලෙසය.

ජනාතා විමුක්ති පෙරමුණ තමන්ගේ නිදහස් අධ්‍යාපනය සුරකිමු යන සටන් පාඨය අවස්ථාවට උචිත පරිදි වෙනස් කරගෙන ඇති බව නීර්ක්ෂණය වෙයි. දඹර අමිල හිමි පවසා සිටියේ නිදහස් අධ්‍යපනය සුරකීමට නිදහස් අධ්‍යාපනය රාජ්‍ය අධ්‍යාපනයෙන් තෙම්පරාදු කරගත යුත් බවයි. එය එක් අතකින් ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ පටන්ම සිදුකරන සිය අවස්ථාවාදී දේශපාලනයේ කඩපතක් වැනිය.

රෝසමල මෙතැන. එන්න මැතන නටන්නට කියා මෙතැනට ජනතාවට හඩගසනා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභිමුඛ වී ඇති අභියෝගය සුළුපටු නොවේ.බොහෝවිට මෙම අභියෝගය ඔවුන්ගේ භූමිය තුළ කටයුතු කිරීමේ ශක්තිය මැනබැලීමේ පරීක්ෂණයක් වෙනවා නොඅනුමානය. එක් පැත්තකින් ශිෂ්‍ය ව්‍යාපාරය මෙතැන් පසු මෙහෙයන්නේ කොතැනට අනෙක් පැත්තෙක් දේශපාලන පක්ෂයන් ලෙස නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටනට ජනයා ඒකරාශී කරන්නේ කෙසෙද යන්නයි.

ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂයන් දෙපළකගේ ජීවිත ෆුටාව වෙනුවෙන් පරිත්‍යාග කෙරුනි. එම නිසාම ශිෂ්‍යයන්ගේ නිදහස් අධ්‍යාපන සටන ෆුටාවේ අවසානයෙන් දියාරු කරනොගෙන මෙහෙයවීමේ වගකීම ඔවුන්ගේ කරමතට වැටී ඇත.
 
ජනයා අරගලය කැඳවීම

නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටන එක් පක්ෂයටකට හෝ කණ්ඩායමකට අයත් කාර්යක් පමණක් නොවන බව ලියමනේ මුලින්ම සඳහන් කලෙමි. එම නිසාම අධ්‍යාපනයේ සම අයිතිය රැකගැනීමේ සටනේ ප්‍රමුඛ කාරණාව බවට ජනයා පත්වෙති.

විශේෂයෙන්ම ලංකා සමාජයේ සියලු වෘත්තිකයන් තමන් උපයන මුදලින් වැඩිම ප්‍රතිශතයක් වියදම් කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි. ඉතා පහළ මට්ටමේ ආදායම් ලබන්නන් පවා තම ජීවිත කාලයම කැපකරන්නේ බොහෝවිට තම දුවාදරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි. ඒ ඔවුන්ගේ ජීවිත සුවපත් කිරීමට ඇති එකම මාර්ගය දරුවන්ට හොදින් ඉගැන්වීම බව ලංකා සමාජයම විශ්වාස කරයි. ලංකාව වැනිරටවල ආර්ථික සාමාජීය සහ දේශපාලනික තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ගේ විශ්වාසයෙහි සත්‍යතාවයක්ද පවතී.

මේ නිසාම නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටනේ පෙරමුණු සටන්කරුවන් බවට දෙමාපියන් පත්කරගත යුතුය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරකීමේ සටන තවමත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස් ආකර්ෂණය කරනවා විනා සමස්ථ ජනයට ආමන්ත්‍රණය කර නැත. ශිෂ්‍ය ව්‍යාපාරය වේවා අවසන් වූ ෆූටා අරගලය වේවා ඔවුන් දෙපිරිසම කටයුතු කලේ ප්‍රධාන බලවේගයට අමන්ත්‍රණය නොකරය. අප නිදහස් අධ්‍යාපනයේ ප්‍රධාන බලවේගය කරගත යුත්තේ ලංකාවේ සමස්ථ ශිෂ්‍ය පරපුරේ දෙමාපියන් වේ. මන්ද යම් හෙයකින් නිදහස් අධ්‍යාපනය අවසන් වී මුදල් ගෙවා ඉගෙනගැනීමට සිදුවුවහොත් එහි බර පැටවෙන පිරිස ඔවුන් බැවිනි. ඔවුන් මේ සටනේ ගාමක බලවේගය වන්නේ සරලව එම ආර්තික කාරණය ඔස්සේය. දේශපාලන කණ්ඩායම අනෙතුත් වෘත්තීය සමිති,සිවිල් සංවිධාන මේ සියල්ලම ද්විතීක බලවේගවන්ය වේ.

නමුත් මේ දක්වා සිදුව ඇති සියලු අරගල දෙස වඩාත් පුළුල්ව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ නිදහස් අධ්‍යාපනය සුරකීමේ සටන ගොනූ වී ඇත්තේ පාලකයන්ගේ ඉල්ලීම් ඉල්ලනවා හෝ පාලකයන් වෙනස් කරනවා මිස අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් ජනතාව වෙනස් කිරීමට නොවේ. එම නිසා පශ්චාත් ෆුටාවෙන් පසු නිදහස් අධ්‍යාපනය සටන් ජනතාව ඒ වෙනුවෙන් පෙළගස්සවන,ජනතාව සමග එක්ව කරන සටනක් බවට පරිවර්තනය කර ගැනීමේ අභියෝගය අපහමුවේ පවතී.

එවිට අප විසින් විග්‍රහකරගත යුත්තේ ෆූටාවෙන් පසු නිදහස් අධ්‍යාපනයේ සටන කිසිලෙසකින්වත් අවසන් නොවන බවයි. එය තවත් එක් අත්දැකීමක් පමණ් වන අතර එය අවසන් වූ ආකාරය සම්බන්ධයෙන් තැවීමට හෝ උකඨලී වීමේ අවශ්‍යතාවයක් නැත.

අවශ්‍යවන්නේ නිදහස් අධ්‍යාපන සුරකීමේ වැදගත් කර සමාජය ඒත්තු ගන්වා ජනතාව අරගලය වෙත කැඳවීමයි. නිදහස් අධ්‍යාපන වළපල්ලට යවන්නට සුබ සිහින දකින පාලකයන් එම සිහිනෙන් අවධිකළ යුත්තේ එම ජනතාවගේ හඩනි.

ජනතාව අරගලය වෙත කැදවන්නේ නොමැතිව පාලකයන්ට ගෙදරට යන්නට කීවට පළක් නැත. ඒ සියලු සටන් නිමාවීමට ඇත්තේ ෆූටාව අවසන් වූවා වැනි අනාගත පෙරොන්දුවලින් පමණි.

අප ඒ ශ්‍රද්ධවූ පෙරොන්දුව අත්සන් කළයුත්තේ ජනතාව සමගය. ඒ නිදහස් අධ්‍යාපන අනාගත පරපුරට ලබාදීමට සුරකිනවා කියන පොරොන්දුවයි.

එම නිසාම " ෆූටාවෙන් පසු නිදහස් අධ්‍යාපන සටන නිමද?" නැත, අලුත් සටන අරම්භකළ යුතුව ඇත.
පසන් ජයතිලක \[Pasan Jayathilake]
(කැළණිය විශ්වවිද්‍යාලය )

දෙහිඅත්තකණ්ඩියේ ආදරනීය නංගිලා මල්ලිලා, මෙතෙක් කාලයකට රජයේ නිදහස් අධ්‍යාපනයෙන් නොලත් දැනුම, ලබා ගැනීමට මග බලා සිටිනවා ඇත....!!

සංහිඳ පාමුල 2012 
පශු වෛද්‍ය පීඨය
පේරාදෙණිය සරසවිය

 ආදරනීය අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, බොහෝ විට රාජ්‍ය මාධ්‍යයේ කැමරා කාචයට අසු වෙන සරසවි සිසුවා ගේ භූමිකාවට වෙනත් අර්ථකතනයක් සපයන්නටයි අප මේ උත්සහ දරන්නේ.මන්ද ඔවුන්ගේ කැමරා කාචය සැබෑ සරසවි සිසුවාට ඉඩක් වෙන් කිරීමට පැකිලෙන නිසාවෙන් අප ගැන මෙලෙස සටහනක් තබන්නටයි මේ හදන්නේ. 

ගොඩාක් දුරට ඔබ මෙවන් අත්දැකීම් විඳලා ඇති. ගිනි ගහන මද්දහනේ අව්වේ විතරක් නෙමෙයි , මොර සූරන වැස්සේ පවා මං මාවත් දිග පියමනිමින් , කැට සොලවමින් මග දෙපස ජනී ජනයා ගෙන් ආධාර විමසන සරසවි සිසුන් ඔබ සහතික වශයෙන් ම දැක ඇතුවා විය යුතුය. නැතිනම් බසයකට ගොඩවී , පලමුවත් දෙවෙනුවත් තෙවෙනුවත් නිදහස් අධ්‍යාපනය ගැන සඳහන් කරමින් ඔබගේ ආධාර විමසනා සරසවි සිසුන් ඔබ දැක ඇතුවා විය යුතුම ය. ඔවුනට ඔබ අනන්තවත් දොස් නගා නැතුව නම් විය නොහැක... රජ දරුවන් කාර් රේස් පදින්නට, බොලිවුඩ් සුරූපිනියන් හා රඟන්නට, සමාජශාලා ගානේ සල්ලාලකමේ යෙදෙන්නට තමන් මිලදී ගන්නා භාණ්ඩ සියල්ලෙන් ම පාහේ බදු ගෙවමින් අරමුදල් සපයන විටදී මුනිවත රකින ඔබ මුව, දහසක් දෙනා වෙත් ගොස් රුපියල් දහසක් මහන්සියෙන් එක් ‍රැස් කරගන්නා සරසවි සිසුවෙකුට පන්න පන්නා තර්ක සපයයි, ලේබල් අලවයි, ඒ පමණක් නොව හැකිනම් බැන අසලින් පන්නා ගනියි. ඔබ නිකමට වත් සොයා බැලුවා ද මෙ අරමුදල් කුමට ද කියා? ඔබට ඒ සඳහා පූර්ණ අයිතියක් ඇත. ඒ සඳහා පිළිතුරු සැපයීමට ද අප ට යුතුකමක් ඇත. මන් ද ඔබ සපයනා මුදලට කුමක් සිදුවන්නේ ද් යන්න ඔබ දැන ගත යුතු බැවිනි. 

සංහිඳ පාමුල ශිෂ්‍යත්ව අරමුදල ඇරඹෙන්නේ මීට වසර ගනනාවකට ඉහතදී ය. ඒ සඳහා හේතු පාඨ කිහිපයක් මුල්වී තිබිනි. ඔබත් මාත් දන්නා පරිදි සරසවියේ නිදහස් අධ්‍යාපනය ලබන්නේ, අසරණ අම්මා තාත්තාගේ දරුවන් ය. එහි රජ දරුවන් සිප් සතර හදාරන්නේ නැත. එනිසා එම අසරණ දරුවන් ට ඇති ආර්ථික අපහසුතා අමුතුවෙන් කිව යුතු නැත. මහපොළට පිං සිදුවන්නට සරසවි සිසුවා තම දවසේ වේල රුපියල් සියයකින් පිරිමහ ගනියි. දන්නා කාලයක සිට මහපොළ 2500 කි. එයට වැඩිවීමක් නැත. එසේ ලැබෙනා මුදලින් කොටසක් ද තම නිවෙස් වෙත එවන සිසුන් නැතුවා නොවෙයි. හදිස්සි මුදල් අවශ්‍යතාවකදී එය නිවසට දැනුම් දීමේ අපහසුව නිසා, සති අන්ත වලදී කුලී වැඩක් හෝ කර එම මුදල උපයා ගන්නා සිසුන් අපමන ය. එවන් සිසුන් ට යම් තාක් දුරකට හෝ සරණක් වීමට සහෝදර අපට හැකි නම් ? 

