Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

Thursday, February 28, 2013

රුපියල් 20 ක් පාසලට දීමට නොහැකිවූ 3 වසරේ සිසුවියට දඬුවම්!

වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අවස්ථාවේදී බීමට දීමට සූදානම් කළ පැණි බීම (කෝඩියල් ) වීදුරුවට රුපියල් 20ක් ලබා දීමට නොහැකිවූ කන්ද උඩරට ගම්පොළ කලාපයට අයත් ජනප්‍රිය පාසලක තුන්වැනි ශ්‍රේ ණියේ සිසු දැරියකට පන්ති භාර ගුරුතුමිය විසින් දඬුවම් කර තිබේ. එම පාසලේ සිසු සිසුවියන්ට විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය විසින් මෙම පැණි බිම සඳහා මුදල් රැගෙන එන ලෙස නියම කර ඇත.

තම කුඩා දියණියට දඬුවම් කිරීම ගැන දැඩි සිත් වේදනාවට පත් පියා විසින් එම පාසලේ ඉගෙනුම ලබන දරුවන් හතර දෙනා වෙනුවෙන් මේ වසරේ ජනවාරි 02 වැනි දා සිට පෙබරවාරි 15 වැනි දින දක්වා කාලය තුළ රුපියල් 2,463ක මුදලක් ගෙවා ඇති බව සඳහන් කරමින්, එසේ කර තිබියදී පවා දියණියට දඬුවම් කිරීම පිළිබඳව ලිඛිතව විමසා ඇත. එම ලිපිය ඔහු විසින් 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම වැඩිමහල් පුතු අතේ විදුහල්පතිවරයාට යොමුකර ඇත.

විදුහල්පතිවරයා මේ ලිපියට අදාලව පිළිතුරක් ලබා දෙනු වෙනුවට එම දැරියගේ පියා විසින් පාසල් භූමියෙහි වගුරු බිමක ගවයන් දෙදෙනකු දිනපතා ගැට ගසනවායයි චෝදනා කරමින් නාවලපිටිය පොලිස් ස්ථානයෙහි පැමිණිල්ලක් ගොනු කර ඇත.

Tuesday, January 29, 2013

අද පොලීසිය, හමුදාව, අධිකරණය සියල්ලකම බලය ආණ්ඩුව අරගෙන - හර්ෂ ගුණවර්ධන

Harasha Gunawaradana
"අපිට විශ්වාස කරන්න බෑ පොලීසියට මේ සම්බන්ධව යමක් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද අද‍ පොලීසිය, හමුදාව, අධිකරණය සියල්ලකම බලය ආණ්ඩුව අරගෙන තියෙන්නේ."

රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්ධන

රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්ධන මහතාට මැර ප්‍රහාරයක් එල්ලකර සති දෙකක් පමණ ගතවී තිබුණද තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව එම සංගමය පවසයි. දින කිහිපයක් රෝහල්ගතව සිට අද වන විට තරමක් සුවය ලබා සිටින මොහොතක මේ සම්බන්ධව අදහස් පළ කළ හර්ෂ ගුණවර්ධණ මහතා.

" ඇත්තටම අද ක්‍රියාත්මක වෙන්නෙ දකුණෙ ත්‍රස්තතවාදයයි. එක ඉතා පැහැදිලියි. අංක තහඩු නොමැති වාහන වලින් පැමිණිලා ශිෂයයන් පැහැරගන්න තැත් කරලා පහරදෙන එක ඇතුලේ තියෙන්නේ රාජ්‍ය ත්‍රස්ථවාදයයි. කොටි ත්‍රස්තවාදය අවසන් කළාට පස්සේ අද තියෙන්නේ මේ දේ. එක පැත්තකින් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට පහරදීලා ඔවුන් අත්අඩංගුවට ගන්නා ක්‍රියාවලිය අද දකුණේ විශ්වවිද්‍යාල තුළත් සිදුකරමින් පවතිනවා. රාත්‍රීකාලයේ අංක තහඩු නොමැති වාහන වලින් ඇවිල්ලා එහෙම පහරදීමක් කරන්න තරම් ඔවුන්ට තියෙන බලට මොකක්ද? රාජ්‍ය බලයද එහෙම නැත්නම් දේශපාලන බලයද කියලා තමයි මේ පෙන්නුම්කරලා තියෙන්නේ.