එලෙස අප සෑම වසරක ම සිසුන් ගෙන් ‍තෝරාගත් සිසුන් පිරිසකට එක් වසරකට ශිෂ්‍යත්ව 3ත් 5ත් අතර ප්‍රමාණය ක් ලබා දෙන්නෙමු. එය පළමු හේතු පාඨය අපට සැපයීය. දෙවැන්න අප සිතට එන්නේ ද නිකන් ම නොවෙයි.පශු වෛද්‍ය පීඨයට සිසුන් තේරී පත් වන්නේ මුලු දිවයිනම නියෝජනය වන පරිදිය. ඔවුන් බොහෝ විටෙක ඉතා දුෂ්කර පාසැල් වල සිට ඉතා අපහසුවෙන් මෙහි පැමිණි අය වෙති. එහෙත් ඔවුන් තමන් ගොඩවුනු ඉනිමගට පයින් ගසීමට තරම් ගුණමකුවන් නොවෙති. ඔවුන් එවන් ඉනිමං තව දහස් ගනනක් ගොඩ නැංවීමට සිතති.

 එවන් උදාර සිතුවිල්ලක හේතු පාඨ ඔස්සේ යන අප සාමාන්‍ය පෙළ ගණිත හා විද්‍යා සම්මන්ත්‍රන මාලාවක් සංවිධානය කරයි.එපමණක් නොව එය අති සාර්ථක ලෙස ක්‍රියාවට නංවයි.එලෙස දෙහිඅත්ත්කණ්ඩිය ජාතික පාසලේ බිත්ති සතර අතර පශු වෛද්‍ය 

පීඨයේ නම ස්ථාපනය වෙයි.එලෙස අප පටන් ගත් ගමන මෙවරත් සංවිධානය කිරීමට නොපසුබස්නා උත්සහයෙන් ක්‍රියා කලෙමු.

මාස තුනක දිගු අරගල සමයක නියැලී සිටි අප , මෙවන් සත් කාර්‍යය කට ද අත ගැසුවෙමු.ප්‍රශ්න පත්තර සූදානම් ය.අප ඇදුරු මඩුල්ල සූදානම් ය.අප සියලු දෙන සූදානම් ය.නොබෝ දිනකින් ම අප දෙහිඅත්තකණ්ඩිය බලා පිටත් වන්නෙමු.එහි අපගේ ආදරනීය ආදරනීය නංගිලා මල්ලිලා , මෙතෙක් කාලයකට රජයේ නිදහස් අධ්‍යාපනයෙන් නොලත් දැනුම , නිදහස් අධ්‍යාපනයේ නිශ්පාදන වන අපගෙන් ලබා ගැනීමට මග බලා සිටිනවා ඇත...මන් ද පෙර අප සිදුකල සම්මන්ත්‍රන වලදී අප ඔවුන්ගේ විද්‍යා දැනුමේ දුර්වලතා හඳුනා ගතිමු.ඔවුන් ඇත්තට ම අසරණ ය.රජයේ නූතන නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපත්තිය ට පිං සිදු වන්නට විද්‍යා ගුරුවරු එම පාසැල් වල පස් පාගා නැත.

 එනිසාවෙන් අම්මේ තාත්තේ...මොහොතක් සිතන්න...ඔබ කරන්නේ නිවැරදිම දෙය ද කියා...අරගලකාරී මානසිකත්වය අතරතුර අප සංවිධානය කරනා මෙවන් යහපත් ව්‍යාපෘති ඔබ දැන සිටියා ද? ඔබ කිසිදු මාධ්‍යක මේ පිලිඹඳ වචනයක් හෝ අසා ඇත් ද? තීරනය ඔබට භාරයි.

පශු වෛද්‍ය පීඨ ශීෂ්‍ය සංගමය - පේරාදෙණිය සරසවිය

Friday, October 26, 2012

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමටනම්


අධ්‍යාපනය පෞද්ගලීකරණය කරවීමේ අරමුණ ඇතිව අදවනවිට අධ්‍යාපනය වෙන්කරන ප්‍රතිපාදන දිනෙන් දින කප්පාදු කරමින් ඇත ..............!! 

මුදලට අධ්‍යාපනය විකිණීම තුළින් අධ්‍යාපනය වරප‍්‍රසාද ඇති පන්තියට පමණක් සීමා කිරීම රජයේ න්‍යාය පත්‍රය බවට පත් වී ඇත.................!!

නිදහස්
අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමටනම්, මීට එරෙහිව සංවිදානය වීම හැර වෙන විකල්පයක් නොමැත .................!!

ගුරු/ශිෂ්‍ය විරෝධය රළ ගසමින් නැඟී එමින් ඇත..................!! 
 
ඊට එරෙහිව ඉමහත් කැපවීමෙන් කටයුතු කරන්නට ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සමත් විය
යුතුය ............!!.

මෙය ජාතික ප්‍රශ්නයකි, එය රටේ සියලු ජනතාවත් සමග බද්දවී කල යුතු සටනකි.............!!

ඒවෙනුවෙන් සියලුම බලවේග එක්කරගත් ශක්තිමත් අරගලයක නියලිය යුතුය.............!!

පටු දේශපාලණ හෝ අනෙකුත් ප්‍රතිවිරෝධතාවයන් තවදුරටත් පවත්වා ගත නොහැක...............!!

තිබිය යුත්තෙ එකම එක ප්‍රතිවිරෝධතාවයකි එයනම්, 
නිදහස් අධ්‍යාපනය රැකගනීම වෙනුවෙන් පෙනීසිටින හා එයට විරුද්ධ මතයේ සිටින ප්‍රතිවිරෝධතාවයි..............!!

Thursday, October 25, 2012

කලාවේ කාර්යය අලුත් දෙයක්‌ නිර්මාණය කිරීම විනා එක්‌ පරම්පරාවකට අයත් දෑ තවත් පරම්පරාවකට ගෙන යැමත් පිටපත් කිරීමත් නොවේ

කාම ප්‍රබන්ධ, කුලී ලියන්නන් හා සිංහල සාහිත්‍ය සංස්‌කෘතිය

මේ ලිපියේ අරමුණ වර්තමානයේ සිංහල සාහිත්‍ය සංස්‌කෘතිය වැටී ඇති එක්‌තරා ඛේදවාචකයක්‌ හඳුනා ගැනීමයි. එම ඛේදවාචකය නම් සදාචාරාත්මකභාවය බිඳ වැටීමයි. 

සාහිත්‍ය සංස්‌කෘතිය යන සංකල්පයෙන් අප අදහස්‌ කරන්නේ සාහිත්‍යය හා සබැඳි සියලුම දේවල්ය. ඒ අනුව සාහිත්‍ය විචාරය, සාහිත්‍ය සම්මාන, පතපොත පළ කිරීම, පුවත්පත් සම්මුඛ සාකච්ඡා, සාහිත්‍යකරුවන් අතර කතාබහ, රණ්‌ඩු දබර යනාදී සියල්ලම සාහිත්‍ය සංස්‌කෘතිය යටතට වැටේ. 


රටක සාහිත්‍යයේ දියුණුව යනු විශාල පත පොත ප්‍රමාණයක්‌ පළ වීම නොවේ. සාහිත්‍ය රැස්‌වීම්, පොත් ප්‍රදර්ශන, සාහිත්‍ය අතිරේක, සාහිත්‍ය භෝජන සංග්‍රහ යනාදිය මහා පරිමාණයෙන් සිදුවීමද නොවේ. මේ සියලු දෙයින් ගුණාත්මකව සාහිත්‍යය කෙතරම් දුරට පෝෂණය වේද යන සාධකය මතය. මේ සියලු දෙය ගැඹුරු අර්ථයෙන් සදාචාරාත්මකව කෙතරම් පල දරන්නේ ද යන සාධකය මතය. සාහිත්‍යයේ හරය පරම අර්ථයෙන් ගත් කල සත්‍යය වෙත ගමන් කිරීමයි. බොහෝ ලස්‌සන සළු පිළිවලින් දවටා වසා තිබෙන සත්‍යය නිරාවරණය කොට පෙන්වාදීමයි. ඒ සඳහා සාහිත්‍යකරුවෝ විවිධ මාර්ග අනුගමනය කරති. එහෙත් ඒ සාහිත්‍යමය උපක්‍රම මිස වාණිජමය ප්‍රචාරක උපක්‍රම නොවේ.

දොස්‌තොයෙව්ස්‌කිගේ උතුම් අදහස අතිශේ්‍රෂ්ඨ මහා රුසියන් නවකතාකරුවා වූ දොස්‌තොයෙව්ස්‌කි මෙසේ පවසයි.

"පෞද්ගලික නිදහස යනුවෙන් අදහස්‌ කෙරෙන්නේ ආචාරවත් භාවයෙන් තොර වීම නම් ඒ නිදහස පිටුදැකීම මැනවි. කෙනකුගේ පෞද්ගලිකභාවය අත්හැර දැමීම එයටත් වඩා මැනවි. සාහිත්‍යය එහි නමට ගැළපෙන පරිදි පැවතිය යුතු නම් කොතරම් අමිහිරි වුවද සත්‍යය ප්‍රකාශ කළ යුතුය."

දොස්‌තයෙව්ස්‌කි යථෝක්‌ත අදහස 19 වැනි සියවසේ රුසියාවට වඩා වර්තමාන ලංකාවට වටින්නේ යෑයි අපි සිතමු. මන්දයත් මේ මොහොතේ අපගේ සාහිත්‍ය සංස්‌කෘතිය අතිවිශාල සදාචාරාත්මක පරිහානියකට පත්වී ඇති නිසාය. ඒ නිසා දොස්‌තයෙව්ස්‌කිගේ අතිශේ්‍රෂ්ඨ සදාතනික අදහස්‌ මත පදනම් වෙමින් සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රය වෙත යොමු වෙමු.

සාහිත්‍ය විචාරය කුලී ව්‍යාපෘතියක්‌ වීම

සාහිත්‍ය සංස්‌කෘතිය තුළ වඩාත් තීරණාත්මක හා වැදගත්ම අංශයක්‌ ලෙස සාහිත්‍ය විචාරය පෙන්වාදිය හැකිය. විචාරකයා මොන තත්ත්වයක්‌ යටතේ වුවද කෘතිය වෙත පාඨකයාගේ උනන්දුව වඩවන වැදගත් මැදිහත්කරුවාය. අද වැනි අවධියක ධනවාදයේ ව්‍යාප්තියත් සමග ඔහු අර්ධ වෙළෙඳ නියෝජිතයකු තරමටම පිරිහේන. එහෙත් තමාටම අනන්‍ය වූ දැනුමක්‌ හා දැක්‌මක්‌ සහිත විචාරකයෝ කෘතියේ යථාර්ථයට පිවිසීම මිස පොත් ප්‍රකාශකයාගේ කුලීකරුවන් බවට පත් නොවෙති. වර්තමාන සිංහල සාහිත්‍ය සංස්‌කෘතිය තු-ල එවැන්නෝ විරලය. කුලීකරුවෝ බහුලය. මෙය සාහිත්‍ය සංස්‌කෘතිය අද මුහුණදෙන බරපතළ අභියෝගයකි. පාඨකයා නොමග යවන විචාර බහුල වීම සහ විචාරය හුදු ප්‍රචාරක කර්මාන්තයක්‌ බවට පත්වීම මෙහි කනගාටුදායක ප්‍රතිඵලය.