ඒ නිසා මේක එක පැත්තකින් මේ රටේ තියෙන දේශපාලනයට මිනිස්සු අවනත කරන්න තමන්ට අවනත නැති අය නිහඬ කරන දෙයක්. ඔවුන්ගේ පැවැත්ම තියෙන්නේ ඒක හරහා. මේ වෙලා තියෙන සිදුවීම් වලට පොලීසියවත්, විශ්වවිද්‍යාල පරිපාලනයවත් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. ඉදිරියේදී කම්කරුවන්ට, ගොවියන්ට, ධීවරයින්ට ඒ වගේම සාමාන්‍ය ජනතාවට මේ ආකාරයේ පීඩාවලට ලක්වෙන්න වෙ එක ඉතා පැහැදිලියි. '' යැයි පැවසීය.

'' විශ්වවිද්‍ය ශිෂ්‍යයන් හැටියට විශ්වවිද්‍යාල තුල ඇතිවන ප්‍රශ්න විසඳන්නෙ නැතිව ශිෂ්‍යයන්ට අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙනතාක් ශිෂ්‍යයන් අරගල කරයි. මේ වන විට ශිෂ්‍යයන්ට තියෙන මූලික ගැටළුව නායකත්ව පුහුණුව නෙමෙයි. ආණ්ඩුව දිගින් දිගටම ගෙනයන නායකත්ව පුහුණුව තුල අලුතින් එන ශිෂ්‍යයන්ට නායකත්වය ගොඩනගන්න තමයි හමුදා පුහුණුව ලබාදෙන්නෙ කියලා.

නමුත් මේ වනවිට ශිෂ්‍යයන්ට තියෙන මූලික ප්‍රශ්නය උසස් අධ්‍යාපනය ඇතුළෙ තියෙන ගුණාත්මක භාවය ආරක්ෂා නොවීමයි. ඒ නිසා තමයි ශිෂ්‍යයන් සටන් කරන්නේ. ඒ නිසා ශිෂ්‍යයන්ට මේ එල්ල කරන පහරදීම් ශිෂ්‍ය මර්දනය වහා නතර කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල ඇතුලේ මුහුණදෙන ගැටළු නිරාකරණය කරන්නේ නැතිනම් දිගින් දිගටම ශිෂ්‍යයන් තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් , රටේ අධ්‍යාපනය වෙනුවෙන් රටේ මහජනතාව එක්ක සටන් කරනවා. මට එල්ල කරපු ප්‍රහාරයට මේ වෙනතෙක් ගත්ත ක්‍රියාමාර්ග පිලිබඳ සෑහීමකට පත්වෙන්න බෑ. ඒ පිළිබඳ අපේ තියෙන්නේ කනගාටුවක්. අනිත් එක අපිට විශ්වාස කරන්නත් බෑ පොලීසියට මේ සම්බන්ධව යමක් කරන් පුළුවන් වෙයි කියලා. මොකද අද පොලීසිය, හමුදාව, අධිකරණය සියල්ලකම බලය ආණ්ඩුව අරගෙන තියෙන්නේ. මේ ගෙනයන ඒකාධිපති පාලනය වෙනුවෙන් ජනතාවට පෙනීසිටිය යුතු කාලය උදාවෙමින් පවතිනවා කියලා අප විශ්වාස කරනවා.'' යැයිද පැවසීය.