ප්‍රකාශකයාගේ භූමිකාව

ප්‍රකාශකයා වෙළෙන්දෙකි. ලාභ ගවේෂණය කරන්නෙකි. ඒ උදෙසා කටයුතු කරන්නෙකි. එයින් ඔබ්බට ගොස්‌ සාහිත්‍යය පිළිබඳ ආදරයෙන්, ගෞරවයෙන් සිතන ප්‍රකාශකයෝ විරලහ. නැත්තේම නොවේ.

එහෙත් වර්තමාන සිංහල සාහිත්‍ය සංස්‌කෘතිය තුළ එයට වඩා භයානක ප්‍රවණතාවක්‌ නිර්මාණය වී තිබේ. එනම්, ප්‍රකාශකයා තම වෙළෙඳ බලය යොදා කුලී විචාරකයන් නිර්මාණය කිරීමත් නිර්භයව ලියන විචාරකයන්ට තර්ජනය කිරීමත්ය. උදාහරණයක්‌ පවසමු.

කාම ප්‍රබන්ධ ආරක්‍ෂා කිරීම

අතිශය බොළඳ ප්‍රේම කතා ලියා තරුණ පරපුර රවටන ලේඛකයකු සිටියේය. බොළඳ ප්‍රේම කතා ලියන අතර ටියුෂන් ගුරකු ද වූ හෙතෙම හරිහැටි මග පෙන්වන්නකු නොමැති තරුණ පරපුර නතු කර ගෝල පිරිසක්‌ ද නිර්මාණය කළේය. පසුව පොත් ප්‍රකාශකයකු බවට පත්වූ ඔහු බොළඳ ප්‍රේම කථා වෙනුවට අමු කුණුහුරුප බහුල කාම ප්‍රබන්ධ රචනා කිරීම ඇරැඹුවේය. මේ කාම ප්‍රබන්ධ එක්‌ එක්‌ කුලී ලියන්නන් ලවා වර්ණනා කරගැනීමට ඔහුට හැකිවූ අතර තම ගෝල කොම්පැනිය ලවා මාධ්‍ය ප්‍රචාරයද යහමින් ලබා ගත්තේය. මේ අතර එක්‌ නිර්භීත විචාරකයකු මේ කාම ප්‍රබන්ධකරුවාගේ භයානක කාම ප්‍රබන්ධයක්‌ දැඩි ලෙස විවේචනය කර සතිඅන්ත පුවත්පතක විචාරයක්‌ පළ කළේය. කාම ප්‍රබන්ධකරුවා කිපී දස අතටම දුරකථන ඇමතුම් දී විචාරකයාට තර්ජනය කළේය. එයින් නොනැවතුණු හෙතෙම තම කුලී ලියන්නකු ලවා අර විචාරකයාට පහර ගසා තම කාම ප්‍රබන්ධය අගය කර ඊළඟ සතියේම විචාරයක්‌ පළ කළේය. එහිදී කුලී ලියන්නා කාම ප්‍රබන්ධකරුවාව වර්ණනා කළේ සයිමන් නවගත්තේගමට සමාන භූමිකාවක්‌ ලෙස සලකමිනි.

මේ කතාන්දරය අපට පවසන දෙය නම් සාහිත්‍ය සංස්‌කෘතිය තුළ සදාචාරය ඉතාමත්ම භයානක අන්තයටම පිරිහී ගිය ආකාරයය. අවරගනයේ කාම ප්‍රබන්ධකරුවකුට අවශ්‍ය නම් මුදල් වියදම් කොට කුලී ලියන්නකු ලවා තමා සයිමන් නවගත්තේගම කෙනෙක්‌ බවට පත් කරගත හැකිය.

මෙබඳු ප්‍රශ්න වටහා ගැනීමේදී රුසියන් සාහිත්‍යයේ වටිනාකම

මෙබඳු දුෂ්ට ප්‍රවණතා දෙස ගැඹුරු සදාචාරාත්මක හා මානව දයාවෙන් යුක්‌තව බැලීමට රුසියන් සාහිත්‍යය අපව මෙහෙයවයි. කුලී ලියන්නත් එනම් තම පැවැත්ම උදෙසා කාම ප්‍රබන්ධ උසස්‌ සාහිත්‍යය ලෙස හඳුන්වා පාඨක පිරිස්‌ නොමග යවන්නන් නිර්මාණය වූයේ කෙසේද? එබඳු මිනිසුන්ගේ අධ්‍යාත්මය මෙතරම් නීච තත්ත්වයකින් නිර්මාණය වූයේ කෙසේද? වැනි ප්‍රශ්න මෙහිදී අප ඉදිරියේ ඉස්‌මතු වී පෙනෙන ප්‍රශ්නය.

තමාගේ ජීවිතයට අයහපත් දේ වෙනුවෙන් ඉතා සුළු මුදලකට, කමිසයකට හෝ වොඩ්කා බෝතලයකට තම සිරදඬුවම තමාට වඩා විශාල සිරදඬුවමකට හුවමාරු කරන අසරණ මිනිසුන් පිළිබඳ දොස්‌තයෙවුස්‌කි තම "මළ ගෙයක සටහන්" කෘතියේ විස්‌තර කරයි.

විවිධ වරදවල්වලට හසු වූ මිනිසුන් සයිබීරියාවට ගෙන යන්නේ එකින් එක පුද්ගලයාට වෙන වෙනම අංක ලබා දෙමිනි. සෑම පුද්ගලයකුම අංකයකින් හැඳින්වෙන අතර සියලු කටයුතු අංකය යටතේ සිදුවෙයි. සරලව පවසන්නේ නම් පුද්ගලයා යනු තවදුරටත් අංකයක්‌ පමණි. වසර 15, 20 වැනි දිගකාලීන සිරදඬුවම් ලැබූ අය එහි සිටිති. වසර 3, 4 වැනි අඩු දඬුවම් ලැබූ අයත් සිටිති. දිගුකාලීන දඬුවම් ලැබූ කපටි අය කෙටිකාලීනව දඬුවම් ලැබූ අයගේ අංක මාරු කරගෙන ඉතා කපටිකම් කරති. ඇතැම් විට නම්ද මාරු කරති. මෙසේ රැවටීමට ලක්‌වන්නෝ අන්ත අසරණයෝය මුදල් - හදල් නැති අනුන්ට දාසකම් කරමින් දිවි පවත්වාගෙන යන්නෝය. දොස්‌ත යෙවුස්‌කි මළගෙයක සටහන් නවකතාවේ එය විස්‌තර කරන්නේ මෙසේය.

"මාරු කර ගැනීම සිදුවන්නේ මෙසේය සිරකරුවෝ කණ්‌ඩායමක්‌ සයිබීරියාවට ගමන් කරති. ඔවුහු විවිධ වර්ගවලට අයත් සිරකරුවෝ වෙති. සමහරෙක්‌ බරපතළ වැඩට නියම වූවෝය. සමහරෙක්‌ පතල් වැඩට නියම වූවෝය. අනෙකෙක්‌ නිකම්ම පිටුවහල් කරනු ලැබූවෙකි. සයිබීරියාවට එන අතරමග නිදසුනක්‌ විසින් පෙර්ම් ගුබේර්නියාවේදී මිනීමැරීමේ අපරාධයට තදබල වැඩ ඇතිව බන්ධනාගාරයට නියම වී සිටින එක්‌තරා මිකෙයිලෝව් කෙනකුට සිරකරුවකු වශයෙන් අවුරුදු ගණනක්‌ එහි විසීමට නොකැමැති හෙයින් අනෙකකු සමග මාරු කර ගැනිමට සිතෙයි. ලෙවි නුවණින් අගතැන්පත් මේ කපටි මිනිහා කළයුත්තේ කුමක්‌දැයි දනියි. පළමුකොටම හෙතෙම සුළු දඬුවමක්‌ ලබා සිටින බයාදු චාම් මිනිසකු සිටීදැයි විපරම් කර බලයි. පතලයක අවුරුදු කිහිපයක්‌ වැඩ කිරීම, පදිංචිය සඳහා පිටුවහල් කිරීම, සුළු වැඩ ඇතිව සුළු කලකට සිරගෙට නියම වීම වැනි දඬුවම් මෙයට ඇතුළත් වේ. අන්තිමේදී පෙර ප්‍රවේණි දාසයකු වූ පදිංචිවීම සඳහා පිටුවහල් කරනු ලැබ සිටින සුෂිලොව් වැනි මිනිහකු ඔහුට හමුවෙයි. මේ අසරණයා දැනටමත් අතේ සතේ නැතිව වර්ස්‌ට්‌ එක්‌දාස්‌ පන්සියයක්‌ පමණ පයින් ගමන් කර තිබේ. සම්පූර්ණයෙන් වැහැරී ගිය, සිරකරුවන්ට ලැබෙන සලාකයෙන් පමණක්‌ යෑපෙමින් සිර ඇඳුම පමණක්‌ ඇඳගෙන තඹ දොයිතු කිහිපයක්‌ උදෙසා හැම කෙනකුට ම බැල මෙහෙ කරමින් මොහුට යා මට සිදුවී තිබේ. මිකෙයිලෝව් මොහුට කතා කර යහළු වෙයි. ඉක්‌බිති ඔහු මත් කරවා සිය අදහසට එකඟ කරවා ගනියි.

මළ ගෙයක සටහන් පරිවර්තනය - ජී. එස්‌. බී. සේනානායක-83 පිටුව

මෙසේ බරපතළ දඬුවමට ලක්‌වන අහිංසකයා මැරෙනතුරා සිරගෙය තුළ දුක්‌විඳියි.

වර්තමාන කුලී ලියන්නන්ගේ තත්ත්වය ද තම කෙටි කාලීන සිරදඬුවම දිගුකාලීන සිරදඬුවමක්‌ සඳහා මාරු කරන්නන්ගේ තත්ත්වයට සමානය. ඔවුන් හැම අතින්ම අසරණය. මේ අතරතුර කාම ප්‍රබන්ධකයා ප්‍රබලය. ඔහු පොහොසත් ය. බල සම්පන්නය. ඔහුට අවශ්‍යව ඇත්තේ තම ප්‍රබන්ධය කලාත්මකව උසස්‌ යෑයි ප්‍රකාශ කිරීමේ හඬක්‌ පමණි. සුළු මුදලකට ඒ හඬ අසරණ වූ කුලී ලියන්නන්ගෙන් ලබාගත හැකිය.

සාහිත්‍ය සංස්‌කෘතිය තුළ නැවත සදාචාරය නිර්මාණය කරගන්නේ කෙසේද?

මෙබඳු බරපතළ තත්ත්වයක තිබෙන සිංහල සාහිත්‍ය සංස්‌කෘතිය නැවත නිසිමගට ගත හැක්‌කේ අවංක හා සාහිත්‍යය පිළිබඳව දැනුමක්‌ සහිත පිරිසක්‌ මෙම ක්‍ෂේත්‍රය තුළ දිගුකාලීනව කටයුතු කිරීමෙන් පමණි. දැනට යම් පිරිසක්‌ අවතීර්ණ වී ඇතත් මේ ගුණාංග දෙකම සතුව ඇත්තෝ විරලහ. දැනුම සතු අයට අවංකත්වය නොමැත. අවංකත්වය සතු ඇත්තන්a දැනුමෙන් අඩුය. අද අපගේ සාහිත්‍ය සංස්‌කෘතිය මුහුණපාන ගැටලුව එයයි. එය අවබෝධ කරගෙන ඒ සඳහා විසඳුම් නිර්මාණය කරගත යුතුය. එය අප ඉදිරියේ ඇති එක්‌ ප්‍රධාන අභියෝගයකි.