මහේෂ් මල්වර ආරච්චි
'අද' පුවත්පත

Wednesday, January 23, 2013

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි උද්ඝෝෂණය (පේරාදෙණිය වෛද්‍ය පීඨය)

  නිදහස් අධ්‍යාපනයට වින කරමින් දැනට වසර 03 ක පමණ කාලයක් මාළඹේ ප‍්‍රදේශයේ SITEM ආයතනයට අනුබද්ධිතව පවත්වාගෙන යනු ලබන මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සහ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ, වෛද්‍ය විද්‍යාලයක් අරඹා සිදුකරනු ලබන වෛද්‍ය උපාධිය මුදලට විකිණිමේ උත්සාහය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සහ එයට විරෝධය පලකිරීමේ දැවැන්ත උස්ඝෝෂණයක් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සංගමයේ සංවිධානත්වයෙන් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 300 කගේ පමණ සහභාගිත්වයෙන් 2013.01.23 වන දින දහවල් 12 පැයේදී පේරාදෙණිය ගලහ මංසන්ධියේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති බිනාල් මධුසංඛ ප‍්‍රකාශ කර සිටියේ 2009 වර්ෂයේ ආරම්භ කොට මේ දක්වා වසර තුනක කාලයක් තිස්සේ ගෙනයන මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ශ‍්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයට පිළිලයක් වී ඇති බවයි.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මුදල් මත පමණක් පදනම්ව ලක්ෂ 60 ක පමණ මුදලකට වෛද්‍ය උපාධිය විකුණමින් මේ රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය වනසන මාළඹේ හොර උපාධි කඩය වහාම අහෝසි කොට රාජ්‍ය වියදමෙන් හා දළ දේශිය නිෂ්පාදිතයෙන් සම්මත ප‍්‍රතිශත අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයට වෙන්කරන ලෙසයි. දිනෙන් දින අගාධයට යමින් පවතින වත්මන් විශ්ව විද්‍යාල ක්‍ෂෙත‍්‍රයට නියමිත භෞතික හා මානව සම්පත් ලබදී ස්ථාවර තත්ත්වයට ගෙනඒම යුගයේ අවශ්‍යතාවක් වී ඇති බවද සදහන් කෙරිණි.

වෛද්‍ය පීඨ්‍ය ශිෂ්‍ය ක‍්‍රියාකාරි කමිටුව ලෙස සමස්ථ වෛද්‍ය පීඨ 06 සහ රටේ බුද්ධිමත් ජන කොටස් සහභාගිත්වයෙන් දැවැන්ත ජන බලවේගයක් ඇති කරමින් මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය, කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ වෛද්‍ය විද්‍යාලය ඇතුළු සමස්ථ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නුදුරු අනාගතයේදීම වසා දමා, මෙරට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය ස්ථාපිත කරන බවද ප‍්‍රකාශ විණි.

Monday, January 21, 2013

මොරටුව ගැටුම පිළිබඳ අන්තරෙන් නිවේදනයක්

පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලය තුළ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මේසේය, 

"මේ වන විට නැවතත් සරසවි දෙස මුලූමහත් සමාජ අවධානයම යොමුවී ඇත. ඒ අධ්‍යාපන අයිතීන් දිනාගැනීමට හෝ සිසු අයිතීන් දිනාගැනීමට කරන අරගලයක් හෝ සටනක් නිසා නොවේ. උත්සන්න වෙමින් තිබෙන සිසු ගැටුම් හේතුවෙනි. මෙම තත්ත්වය මසක පමණ කාලයක සිට වර්ධනය වෙමින් තිබෙන අතර එහි ඉතාමත් කුරිරු හා ම්ලේච්ඡ සහගත අවස්ථාවක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම හදුනාගත හැකිය. 

පාලකයන් සිය දේශපාලන හෙන්චයියන් යොදවා සරසවි තුළ ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහකළ පළමු අවස්ථාව මෙය නොවන අතර අනෙකුත් විශ්වවිද්‍යාලවලදී ගන්නාලද උත්සාහයන් ශිෂ්‍ය සංගම්වල මැදිහත්වීමෙන් අසාර්ථක වීම හේතුවෙන් අවසානයේදී මොරටුව සරසවිය ඒ සඳහා තෝරාගෙන ඇත. 

මුලින්ම පසුගිය දෙසැම්බර් 3වන දින කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නවක සාදයටත්, එදිනම පැවති රජරට විශ්වවිද්‍යාලයේ සමුගැනීමේ සාදයටත් එකවිට බාහිරින් කඩාවැදුන මැර කණ්ඩායම් නිරායුධ සිසුන්ට අමානුෂික ලෙස පහරදෙමින් මෙම වැඩපිළිවෙල ආරම්භ කළහ. නැවතත් 4 වන දින රාති‍්‍රයේ රජරට විශ්වවිද්‍යාලයේ ඉලූප්පු කන්නියේ පැවති නේවාසිකාගාරයට කඩාවැදුන මුහුණු ආවරණය කරගත් මැර පිරිසක් විසින් පහරදී සිසුන්ට බරපතල ලෙස තුවාල සිදුකරන ලදි. එම පහරදීම් ගම්වාසීන් විසින් සිදුකළේ යැයි තහවුරු කරමින් සරසවි සිසුන් හා අවට ගම්වාසීන් අතර ගැටම්කාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඊළඟට දෙසැම්බර් 18 වන දින මාතර නගරයේදී රුහුණ විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම වසරේ ඉගෙනුම ලබන එච්.එම්. ආර්.යු. අබේසේකර ශිෂ්‍යාට නිදහස් ශිෂ්‍ය සංගමයට සම්බන්ධ සිසුන් හා බාහිර මැරයන් විසින් පහරදී තුවාල සිදු කළහ. තුවාල ලැබූ ඔහු දින දෙකක් රෝහල් ගතව ප‍්‍රතිකාර ලැබීය. නැවතත් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට දෙසැම්බර් 31වන දින පහරදෙන ලද්දේ මාතර එලියකන්ද හන්දියේදී නේවාසිකාගාරය වෙත යමින් සිටියදීය. එහිදීද සිසුන් විශාල ප‍්‍රමාණයක් තුවාල ලැබූහ. ජනවාරි පළමුවන දින එම විශ්වවිද්‍යාලයේදී කිරිබත්දීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර එදින නිදහස් සිසුන් යැයි කියාගන්නා ආණුඩුවට සම්බන්ධ සිසුන් කිහිප දෙනකු මැදිහත්වී දෙවන වසර ශිෂ්‍යයකුට පහරදීමට උත්සාහකර ගැටුමක් නිර්මාණය කරන ලද අතර එහිදී සිසුන් 5දෙනකු තුවාල ලබා රෝහල් ගත කළහ. මෙහිදී ආණ්ඩුවේ උත්සාහය සාර්ථකවූ අතර ‘‘නවකවදයට විරුද්ධවීම නිසා අන්තරේ සිසුන් තමන්ට පහරදුන්නේ යැයි කියමින් මාධ්‍ය සාකච්ඡා පවත්වා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට අභූත චෝදනා එල්ල කිරීම ආරම්භ කළහ. නවකවදයක් පිළිබදව කතා කළද නවකයන් සරසවිවලට බදවාගෙන වත් නැත. 

එහෙත් ඒ කිසිදු උත්සාහයක් ඔවුන් අපේක්ෂා කළ තරම් සාර්ථක නොවූ අතර මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හා තාක්ෂණ පීඨය අතර පැවති සාම්ප‍්‍රදායික ගැටුම යොදාගත්තේය. 