සමාලෝචනය

උසස්‌ සාහිත්‍ය කෘතිවල ද ලිංගිකත්වය තිබේ. ඇතැම්විට කුණුහරුප ද තිබේ. එහෙත් ඒ කුණුහරුපය හා ලිංගික කොටස ඉස්‌a=මතු කරලීම සඳහා නොව වෙනත් යථාර්ථයන් සමග එය ද එක්‌ මිනිස්‌ යථාර්ථයක්‌ ලෙස සලකමින් පමණි. කාම ප්‍රබන්ධවල ලිංගිකත්වය ඇත්තේ ඊට වෙනස්‌වය. හුදු කාමෝද්දීපනය සඳහා පමණි. එම වෙනස වටහා ගනිමින් ශිෂ්ටසම්පන්න සාහිත්‍ය සංස්‌කෘතියක්‌ නිර්මාණය කිරීමට කැපවීම සියලුම ශිෂ්ටයන්ගේ වගකීම යෑයි හඟිමු.

ලියෝ ටෝල්ස්‌ටෝයිගේ නිර්මාණ ගැන ලියමින් රෙජී වීරමන් විචාරකයා ලියූ වැකියකින් මෙම ලිපිය නිම කරමු.

"කලාවේ කාර්යය අලුත් දෙයක්‌ නිර්මාණය කිරීම විනා එක්‌ පරම්පරාවකට අයත් දෑ තවත් පරම්පරාවකට ගෙන යැමත් පිටපත් කිරීමත් නොවේ." 

කථිකාචාර්ය චින්තක රණසිංහ
සිංහල අංශය, කැලණිය සරසවිය
උපුටා ගැනීම - දිවයින 2012/10/25  

අන්තර් පාඨශාලයීය වාර්ශික ගුටි සමය

කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් සහ තර්ස්‌ටන් විද්‍යාලයේ සිසුන් අතර හටගත් ගුටි කෙළිය කොතරම් බිහිසුණු ද යත් එයට මැදිහත් වූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල ද ගුටි කෑවේ ය. පොලිසිය 'ගුටි දෙනු' මිසක්‌ 'ගුටි කනු' නැත. පොලිස්‌කාරයෙකුත් ගුටි කෑවේ නම් සිද්ධිය අත්‍යන්තයෙන් ම බරපතළ ය. මේ යුද්ධයේ පළමු වෙඩි මුරය තබන ලද්දේ තර්ස්‌ටන් විද්‍යාලයේ ශිෂ්‍යයන් හෝ ශිෂ්‍යයකු බව දැන ගන්නට තිබේ. රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙක්‌ බස්‌ නැවතුම්පළේ සිටින විට තර්ස්‌ටන් ශිෂ්‍යයකු / ශිෂ්‍යයන් ඔහුට පහර දෙන ලදී.

එයට ද හේතුවක්‌ තිබිය යුතු ය. ගුටි කෑ ශිෂ්‍යයා තරුණ උපාසකයන්ගේ සංගමයේ සාමාජිකයකු නම් ද නිතර සිල් සමාදන් වන සුපේෂල ශික්‍ෂාකාමියකු නම් ද 'තර්ස්‌ටන් ශිෂ්‍යයන්' ඔහුට පහර දෙන්නේ නැත.

ගුටි කෙළියේ පදනම කුමක්‌ වේවා මහ පාරේ සිදු වූ එය අන්තර් පාඨශාලයීය මට්‌ටමට යැම බරපතළ වරදකි. ශිෂ්‍යයන්ට මහ පාරේ ගහ ගැනීමට මෙන්ම ගුටි කෑමට ද කිසිදු අයිතියක්‌ නැත. එසේම මෙබඳු ගුටි කෙළි කවදාවත් ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය සටන් ඉතිහාසයට එකතු නොවන බවද, අනාගතයේදී මේ ගැන උදම් ඇනීමට ඔවුන්ට කිසිදු ආකාරයකින් නො හැකි වන බව ද මතක තබා ගත යුතු ය. "අපේ කාලයේදී අපි කොන්ද කෙළින් තියාගෙන හිටියේ මෙහෙමයි" කියමින් ඇතැම් පුද්ගලයන් තම දාමරික පාසල් කාලය ගැන කතා කරනු අප අසා තිබේ. ශිෂ්‍ය සටන් යනු 'ගෞරවනීය' වරදකි. ශිෂ්‍ය ප්‍රජාව ස්‌වකීය අයිතිවාසිකම් මතු පරපුරේ ද ප්‍රයෝජනය සඳහා දිනා ගැනීම පිණිස විශ්වවිද්‍යාල මට්‌ටමෙන් කරන සටන්වල අරමුණ යහපත් බැවින් ඉතිහාසයට එක්‌ වන්නේ ය.

රාජකීය-තර්¨ස්‌ටන් ගැටුමට ඉතිහාසයක්‌ තිබේ. ඒ ඉතිහාසය රටේ ඒකීයභාවය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් හෝ ත්‍රස්‌තවාදයට විරුද්ධ වීම වෙනුවෙන් හෝ හටගත් ඒවා නොව හුදු ප්‍රේම සම්බන්ධයක්‌ හෝ එක්‌ පාසලක ළමයකු අනෙක්‌ පාසලේ ළමයකුගේ ඇඟේ හැපීම වෙනුවෙන් හටගත් ගැටුම් ය. පාසලෙන් පිටතදී හෝ ක්‍රිකට්‌ මැච් එකක්‌ බැලීමට යැමේදී ඇතිවන මේ අමනාපය අන්තර් විද්‍යාලයීය ශිෂ්‍ය ගැටුමක්‌ වන්නේ මෙසේ ය රෝයල් හා තර්ස්‌ටන් විදුහල් වෙන් වන්නේ එක තාප්පයෙනි. මුලින් ම සිදු වන්නේ එක්‌ පාසලක්‌ පැත්තෙන් එන ගලක්‌ අනෙක්‌ පාසල් වත්තට වැටීම ය. එවිට ඊට පිළිතුරු වශයෙන් මේ පැත්තෙන් ගඩොල් භාගයක්‌ යවනු ලැබේ. ඊට පිළිතුරු වශයෙන් එන්නේ සම්පූර්ණ ගඩොලකි. ඒ ආ විට පුටු කකුලක්‌ එවනු ලැබේ. ඊට පිළිතුරු වශයෙන් ලැබෙන්නේ සම්පූර්ණ පුටුවකි. එවිට ඩෙස්‌ක්‌ එකක්‌ මේ පැත්තට එයි. මේ සියල්ල මෙතෙක්‌ කෙරෙන්නේ ඉන්දියාව හා පාකිස්‌තානය දේශ සීමා අතර වෙඩි තබා ගන්නාක්‌ මෙනි.

ඊළඟට ඉන්දියානු හෝ පාකිස්‌තානු හමුදාව දේශ සීමාව හරහා ප්‍රතිවාදී රටට කඩාපනින පරිදි එක්‌ පාසලක සිසුවෝ තාප්පය පැන අනෙක්‌ පාසලට වදිති. එය ප්‍රායෝගික නැත්නම් පාසල් කාලය නිම වූ පසු මහ පාරේදී සටන් කරමු ය යන තීරණයට එති. මෙබඳු සටනක්‌ පාරක පවතින විට ශිෂ්‍යයෝ මනුෂ්‍යයා සතු ඉපැරෑණි ගෝත්‍රික ලක්‍ෂණ එළියට දමති. ඒ අනුව අතට හසු වන හැම දෙයක්‌ ම කුඩු පට්‌ටම් කෙරේ. වාහනවලට පහර දෙනු ලැබේ. එවිට මේ පාසල්වලට කිසිදු සම්බන්ධයක්‌ ඇති හා නැති සියලු සිවිල් ජනයා එක පොදියට ගුටි කති.

මෙසේ පාරවල් දිගේ මරා ගන්නා පාසල් යුගල කිහිපයක්‌ ලංකාවේ ඇත. ඒවායින් ප්‍රමුඛතම යුගලය රෝයල් හා තර්ස්‌ටන් ය. ඊශ්‍රායල-පලස්‌තීන ගැටුම, හින්දු-මුස්‌ලිම් ගැටුම, හුටු-ටුට්‌සි ගැටුම, හිට්‌ලර්ගේ ආර්ය-අනාර්ය ගැටුම, සුදු-කළු ගැටුම හා සමාන මේ ගැටුම මේ, පාසල්වල ඉතිහාසය පුරාම කාලයෙන් කාලයට පැන නැංගේ ය. ශිෂ්‍යයා යනු ඉතාම ඉක්‌මනින් නරක්‌ විය හැකි (vulnerable) සත්ත්වයෙකි. ඒ නරක්‌ වූ පලය එහි ඇති පණුවන් සහ කුණු සමඟ වැටෙන්නේ සාමාන්‍ය ජනයාගේ හිස්‌ මතට ය.

රෝයල්-තර්ස්‌ටන් ගැටුමට සම්බන්ධ කිසිදු ශිෂ්‍යයකුගේ පන්ති තහනම් කිරීම හෝ ඔවුන් පාසල්වලින් නෙරැපීම කළ යුතු නැත. එවිට මරු සිරා සහ අංගුලිමාල බිහි වෙයි. මෙබඳු ගැටුමක්‌ හටගත් විට අදාළ පාසල්වල විදුහල්පතිවරුන් ගෙන්වා ඔවුන්ගේ පතුරු ගැලවීම සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමැතිව සිටි කාලයේදීත් සිදු විය. බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමැතිව සිටින මෙකලත් සිදු වනවා ඇත. එය ඒ විදුහල්පතිවරුන්ගේ ආත්ම ගෞරවයට හානියකි. එසේ නම් අවසන් විසඳුම කුමක්‌ද?. මෙබඳු කලහ ඇති වන විට සිවිල් ජනයා හට පණ ගලවා ගනු පිණිස පාරේ යැමෙන් වැළකී සිටීම ද?

-දිවයින

Monday, October 22, 2012

හිසට පරාල ඇණ ගසා තී‍්‍රමා ඝාතනය කර වසර 24 යි.

Padmasiri thrima withana

2012 ඔක්තෝම්බර් 22 වැනිදාට, එනම් අදට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 24 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් සංහාරයට ලක්වූ සමාජයක, පද්මසිරි ති‍්‍රමාවිතාන සොයුරාගේ ඝාතනය සුවිශේෂී වන්නේ ඔහු ජීවිතය පූජා කළේ මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීම උදෙසා වන බැවිනි. 1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ නියමුවකු වූ තී‍්‍රමා අංකුර කවියෙකි. චිත‍්‍ර ශිල්පියෙකි. ඒ හැමටම වඩා ඔහු සැබෑ මිනිසෙක් විය.