මෙම ගැටුම් නිර්මාණය කිරීමේ අරමුණ වී ඇත්තේ ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කිරීම සඳහා නව ප‍්‍රවේශයක් ලබා ගැනීමයි. පසුගිය වර්ෂ 3ක පමණ කාලය තුළ ශිෂ්‍ය නායකයින් හා ක‍්‍රියාකාරීන් පංති තහනමට හා ශිෂ්‍යභාවය අහෝසිකිරීමට ලක්කරමින්, අත්අඩංගුවට ගනිමින්, ආරක්ෂක අංශ ලවා පවුල්වලට පවා බලපෑම් කරමින්, සැලසුම් සහගතව සිසුන් ඝාතනය කරමින් ශිෂ්‍ය ව්‍යාපාරය දණගස්වා අධ්‍යාපන අයිතිය කොල්ලකෑමට ගන්නා ලද උත්සාහය අසාර්ථක වූ අතර ශිෂ්‍ය ව්‍යාපාරය එම අභියෝගයට සාර්ථකව මුහුණ දීම වෙනත් ප‍්‍රවේශයක් වෙත යොමුවීමට බලපාන්නට ඇත. 

ඒ අනුව එම නව ප‍්‍රවේශය වන්නේ අභ්‍යන්තර ගැටුම් එනම් සිසුන් සිසුන් අතර ඇණකොටාගන්නා තත්ත්වයක් නිර්මාණය කිරීම, සිසුන් හා බාහිර සමාජය අතර එනම් සරසවි අවට ගම්වාසින් අතර ගැටුම්වලට ඇද දැමීම, එම ගැටුම් යොදාගනිමින් සරසවි සිසුන් ප‍්‍රචණ්ඩකාරී පිරිසක් ලෙස තහවුරුකරමින් අධ්‍යාපන සටන වටා පෙළගැසෙන ජනමතය ව්‍යාකූල කිරීම, ශිෂ්‍ය අසමගිය ඇතිකිරීම හරහා කේවල් කිරීමේ ශක්තිය දුර්වල කිරීම හා මර්දනය කැදවීම පහසු කර ගැනීමයි. 

පොදු සමාජය තුළ ආර්ථික වශයෙන් පීඩාවට පත් හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය තුළ අයුක්තියට හා අසාධාරණයට ලක්වූ ජනතාවගේ මුලූමහත් විරෝධයම ආණ්ඩුව වෙත එල්ලවී ඇති මොහොතක එම විරෝධය දුර්වල කිරීමට ජාතිවාදය හා ආගම්වාදය වපුරමින් අසාධාරණයට ලක්වූ පීඩිත ජනතාව විවිධ පදනම් ඔස්සේ බෙදා වෙන්කර එකිනෙකා අතර ගැටුම් අවුලූවා ඔවුනොවුන් මරාගන්නා තැනකට තල්ලූකරමින් ඇත්තේ යම් සේද අද ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කිරීම සඳහාද එම උපක‍්‍රමයම යොදා ගනී. එනම් විශ්වවිද්‍යාල සිසුන් පීඨ, බැජ් හා සිසුන්ගේ ප‍්‍රාදේශීය පදනම් යොදාගනිමින් ගැටුම් ඇති කිරීමයි. ඒ සදහා විෂම සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස ජනිත වු සාකච්ඡාකර අවබෝධයෙන් විසදාගත යුතු ප‍්‍රශ්න වැඩි කර ගැටුම් දක්වා වර්ධනය කෙරේ. එසේම සමාජය තුළ මනුෂ්‍යත්වය බිදවැටී ඉස්මතුවී ඇති නරුම ගති ලක්ෂණද, නායකත්ව පුහුණුව තුළින් ගොඩනගන ලද හමුදා මානසිකත්නවයද තවත් සිසුවකුට ලේ ගලන තුරු පහරදීමට තරම්වන පහත් මානසිකත්වයකට සරසවි සිසුන් ඇඳවැටීමට බලපාන්නට ඇත. 

මෙම ගැටුම් අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනු ලබන අතර ගැටුම්වලට මැදිහත්වී පාලකයන්ගේ න්‍යායපත‍්‍රවල ගොදුරු නොවන ලෙස අපි සියලූම සිසුන්ගෙන් ඉල්ලා සිටිමු. විශේෂයෙන් අප මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් ගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය අවබෝධ කරගන්නා ලෙසයි. ගැටුම් නිසා මෙම පීඨ දෙකෙන් එකකට වත් ලැබෙන වාසියක් නැත. නිරපරාදේ තුවාල සිදුකරගැනීම, අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීම,හා උපාධිය ලබාගැනීම සඳහා ගතවන කාලය දීර්ඝවීම පමණි. පාලකයන්ට මෙම ගැටුම් ඉතාමත් වාසි සහගතවන අතර කිසිදු ශිෂ්‍ය ගැටලූවක් නොවිසදා සිය මුග්ධ පාලක පැවැත්ම පවත්වාගෙන යාම සදහා අවස්ථා උදාවේ. අනෙක් පැත්තෙන් එය ආණ්ඩුවට වාසි සහගතවන අතර ගැටුම් පිළිබඳ රූපරාමු පෙන්වමින් සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයම රටතුළ අපකීර්තියට ලක්කිරීමට ඉන් අවස්ථාව ලැබේ. අවසාන වශයෙන් කිහිප දෙනකුගේ දේශපාලන න්‍යායපත‍්‍රයන්ට අනුව නිර්මාණය කරන ගැටුම්වල ගොදුරක් නොවන ලෙස හා සහෝදරත්වයෙන් එක්ව නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් රැකගැනීමට පෙළගැසෙන මෙන් මොරටුව සිසුන්ගෙන් අපි ඉල්ලා සිටිමු. 

මීට අමතරව තෝරාගත් ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් ඉලක්ක කර රජයේ සන්නද්ධ අංශ විසින් කරනු ලබන පහරදිමේ වැඩපිළිවෙලක්ද ක‍්‍රියාත්මක වේ. පසුගිය දෙසැම්බර් 30වන දින් අලූයම කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සුරංජිත් සහෝදරයාට පහරදීම හා පසුගිය 16වන දින රාති‍්‍ර රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්ධන සහෝදරයාට පහරදීම හා පැහැරගෙනයාමට උත්සාහ කිරීම මෙහි ආසන්නතම සිදුවීම් වේ. මෙම පහරදීම් මෙම සිසුන් විසින්ම සිදුකරගන්නා ලදැයි ඇමතිවරයා, උපකුලපතිවරු හා ආණ්ඩුවේ දේශපාලන හෙන්චයියෝ ප‍්‍රකාශ කරති. ඒ සුත‍්‍රයට අනුව රටේ සිදුවන අතුරුදන්කිරීම්, පහරදීම්, ඝාතන හා ලිංගික අපචාර යනාදී සියල්ල තමා විසින්ම ඒ ඒ පුද්ගලයන් කරගන්නා ලදැයි කීවොත් පුදුම විය යුතු නැති අතර පසුගිය කාලය තුළ ආණ්ඩුව එවැනි මුග්ධ ප‍්‍රකාශ ඕනෑතරම් සිදු කර ඇත. 

එම නිසා ගැටුම් ඇති කර සරසවි අවුල්කරන හා ශිෂ්‍ය නායකයින්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය මුදාහරින ආණ්ඩුවේ පිළිවෙත දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනු ලබන අතර මෙම පිළිවෙතට එරෙහිව නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් රැකගැනීම වෙනුවෙන් හා රට තුළ මානව නිදහස ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් එකාවන්ව පෙළ ගැසෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිමු."

Saturday, January 19, 2013

යාපනය සරසවි සිසුන් වහා නිදහස් කරනු!

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් වහාම නිදහස් කිරීමටත් උතුරේ මිලිටරි පාලනය ඉවත් කොට සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමටත් උතුරේ ඉඩම් කොල්ලය වහාම නතර කිරීමටත් ආණ්ඩුව පියවර ගත යුතු යැයි සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පැවසීය. 