     ති‍්‍රමා දකුණේ අම්බලන්ගොඩ කහව ගල්දූව ගමේ දී 1964 මාර්තු මස 01 දින උපත ලැබීය. ඔහුගේ පියා ගාල්ල උසාවියේ භාෂා පරිවර්ථකයෙකු ලෙස සේවය කළේය. මලනුවන් තිදෙනෙකුට හා එක් නැගනියකට වැඩිමහල් සොහොයුරා වූ පද්මසිරි ත‍්‍රීමාවිතාන අහිංසක පවුලක, මවගේ පියාගේ හා සොයුරු සොයුරියන් සිවු දෙනෙකුගේ දහසක් පැතුම් ඉටු කරන්නට සිටි එකම බලාපොරොත්තුව විය. මූලික අධ්‍යාපනය අම්බලන්ගොඩ කහව විද්‍යාලයෙන් හැදෑරූ ඔහු උසස් අධ්‍යාපනය සදහා 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට තේරීපත් විය. ඔහු බ්ලොම් ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටියේය.

වඳ වී ගිය ගුරු පරපුරක හංස ගීතය හෙවත් ගුරු ගීතය


ගුරුවරයා වූ කලි උත්තම පුරුෂයෙකි. ඔහු පහනෙන් පහනක් දල්වන්නෙකි. පරපුරක් ගොඩනඟන්නෙකි. සමාජයට වගකිව යුත්තෙකි. අතීතයේ සිට දේවත්වයෙන් පිදුම් ලැබූවෙකි. එහෙත් ලාංකීය සමාජය ගතහොත් ගුරුවරයාගේ භූමිකාව වූ කලී කාලානුරූපී ව වෙනස් වූවකි.

නිදහස් අධ්‍යාපනය ලැබීමත් සමඟ ම ඈත පිටිසර ගම්මානවල පවා පාසල් බිහිවන්නට විය. දුර බැහැර පාසලකට එකල ගුරුවරයකු පැමිණීම යනු පහන් පැලට දෙවියකු වැඩම කිරීම හා සමාන ය. ගුරුවරයා පැමිණෙන දිනයේ ගැමියෝ මඟට වී බලා සිටිති. ඔහු ගෙනා බඩු මුට්ටු කරෙන් ගෙන යති. ගමේ හොඳ ම නිවසේ ඔහුට නවාතැන් ලැබෙයි. කොයි දෙසින් පැමිණිය ද ඔහු ටිකින් ටික ගමේ සාමාජිකයකු බවට පත්වෙයි. ඇතැම් විට එකල ගුරුවරයා ඒ ගමෙන් ම විවාහයක් කරගෙන ගමේ ම පදිංචි වෙයි.

පැරණි සමාජය වූ කලී අල්පේච්ඡ සමාජයකි. එය බරපතළ පාරිභෝගික සමාජයක් නොවේ. ඒ නිසා ලද දෙයින් සතුටුවීමේ හැකියාව එකල සමාජයේ පැවතිණි. එසේම ලබන වැටුපෙන් ජීවත්වීමේ හැකියාව ඔවුනට පැවතිණි. ඒ නිසා ම ඔවුහු තම වෘත්තියට ආදරය කළෝ ය. ගෞරව කළෝ ය. අප්‍රමාණ වූ කැපකිරීම් කළෝ ය. මේ ගීතය මඟින් ද චන්ද්‍රසේකරයන් තේමා කරගන්නේ එබඳු දෙවිවරුන් බඳු ගුරු පරපුරකට මෙන්ම ඔවුන්ගෙන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය පරපුරකට මුහුණ දෙන්නට සිදුවූ ඛේදවාචකයයි. රචකයා ඉතාම සංයමශීලී ව සියුම් ගෙත්තමක් ලෙසින් මේ අනුභූතිය ඉදිරිපත් කරනු ලබයි.

පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ

පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ

දරුවන්ට ශිල්පදානය දීම පිණිස දුෂ්කර ක්‍රියා කරමින් තම රාජකාරිය ඉටු කරනු වස් පිය නැඟූ අතීත ගුරු පරපුර මෙහිදී රසිකයාට සිහිපත් වේ. අන් අයට මඟ පෙන්වූ ඔවුහු නොමඟ ගිය පිරිසක් නොවූහ. එහෙත් සමාජය ක්‍රමයෙන් සංකීර්ණ වන්නට විය. 


සුනිල් එදිරිසිංහ

ක්‍රමයෙන් පාරිභෝගික සමාජයක් බිහිවන්නට විය. ගුරු දෙවියන්ගෙන් ශිල්ප ලැබූ පරපුර මේ පාරිභෝගික සමාජයේ ගොදුරු බවට පත්විය. තමා ඉහළ යාමේ නිරන්තර අරගලයක ඔවුහු නිරතවන්නට පටන්ගත්හ. රචකයා මූසිලයන් ලෙස හඳුන්වනු ලබන්නේ ආධ්‍යාත්මික ගුණ වගාව අමතක කොට ධනවාදයේ ගොදුරු බවට පත්වූ පරපුරයි. පැරණි ගුරුවරයා කියාදුන් සාරධර්මවලට එරෙහි පරපුරයි.

”සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ”

මේ අයුරින් මූසිලයන් සියල්ල අමතක කොට ඉහළ නැඟීමට වෙර දරද්දී අධ්‍යාපනයේ වටිනාකම් හෑල්ලු වෙයි.

”උගත මනා ශිල්පය මයි මතු රැකෙනා” නැමැති ප්‍රකාශය “මතු රැකෙනා ශිල්පයමයි උගතමනා” බවට පරිවර්තනය වෙයි. පාසල් යාමට වඩා “රටකජු” විකුණා හෝ මුදලක් අතට ගැනීමට ඊළඟ පරපුර පෙලඹෙන්නේ එබැවිනි.


රෝහණ වීරසිංහ

සාමා සහ අමරලා යනු බාල පරපුරයි. ඔවුහු පෙළපොත් පිටු ඉරා ඒවායෙන් රටකජු ගොටු සදන්නට පෙලඹීම ප්‍රබල උපහාසයක් ජනිත කරවයි. මෙහි දී රචකයා උගත මනා ශිල්පයට, ප්‍රාණවාචී අරුතක් සපයයි. තමා පිල්කඩට විසිවීයාම පිළිබඳ ව සන්තාපයට පත්වූ උගත මනා ශිල්පය, තමාට දඬුවම් කරන ලෙසට වේවැලෙන් ඉල්ලා සිටී. රචකයා මේ සමාජ සංස්කෘතික ඛේදවාචකය සියුම් උපහාසයකින් ඉදිරිපත් කර තිබේ.

නැවතත් රචකයා තම දැක්ම යොමු කරන්නේ, පැරණි ගුරුවරයා ගේ ඛේදවාචකය දෙසටයි. මේ සමාජ පරිවර්තනයට ඔහුට ගොදුරුවිය නොහැකි ය. ඔහුගේ මුල් ශක්තිමත් වී ඇත්තේ තරගකාරී අවස්ථාවාදී චින්තනයක් මත නොවේ. මේ නිසා ඔහු ද ඔහුගෙන් යැපෙන්නන් ද මේ සමාජ පරිවර්තනය ඉදිරියේ අතරමං වෙයි. අසරණ වෙයි.

රන් මසු පට පිළී අබරණ උරණ වෙලා

සමන් පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා

ගුරු නිවහනම කඳුළට උල්පතක් වෙලා

ලොකු හාමිනේ ඇත බිතුසිතුවමක් වෙලා

මේ ගුරුතුමා ගේ බැංකු ගිණුම් තර වී නොමැත. තම ඇස් දෙක බඳු දියණිය විවාහ කර දීමේ අර්බුදයට එතුමෝ ගොදුරු වෙති. ඇය ගෙදරට ම නාකි වෙයි. අලුත්, ඇඳුම්, ස්වර්ණාභරණ, දෑවැද්ද ඇයගෙන් දුරස් වී ගොසිනි. වෙනදා මහා දෙවොලක් බඳු වූ ගුරු නිවස අද කඳුළේ උල්පත වී තිබේ. ගුරුතුමා ගේ බිරිය අජීවී බිතුසිතුවමකි. මේ අතීත දිසාපාමොක්ලාට නූතන අර්ථ රටාව තිළිණ කළ ඉරණමයි.

අතීත ගුරුවරයාට නමස්කාර කරන රචකයා වර්තමාන ගුරුවරයා කෙරෙහි වෛරීය දෘෂ්ටියක් යොමු නොකරයි. සමාජ ක්‍රමය විසින්, ආර්ථික වාදියකුª බවට පත්වූ වර්තමාන ගුරුවරයා දෙස රචකයා යොමු කරන්නේ සානුකම්පික දෘෂ්ටියකි. ගුරුවරයකු ලෙස ජීවිතයේ වැඩි කාලයක් කැප කළ මහින්ද චන්ද්‍රසේකරයන් මේ දෙස උපේක්ෂාවෙන් බලන්නේ මේ සියලු ම අනුභූ®තීන් ඔහු ද පෞද්ගලික ව විඳ ඇති බැවිනි.

මට මගේ පියා සහ මව සිහිවෙයි. ඔවුන් රජයේ ගුරුවරු ය. පාසල නිමාවීමෙන් පසුව ද ඔවුහු කොට්ටම්බා ගස් යට වාඩිකරවා, විභාගවලට පෙනී සිටින සිසුන්ට ඉගැන්වූහ. ඔවුහු ඒ වෙනුවෙන් මුදල් අය නොකළ හ. 

මම ටියුෂන් ගුරුවරයෙක් මි. මම ශිෂ්‍යයන්ගෙන් මුදල් අය කරමි. එසේ නොකළොත් මට අද සමාජයේ දෙපයින් සිට ගැනීමට නොහැකි ය. මම පාරිභෝගික සමාජයක සාමාජිකයෙක්මි. මගේ දෙමාපියන්ට වඩා මගේ අවශ්‍යතා වැඩි ය. මා අවට සමාජය මට බලකර සිටින්නේ මගේ ශිල්පය විකුණා ජීවත්වන්නටය. 

ඒ නිසා, මම මගේ ශිල්පය විකුණමි. නිකම් නොව දැන්වීම්, පත්‍රිකා බෙදමින් අඬබෙර ගසමින් විකුණමි. එහෙත් මගේ දෙමාපියන් සිහිවෙද්දී මා තුළ ද සියුම් ලජ්ජාවක් ඇතිවෙයි. එහෙත් ඒ ලජ්ජාව යටපත් කරගෙන මම විකුණමි. විකිණෙමි. එහෙත් මූසිලයකු වීමට හෝ මූසිලයන් බිහිකිරීමෙන් වැළකීමට මම දිවා රෑ උත්සාහ කරමි.


මහින්ද චන්ද්‍රසේකර ඇතැම් විට එය ද අසාර්ථක වනු ඇත. මේ ගීතය කනවැකෙන හැම මොහොතකම මට මගේ දෙමාපියන් සිහිවේ. එවිට සියුම් වේදනාවක් මගේ ශරීරය පුරා දිවයයි.

රෝහණ වීරසිංහයන් ගේ සංගීතය ගැන හෝ සුනිල් එදිරිසිංහයන් ගේ් ගායනා විලාසය ගැන අටුවා ටීකා ටිප්පණි අනවශ්‍ය ය. ඔවුහු ඔවුන්ගේ කාර්යභාරය මනාව ඉටු කරති.

මගේ ඇස මත මේ මොහොතේ මැවෙන්නේ පැරණි දුෂ්කර වැඩවසම් ගම්මානයකි. අකල් වැස්සකින් මඟ දෙපස මඩ වී තිබේ. ජාතික ඇඳුම ඇඳගත් මැදිවියේ ගුරුතුමකු මඩ කඩිති මැදින් පැනගෙන මේ දුෂ්කර මඟෙහි ගමන් කරයි. 

“චිංගීස් අයිත්මාටව්” නැමැති රුසියානු ලේඛකයාගේ ‘ගුරු ගීතය” නවකතාවේ ‘දුයිෂෙන්’ නැමැති ගුරුවරයාට වඩා පෞරුෂයක් මේ ගුරුවරයා සතුය. ඔහු එනතුරු සරම්, බැනියම් ඇඳගත් ළමෝ බලා සිටිති. 

වැව් තාවුල්ල පසු කරන විට පාසල දුරට පෙනෙයි. ළමයින් කෑකෝ ගසන හඬ ඇසෙද්දී ගුරුතුමා ගේ මුවඟට සිනහවක් නැඟෙයි. මම පෑන පසෙක තබා ඒ ගුරුතුමාගේ දෙපතුල ළඟ වැඳ වැටෙමි.

~~ධම්මික බණ්ඩාර~~

(සිළුමිණ)

Saturday, October 20, 2012

කර්නල් විදුහල්පතිලා

පන්නිපිටිය ධර්මපාලය ඉදිරිපිටම විශාල ඩිජිටල් කටවුට් එකකි. එහි විමලසේන විදුහල්පතිතුමා කර්නල් විදුහල්පති වෙලාය. කර්නල් තොප්පිය සහිත හමුදා නිල ඇඳුමින් සැරසී ඉන්න එතුමාගේ ඡායාරූපය දැක්කාම දුකේ බැරිය. විදුහල්පතිතුමාගේ සුදු ඇඳුම ඇඳලා පාසලේ ටයිපටය බැඳලා වෙනදාට තියෙන විදුහල්පති තේජස කර්නල් ඇඳුමේ අහලකවත් නැතිය. කර්නල්කමට ඇඳලාට වඩා අන්දලා වගේය. කැමැත්තෙන් කර්නල් වුණ පෙණුමක්නම් විමලසේන විදුහල්පතිතුමාගේ මූණේ නැතිය. කැමැත්තට වඩා බයට කර්නල් වෙලා වගේය. බයට කර්නල් වුණ මුහුනක හැටි හිතා ගත හැකිය. ඇති විදුහල්පතිකම වෙනුවට නැති කර්නල්කමකට ඇන්ඳාම එහෙමය. ඇඳුම කර්නල් වුණාට මුහුණ විමලසේනමය. අනේ පවුය. අපේ රටේ හැම හෙණේම අධ්‍යාපනයටමය. හැම එකාම අධ්‍යාපනයටම මූත‍්‍රා කරන්නේ ඇයිදැයි සොයා බැලිය යුතුමය.

ආණ්ඩුව තෝරාගත් විදුහල්පතිවරු පිරිසක් කර්නල්කමට ඇන්දුවාය. පසුගියදා පදක්කම්ද පැළැන්දුවාය. ඒ බොහෝ දෙනා කොළඹ හා ප‍්‍රධාන නගර ආශ‍්‍රිත ජාතික පාසල්වල විදුහල්පතිවරු හා වරියන්ය. විදුහල්පති නම ඉදිරියට කර්නල් දුන්නේ ඇයිදැයි ජනතාවට දැනගැනීමට අයිතියක් තිබේය. ආණ්ඩුව කියන්නේ, විනය පිරිහිලා නිසා විනය තකා කර්නල් කළා කියලාය. විනයනම් පිරිහී ඇත්තේ පාසලේ විතරක් නොවේය. පාසල එක තැනක් විතරය. එතනත් කර්නල් පට්ටම දී තියෙන්නේ, විනය රකින අයටම දැයි වෙනම සොයා බැලිය යුතුය. පාසල්වලට ළමුන් ඇතුළත් කරද්දී ලක්ෂ ගණනින් පගාව ඉල්ලන්නෙත් ඔය ඇතැම් විනය රකින ලොකු තැන්වලින්මය. දැන් ළමුන් ඇතුළත් කරද්දී විදුහල්පතිලා වෙනුවට කර්නල් විදුහල්පතිලා ඒ වැඩේ කරන්න ගියාම මරේ මරුය. එතකොට ඒ අය ගෙනියන්න වෙන්නේ සාමාන්‍ය උසාවියට නොව හමුදා අධිකරණයටදැයි දන්නේ නැතිය.

විනය පිරිහීම කර්නල් පැළඳීමෙන් විසඳිය හැකිද යන්නත් ගැටලුවක්ය. ඒ, පිරිහීම ඇත්තේ, පාසලේ විතරක් නොවන නිසාය. පිරිහීම රට පුරාය. සමාජය තුළමය. එහෙමනම් උත්තරය මුළු රටම හමුදාකරණය කිරීම දැයි වෙලාවකට හිතෙනවාය. පාඩුවේ හිටපු විදුහල්පතිවරු හදිස්සියේම කර්නල් තනතුරුවලට කැඳවූයේ රටම හමුදාකරණය කිරීමේ ආරම්භයක් ලෙසටදැයි හිතෙනකොටත් බයය. ඒත් හිතෙන එක නවත්තාගන්නට බැරිය.

විදුහල්පතිලා කර්නල් විදුහල්පතිලා වන විට අධ්‍යාපන ඇමති බෑයෝ අඳින්නේ, කාටදැයි හිතා ගත හැකිද? ඔවුන් නිල ඇඳුම නොඇන්දත් දැනටමත් හමුදාපතිවරුන් වගේමය. පාසලේ ගුරුවරුන්ටත් හමුදා තනතුරක් දුන්නාම සියල්ල ඉවරය. කලින් ළමුන්ගේ කණ පලන්නේ ගුරුතුමාය. දැන් කෝප‍්‍රල්ය. ලුතිනන්ය. කර්නල්ය. දේශපාලන පත්වීමෙන් ඉහළ ආ අධ්‍යාපන අධ්‍යක්ෂකලාද බි‍්‍රගේඩියර්ලාට ඇන්දත් අපටනම් පුදුමයක් නැතිය.

ඉතිහාසයේදී කර්නල්කමට අන්දපු නැති හැබෑම කර්නල්ලා විදුහල්පතිවරු ලෙස සිටියාය. ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් විදුහල්පතිවරයෙකු වූ කර්නල් කුඩලිගම මහතා එවැන්නෙක්ට හොඳම උදාහරණයක්ය. ඒ කර්නල්කමට ඇඳලා හෝ අන්දවලා නොවේය. පාසලේ ශිෂ්‍ය භට බලකායේ සිටම ඉහළට පැමිණි සැබෑම කර්නල්වරුය. දවස් පහක පුහුණුව සහිත බ්‍රොයිලර් කර්නල්ලා නොවේය. නූතන කර්නල්ලා කුඩලිගමලාට අලගු තියන්නවත් මදිය. ගෝඨාභය මහතාගේ කර්නල්ලා බී කර්නල්ලාය. බී කිව්වේ බ‍්‍රාවෝ කර්නල්ලා නිසා නොවේය. ‍බ්‍රොයිලර් කර්නල්ලා නිසාය.

ලංකාවේ අධ්‍යාපනයට ඇති එකම ප‍්‍රශ්නය විදුහල්පතිලාට කර්නල්කම නොතිබීම නොවේය. විවෘත ආර්ථිකය බෝකළ සියලු විෂබීජ පාසලට පැමිණීම විදුහල්පතිලා කර්නල් කිරීමෙන් නතර කළ නොහැකිය. අද පාසල් ළමුන්ගේ ‘වින්දනය’ පිරිමැසීමට මදන මෝදක, කැහි බොහෙත් ප‍්‍රමාණවත් නැතිය. ෆාමසිවල ඇති මානසික රෝගීන්ට දෙන බෙහෙත් ගිලින තරමට තත්වය බරපතළය. දරුවෙකුට ජංගම දුරකථනයක් නැතිනම් ඒක දෙමව්පියන්ගේ තත්වයට හොඳ මදිය. ඒ නිසා අන්තර් ජාල පහසුකමද ඇති දුරකථනය දරුවාට දෙන තාත්තා හොඳම තාත්තාය. ඒ දරුවෝ දරුවෝ නිල් චිත‍්‍රපටි බලනවා විතරක් නොවේය. විදුහල්පති කර්නල්ලා නොදන්නා බොහෝ දේ දැන් ළමයි දන්නවාය. ඒ ධනවාදයේ නූතනත්වයට හා දෙමව්පියන්ගේ අදට ගැලපෙනකමට පින් සිදු වෙන්නටය.

විදුහල්පති කර්නල් වූ පලියට ජල පහසුක්ම් නැති පාසලට ඒ පහසුකම ලැබෙන්නේ නැතිය. ගමට තාමත් කැකිරිමය. ඒ අසාධාරණකම් නොඉවසන දරුවෝ සහ දෙමව්පියෝ එරෙහිව නැගී සිටින විට ඒවාට මුහුණදීමට දින පහේ පුහුණව නම් බොයිලර් කර්නල්ලාට හොඳටම ප‍්‍රමාණවත් මදිය. යුද්ධය පැවති කාලයේත් විමලසේන විදුහල්පතිතුමා පන්නිපිටිය ධර්මපාල විදුහලේ විදුහල්පතිමය. දැන් යුද්ධය ඉවරය. විදුහල්පති විමලසේන දැන් කර්නල් විදුහල්පතිය. මේ විදිහටම කර්නල් දොස්තරලාද හැදිය හැකිය. ඒ රෝහල්වල බෙහෙත් හිඟට උත්තර හොයන්නට නොව රෝහලේ පාලනයටය. කර්නල් ප‍්‍රාදේශීය ලේකම්ලා හා කෝප‍්‍රල් ග‍්‍රාමසේවකලාද නරකම නැතිය. නීති හදන තැන පාර්ලිමේන්තුවය. එතන නිකම්ම මන්ත‍්‍රීලා ඉඳලා වැඩක් නැතිය. කර්නල් මන්ත‍්‍රීලා පත්කළ හැකිය මරේ මරුය. නැවතත් කරුණාට කර්නල් කරුණා අම්මාන්ම විය හැකිය. මර්වින් සිල්වාත් එවිට ආචාර්ය කර්නල් මර්වින්ය. අන්තිමට ජනතාව හැර අන් සියල්ලෝම කර්නල්ලාය. ඒකට කියන්නේ හමුදා පාලනයක් කියලාය. දැන් නොකියා කරන්නට මුලපුරා තියෙන්නේ ඒකය. විමලසේන විදුහල්පතිතුමා කර්නල් විමලසේන කළේ ඒකටය. ජනතාව සීරුවෙන් සිටිල්ලාය. ගොඨාභය ඇතුළු කර්නල්ලා පහසුවේන් සිටිනු ඇතිය.

සුනිල් හඳුන්නෙත්ති
උපුටා ගැනීම - ලක්බිම

Friday, October 19, 2012

ඒකාධිපතියකු හා සටන් වැද.... නොහොත් ම්ලේච්ඡත්වය සහ මුග්ධභාවය සමඟ කළ ශිෂ්ටත්වයේ අරගලය


පිටිසරබද කඳුකර සීතල ගමක නිල්ල පිරුණු වටපිටාවක අනගාරික ධර්මපාලතුමා විසින් ආරබ්භ වසර 100 ක්‌ පැරණි විදුබිමක හෝඩියේ පංතියේ සිට දහතුන වසර දක්‌වා අඛණ්‌ඩව අකුරු කිරීමට මම වාසනාවන්ත වීමි. නිදහස්‌ අධ්‍යාපනයේ මධුරතම ප්‍රතිඵල සහ අධ්‍යාපනයේ නිදහසේ සොඳුරුතම ස්‌මරණ සහිතව ප්‍රථම පංති සාමාර්ථ හා ස්‌වර්ණ මුද්‍රිකා සමඟ බොහෝ විබැඳුම් සමත් වීමි. 1988/89 භීම සමයේ එක ටයරයේ දැවෙන හිසසුන් සොයුරන්ගේ ක්‌වන්ධ අසලින් පාසල් ගියෙමි. අප වැඩිවිය පැමිණ ලොකු ළමයින් වූයේ එතැනදීය. එතැන් සිට සිව් දශකයක්‌ වන මගේ දිවියේ අඛණ්‌ඩව කරමින් සිටි යමකට කැප කිරීමකට ඉලක්‌කමක්‌ අගයක්‌ ලැබුණේ මේ නුදුරු තෙමස තුළය. ඒ 6% ය. ඔබ එය දනියි. එය මුද්‍රණය කළ ටීෂර්ටය මම දැනුදු හැඳ සිටිමි. ගාල්ලේ සිට කොළඹ තෙක්‌ අනුරාගී අරගල මාවතේ ගැටී උපන් දිය පට්‌ටා සොම්නසින් අතගා බලමි.

ඒ අනුස්‌මරණීය පාගමන අතරත ලංකා ඉතිහාසයේ යෝධ කටයුත්තකට නොහොත් පෑනෙන් ලියූ කඩුවෙන් මකා දැමීමට අසමත් දැවැන්ත ඓතිහාසික ව්‍යqහයකට එක්‌වෙමින් සිටින්නාක්‌ බඳු හැඟීමක්‌ විසින් වෙනස්‌ මත දැරූ අප දහස්‌ ගණනක්‌ එකට බැඳ දමා තිබිණි. ලා නිල්පාට ඇඳුම් ඇඳ ගාලු පාර දිගේ පෙර පාසල්වල පිපි මල් කැකුළු හිටගෙන සිනා පිරි මුවින් ඔවුන්ගේ හෙට දින නිධානය වූ 6% ඉලක්‌කමට අත්පුඩි ගැසූහ. ගුරු ලියෝ ඔවුනට මග කියූහ. මේ දැන් පාසල ඇරි ආ කුඩා දියණියක්‌ සුදු ඇඳුමින්ම තමා පසුකර යන "වෙනස්‌ මිනිසුන්ට" ටොපි බෙදුවාය. ඒ අයට පයිප්පයකින් වතුර දුන් තාත්තා කෙනෙක්‌ මෙසේ කීය. "මහත්තයෝ මේ සටන පාවා දෙන්න එපා. එහෙම උනොත් මේ වතුර වස වේවි". ආදරණීය පියාණෙනි. අපි සටන පාවා නොදුන්නෙමු. හිස්‌ දෑතින් මිනිසුන් සේ වැඩට ගියා පමණි. ලංකාවේ මෑත ඉතිහාසයේ විපරීත අධිබලයක්‌ හිමි රෙජීමයකට විරුදුව ගල් කැටයක්‌ හෝ කිසිවෙකුත් නොගසනා සමයෙක අපි සාර්ථක සටන් පෙරමුණක්‌ සෑදුවෙමු. එහෙත් අපේ පෙරමුණ භාර නොගත්, අත්පඬුර නොගත් අප නැසීමට වෙර යෙදූ, අපවාද නැගූ සැලසුම් තැනූ බොහෝ ජනයනී, පාරිභෝගිකයන් මිස තමා පුරවැසියන් බව නොදත් බොහෝ හිතවතුනි අප දිවි හිමියෙන් පෙන්වූ අනතුරට සවන් - නෙත් වැසූ ජනයනි, නුඹලාගේ දරුවන්ගෙන් ඇතැම් විට සිරගෙවල් පිරෙනු ඇත. සමාජයේ පදාස පිටින් නාය යනු ඇත. මානව සංවර්ධන දර්ශක වැළලී යනු ඇත. මහා ගනඳුරක්‌ පැතිරෙනු ඇත. නුඹලාගේ දිවියට නපුරු කාලයක්‌ උදාවනු ඇත. මිනිසුනි, කනගාටුයි. අපි තාවකාලිකව සමුගත්තෙමු. නුඹලා තැනූ සිංහල බෞද්ධ ජාතිකවාදී ඒකාධිපතිත්වය, ම්ලේච්ඡත්වය සහ මුග්ධභාවය සමඟ කිරුළු පැලඳ සිටි බැවිනි.

හොරු - තක්‌කඩි සහ කාලකණ්‌ණි

සිරකරුවන්ද මනුෂ්‍යයන් වූ මුතු ඇටයක්‌ වන් කොදොව්වේ උපාධි, පශ්චාත් උපාධි, පශ්චාත් ආචාර්ය උපාධි, පේටන්ට්‌ බලපත්‍ර, ජාත්‍යන්තර විමර්ශන සටහන් සහිත අපි අතළොස්‌සක්‌ හොරු - තක්‌කඩි හා කාලකණ්‌ණි වීමු. එය දඹ රත්රන් බඳු සත්‍යයක්‌ ලෙස අධම ජනමාධ්‍ය කිහිපයක්‌ විසින් ජනගත කරන ලද්දේය. කිපී - පිබිදී ආ කිසිවකුත් නැත. දේශපාලනය වෙනුවට සත්ත්ව පාලනය ඇති රටක නොහොත් අශ්ලීල ලොකු කඩයක්‌ බවට පත්ව ඇති රටක එසේ කිසිවෙක්‌ අවදි නොවෙති. තෙමසක්‌ සරසවි වැසී ඇත. උසස්‌ පෙළ දරුවෝ අඳුරේය. ඉදින් අපි කාලකණ්‌ණි වෙමු. දරුවෙනි, ඔබේ තෙමසක දිවි පමාවට විභාග පමාවට දිවි නසා නොගන්න. එම දිවි පමාවට වඩා සිය දිවි කුසුම අතහැරි, පරාල ඇණ වැදුණු - නිය ගැලවුණු පරපුරක්‌ නිසා ඔබ හුස්‌ම ගන්නා බව සිහි කරති. ඔබේ දිවිය නැගී සිටින්නේ නිදහස්‌ අධ්‍යාපනයේ උරුමයට දිවි පිදූවන්ගේ සොහොන් කොත මතය. ජානක (මාතලන්) සහ සිසිත සරසවි විරු දරුවෙනි. දූයිෂෙයින් කීවා සේ අපට හොඳ ගුරුවරුන් වීමට බැරිවීම පිළිබඳව සමාවුව මැනවි. මගේ සරසවි සිසු - ගුරු දිවියේ වසර 18 ක වකවානුවේ (1994 - 2012) දුක්‌බරම - වරදකාරීම මොහොත වූ කලී විරු සිසු සමරුවේ විනාඩි දෙකේ නිහැඬියාව බව තවත් සැඟවිය යුතු නැත. ඔබේ සුසානය මත අපි හුස්‌ම ගනිමු. දැන් අප සියලු දෙනාද නිදහස්‌ අධ්‍යාපනය වෙනුවෙන් මරා දමා ඇති නිසා, පිළිතුරු පත්‍ර බැලූ පසු ජය ලබා සරසවි පැමිණ අවශ්‍ය නම් අපවද සිහි කළ හැකිය.

ෆුටාවේ පාවෙල්ලා

ඒකාධිපති රාජ්‍යයක්‌ සමඟ සාකච්ඡා පිණිස අපට දිය හැකි හොඳම සමූහය දුනිමු. නිර්මාල්, ජනක්‌, කුමුදු, අනුර, ආනන්ද, සංජීව හා අමිල හිමි ඇතුළු සමූහයට වඩා අත්දැකීම්, ඉවසීම, ප්‍රඥාව, කේවල් කිරීමේ ශක්‌තිය ඇති වෙනත් කණ්‌ඩායමක්‌ අපට නැත. එහෙත් ඉර බටහිරින් නොනගී. ඉබ්බන්ට පිහාටු නැත. කොළ එළියක ඡායාද නැත. දින 100 කි. අපි ළමුන් වෙනුවෙන් වැඩට යමු. ශ්‍රී ලංකා වැසියනි, සමාවන්න ඔබගේ රජය දරුණු වැඩිය. "අධ්‍යාපනය" ඔවුනගේ වචනයක්‌ නොවේ.

ඒකාබද්ධ ප්‍රකාශයේ රජයේ කොටස

මෙය අයත් වන්නේ "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නගා සිටුවීමට රජයේ කැපවීමක්‌ ඇත" යන මැයෙන් ලියූ උසස්‌ පෙළ දරුවකුගේ වාක්‍ය රචනාවකට ය. වචන, වචන හා වචන පමණි. ජනතාව සමඟ බරපතළ ගිවිසුමක්‌ අවධි කළ අපට වචන ලැබී ඇත. අප කළේ ක්‍රීඩාවක්‌ නොවේ. දින 100 ක මහා පා ගමනකි. කළුගලක්‌ වුවද මෙළෙක්‌ විය යුතුය. එහෙත් හිතවතුනි, ඔබේ ඒකාධිපති රජය එසේ නැත. සමාවන්න. අපි තාවකාලිකව සමුගනිමු. වැටුප් වැඩිවීම නම් ඔබේ හිත් කැළඹූ, සසළ කළ, දුටුවන් කම්පා කළ ලක්‍ෂ ගණන් වූ පඩි වැඩිවීම් නැතිව හිස්‌a දැතින් එහෙත් මිනිස්‌සු සේ අපි නැවත දේශන ශාලාවේ හිට ගනිමු. එදින ද ඔබ 6% අපරාජිත ටී ෂර්ටය දකිනු ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය හා චෝදනා

ඒකාබද්ධ විපක්‍ෂය හෙවත් දේශපාලන පක්‍ෂවල සහයෝගීතාව පිළිගැනීම පිළිබඳ අවලාද නැගිණි. ෆුටාව යනු වෘත්තීය සමිතියකි. එය අරගලකාරී දේශපාලන පක්‍ෂයක්‌ නොවේ. අරගලකාරී දේශපාලන පක්‍ෂයක න්‍යාය පත්‍රය නොගෙන වෘත්තීය සංගමයක සටන් අවසානයකින් සැනසීමට අපට සිදු වුණි. අරගලකාරී පක්‍ෂය මගේ නම් ඒකායන අභිලාෂය යි. ඒ කරා කෙදිනක හෝ අප යා යුතුය. ආචාර්ය සටන නම් කිරිකළයට වැටුණු දේශපාලන ගොම බිංදුව ගැන මට දුකක්‌ නැත. එම ගොම බිංදුව ද ජනතාවගේ නිර්මාණයකි. තිබෙන විපක්‍ෂය පැල්ලම් සහිත වූයේ ෆුටාවේ වරදින් ද? මිනී නොමැරූ පක්‍ෂ මෙරට නැති වීම අපේ වරදක්‌ ද? ඊනියා වම්මු කොහි ද? නිර්මාල් රංජිත් කොටියෙක්‌ නම් කරුණා අම්මාන් හාවෙකු දැයි රජය කිව යුතුය. පිල්ලෙයාන් සමනලයෙකු දැයි පැහැදිලි කළ යුතුය. කෝටි දෙකහමාරක දේශපාලන අභිලාෂ වෘත්තීය සමිතියක දෙතුන් දහසක්‌ ඉදිරියේ තබා පලා නොයන්න. දේශපාලන සුජාත කන්‍යාවක වූ විපක්‍ෂයක්‌ ආනයනය කරමුද? ජනතාවක්‌ ආනයනය කරමුද? හිතාදර දේශපාලන පක්‍ෂ නායකයිනි, වෘත්තීය සංගම් නායකයිනි, ජනතාවනි ඔබ මේ සටනේ යෂ්ටිය නියම තැනදී නොගත්තෙහුය. සමාවන්න. ඉතිහාසය එකම අවස්‌ථාව දෙවරක්‌ නොදෙනු ඇත.

අන්තරේ

රාජ්‍ය අධ්‍යාපනය ද? නිදහස්‌ අධ්‍යාපනය ද? සටන් පාඨවල ඉස්‌පිලි පාපිලි මධ්‍යම කාරක සභාවල දී තර්ක කළ හැකි ය. එක්‌ ව සටන් කර වෙන් ව වාද කර ගත යුතුය. නැතිනම් වාදය ද නිසි නිමේෂයේ දී එක්‌ව කළ හැකිය. ඉස්‌පිලි පාපිලි යනු සටන් නොකිරීමට හේතුවක්‌ නොවන බව ඔබ ද දනියි. එදා ඡේ.වී.පී. හෝ අද පෙරටුගාමී හෝ ඔබෙන් මට ඇසීමට ඇත්තේ එකම පැනයකි. මේ ඒකාධිපති රජය තැනුවේ කවුරුන් ද? යනුවෙනි. තීරණාත්මක තැන දී ඉවත් වීම පිළිබඳ ඉතිහාසය දිගුය. වඩා වැදගත් වන්නේ හිසේ ඇවිළෙන ගින්න නිවීම ය. ළය ඇනුණු ඊතලය ගැලවීම ය. එය හැදූ කම්මල හා ආචාරියා පසු ව සෙගායා ගත හැකි ය. සමාවන්න. රුවන්මය අවස්‌ථාව පියඹා ගොස්‌ ඇත.

හතු සංගම්වල ව්‍යාජ ප්‍රේමියෝ

තමාගේ විෂය ක්‍ෂේත්‍ර පිළිබඳ ඇදුරන් සාමාන්‍යයෙන් ලියන පර්යේෂණ ලිපි ජනතාව සාමාන්‍යයෙන් නොදනිති. එහෙත් ජනතාවට අදාළ පොදු මහජන අර්බුද ගැන සැමදා ලියුවෝ සිටියේ ද අප සමග ය. ජනතාව නම හෝ නෑසූ, අකුරකින් හෝ ජන හදවත් පිරිමැද නොතිබූ පිරිසක්‌ මිහිතලයේ නොන්ඩි සංගම් ඇටවූහ. පිටු ගණන් ලියූහ. රූපවාහිනි අරක්‌ ගත්හ. මේ අය කවුදැයි ඇසූ ජනතාවක්‌ නැත. බෝකර හැරි කුණු රසය පමණක්‌ වැළඳ ගත්හ. එහෙත් ඒ අතර සිටි ඇතැම් සරසවි ඇදුරෝ සිය අපාය සිය දැතින්ම තනාගත් බව තවමත් නොදනිති. ඔවුන්ගේ සංගම් හා ඔවුන්ගේ නම් අතීතයේ අපි නෑසූ ඒවාය. ලංකාවේ රැවටෙන ජනයිනි, ඉදිරියේ දී ද ඔබ ඒ අය ගැන නාසති. මක්‌ නිසාද ඔවුන්ගේ ගිවිසුම අවසන් බැවිනි.

අරගලයේ මිතුරෝ

නිර්මාල්, ජානකී, රංගික, ධනේශ්, මාධව, අමරකීර්ති, මුගලන්, ජනක්‌, ආනන්ද, රොහාන්, අනුර, කුමුදු, මහීම්, හරිනි, ප්‍රභාත්, පවිත්‍රා, දිලීප, උපුල්, දීපිකා ඇතුළු තවත් රාශියක්‌ වූ විශිෂ්ට ආචාර්ය උපාධිවලට හිමිකම් කී තුරුණු නායකයන් සමඟ වැඩ කිරීම අපට ඉමහත් ආස්‌වාදයක්‌ විය. දඹර අමිල හිමි ඇතුළු අන්‍යයෝ කොතෙක්‌ද? ඔවුහු රට දනිති. ෆුටා ඉතිහාසයේ නලින්, සම්පත් බඳු නම් ගොත් ද තිබුණි. දැන් ඒ අය තමාට හිමි අපාය විඳිමින් සිටිති. ඇතැම් පිළිකුල් දේශප්‍රේමීන්ට වඩා පර්යේෂණ ක්‍ෂේත්‍රයේද මානව භක්‌තියේ ද උණුසුමින් පිරි අපේ මිතුරන්ට අපි ගරු කරමු. අපි අරගලයේ සගයන්ට හිස නමමු.

මහාචාර්ය ජයතිලක, උයන්ගොඩ, කීරවැල්ල, නවරත්න බණ්‌ඩාර ආදී විශ්‍රාමික දිවියට ආසන්න සම්භාවනීයන් අප සමඟ පයින් ගියේ අප අපට ම ගෞරවයක්‌ ලෙස දැනෙන ලෙස ය. "මල්ලි මට දැන් 64 යි" කියූ ධර්මසිරි බණ්‌ඩාරනායක සමඟ හරි හරියට ඇවිද ගොස්‌ පත්‍රිකා බෙදීමට මට ද බැරි විය. පතිරාජ, ප්‍රසන්න, ජයසිරි, විඡේසිරිවර්ධන ඇතුළු මහා කලාකරුවන් සමඟ අපේ ඓතිහාසිකත්වය තීව්‍ර විය. සියවස්‌ ආසන්න වියෑති ව කම්කරු උණුසුමේ වසන බාලතම්පො සමීප ව දැක ගන්නට හැකි විය. කවුඩුල්ලේ ජයතිස්‌ස ඇතුළු ගොවි රජුන්ගේ හාල් කරවල ලොව කිසිම ඩොලරයකට අපි හුවමාරු නො කරමු.

ජනාධිපති තාත්තා සහ අසංවේදී පුතාලා

හොරු, තක්‌කඩි, කාලකණ්‌ණි යන අභිධානවලින් අපට නිග්‍රහ කළ විෂය භාර අමාත්‍යවරයා සමඟ අපි ඉදිරියට යමු. ඔහු කෙතරම් අවමන් කළ ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඔහු ව ඉවත් නොකළේය. උසස්‌ අධ්‍යාපන විෂයයට එම අමාත්‍යවරයා සුදුසු බව සිතීම ම ජනපතිවරයාගේ උසස්‌ අධ්‍යාපන දර්ශනය හා නුවණ හෙළි කරයි. දැන් මේ අනුව යන ඖරස පුත්තු ද වෙති. අප ඉල්ලූ 6% න් වැඩිම කොටස වෛද්‍ය ශිෂ්‍යයන් තැනීමට බව නොදන්නෝ කවරහු ද? එහෙත් ශිෂ්‍යයා වෛද්‍යවරයකු වූ පසු ඔවුන් අනුරුද්ධ පාදෙනියලා වීම අපි කෙසේ ඥනනය කර ගනිමුද? වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ගෞරවනීය වෙදැදුරන්ගෙන් මේ පාදෙණිය සමාව ගත යුතුය. ලොව භයානකම වර්ජන අවිය, කේවල් කිරීමේ ශක්‌තිය සහිත මේ වෛද්‍යවරු නිදහස්‌ අධ්‍යාපනයේ නියම පුත්තු ය.

දකුණට නොහැරුණු වමා

නිර්මාල් රංජිත් දේවසිරිට 'වමා' යෑයි කීවේ අප නොව ඔහු සමඟ සාකච්ඡා මේසයේ විරුද්ධ අන්තයේ සිටි ධම්ම හා චරිතලාගේ පරපුරය. දැන් කීමට අත්තේ රෝහිත භාෂණගේ වචන ය. "මගේ මිතුරන් අප පැතූ ලංකාව ඔවුන්ගේ අරුතින් ගොඩනඟමින් සිටිති" යනුවෙනි. ඒ මිතුරන් දකුණේ අසුන් ගනිද්දී වමා වමේ වාඩි විය. පීඩා ඉවසූ ෆුටාවේ වානේමය නායකත්වයට තුති පිදිය යුතුය. බැසිල් රාජපක්‍ෂ සමඟ අප වෙනුවෙන් පමණක්‌ සිනාසුන නිර්මාල්ගේ ඡායාරූපය ඔහු විඳී පීඩාව කියා පෑය. එහි කුණු රසය තලු මැරූවන්ට තම දිවියේ අනාගතය වන්දියක්‌ ලෙස රජය විසින් ඉල්ලා සිටින දිනයේ දී ඇතැම් විට අප සිහිපත් වනු ඇත.

ජනතාව වෙනස්‌ කිරීම

අමාරුම කාර්යය කළ යුතු ය. ආණ්‌ඩු පෙරළීම සරල ය. එය අනර්ථය ම සාදයි. අතීතයේ ආණ්‌ඩු පෙරළා ඇත. පලක්‌ නොවීය. "මෙහි ජනතාව වෙනස්‌ කළ යුතුය". බර්ටෝල්ට්‌ බ්‍රෙෂ්ට්‌ කියා තිබුණි. ජනතාව වෙනස්‌ නොවුණු විට මූසල රජයක්‌ ඔවුහු නැවත තනති. "රෝගෙට නොව නිධානෙට පිළියම් කරමු" යනුවෙන් අප ගැයුවේ එනිසා ය. ඈත කඳු ප්‍රාන්තයට එගොඩ වීමට වැල් පාලමේ ගීතයක්‌ වූ ෆුටා ගීතයේ එය ලියා තිබුණි. අප ප්‍රයත්නයේ අඩුපාඩු ඇත. ඈත ගම්දනව් කරා 6% යැමට වැට බැඳ වැටුප ගැන ම කී කුප්‍රකට මාධ්‍ය අප ඊළඟ වටයේ ජයගනු ඇත. අපි මේ පරීක්‍ෂක දිවිය, දුෂ්කර දිවිය ජීවත් වී පෙන්විය යුතු බව ලියනගේ අමරකීර්ති ලිවීය. මිනිසුන් වෙනස්‌ කිරීම කෙතරම් අසීරු වුවද මිනිසුන් වෙනස්‌ කිරීම හැර අන් කිසිදු විකල්ප මගක්‌ නැත.

සමාලෝචනය වෙනුවට සමාරම්භය

"එක්‌සත් වෙනු, නැතිනම් විනාශ වී යනු. ඉතිහාසය විකල්පයක්‌ දී නැත". එසේ කියා ඇත්තේ සොරෙකු තක්‌කඩියෙකු කාලකණ්‌ණියෙකු වූ මා නොව වී. අයි. ලෙනින් ය. ඒ කුඩා මිනිසා කියූ නිරවුල්, නිසැක හා එකම මග ෆුටාවේ අප සියලු දෙනා පෙම්වතියක සේ හෙට දවසේ වැළඳගනු ඇත. එමග නොගන්නා බොහෝ දේශප්‍රේමීහු මතු නොව ජනතාව ද වඳ වී යනු ඇත. මම යළි කියමි. මිතුරු මිතුරියනි, සගයිනි, ඉතිහාසය විකල්පයක්‌ දී නැත.

හිනිදුම සුනිල් සෙනෙවි