ඔහු මේ බව පැවසුවේ අත්අඩංගුවේ සිටින යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සිව් දෙනා වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කිරීමේ අන්තර්ජාල පෙත්සමකට අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමිනි. සම අයිතිය ව්‍යාපාරය විසින් රාජගිරිය ‘සිංහ’ සමාජ ශාලාවේදී මෙම අන්තර්ජාල පෙත්සම විවෘත කරනු ලැබීය. http://www.ipetitions.com/petition/free-jaffna-students-leadersවෙබ් ලිපිනය ඔස්සේ මෙම අන්තර්ජාල පෙත්සමට අත්සන් කළ හැකිය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා 

‘‘අපි ආණ්ඩුවෙන් අහනවා, තමන්ගේ මිය ගිය ඥාතීන් සිහිපත් කර පහනක් දැල්වීමද ත‍්‍රස්තවාදය? එහෙමත් නැතනම්, ආයුද සන්නද්ධව විශ්වවිද්‍යාලය තුළට කඩා වැදිලා නිරායුද සිසුන්ට පහර දීලා තර්ජනය කිරීමද ත‍්‍රස්තවාදය? දැන් ආණ්ඩුව කියනවා, අත්අඩංගුවට ගත් යාපනයේ සිසුන් පුනරුත්ථාපනය කරන්න ඕන කියලා. පුනරුත්ථාපනය කරන්න ඕන ශිෂ්‍යයින් නොවෙයි. පුනරුත්ථාපනය කරන්න ඕන අය ඉන්නේ ආණ්ඩුවේ. ඝාතකයන්, ත‍්‍රස්තවාදීන්, ස්ත‍්‍රී දූෂකයින්, අපරාධකාරයින්, කුඩුකාරයින්, හොරු, සමාජ විරෝධී යැයි සම්මත සියලු ආකාරයේ විශමාචාර සිදු කරන්නන් ඉන්නේ පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ. ඒ අයයි පුනරුත්ථාපනය කරන්න ඕන.’’

රවීන්ද්‍ර මුදලිගේ මහතා. 

යුද්ධය අවසන් වෙලා වසර හතරක් ගත වෙලා තිබෙනවා. නමුත් ජාතික ප‍්‍රජාවන් අතර විරසකභාවය දුරු කරලා, සමගිය, සහජීවනය ඇති කරන්න කිසිදු පියවරක් අරගෙන නැහැ. 

ආණ්ඩුව තමන්ගේ නව ලිබරල් ධනවාදී ආර්ථික වුවමනාවන් ක‍්‍රියාත්මක කරන්න ජනතාව වසඟ කිරීමේ දේශපාලනයක් පවත්වාගෙන යනවා. ඒ වගේම, ගොඩනගා ගත් මිලිටරි ආධිපත්‍ය මගින් මුළු රටම යටපත් කර තිබෙනවා. උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවලට එය විශේෂ ප‍්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. 

දෙමළ ජනතාවට සැබෑ මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්න අවශ්‍ය අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියත් අහිමි කර තිබෙනවා. ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ උතුරේ ජනතාව, යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට ඔළුවට තුවක්කුව තියලා පාලනය කරන්නයි. උතුරේ නිවාස නැති ජනතාවට නිවසක් ලබා ගන්න, රැකියාවක් නැති තරුණ තරුණියන්ට රැකියාවක් ලබා ගන්න, කෘෂිකර්මාන්තය අහිමි කර තිබෙන ගොවි ජනතාවට ඒ අයිතිය ලබා ගන්න, මුහුදට යන්න නොදෙන ධීවරයාට ඒ අයිතිය ලබා ගන්න අරගලයක් අවශ්‍යයි. දැන් ආණ්ඩුව උත්සාහ කරනවා, පීඩිතයා ජාතිවාදී, ආගම්වාදී පදනමින් බෙදන්න. එක් ජාතිවාදයක් වෙනුවට තවත් ජාතිවාදයක් තෝරා ගැනීම මේ ප‍්‍රශ්නයට උත්තරය නොවෙයි. ඒ නිසා අපි යෝජනා කරනවා, සිංහල, දෙමළ මුස්ලිම් සියලු පීඩිත ජනතාව ඒකාබද්ධ අරගලයකට පැමිණිය යුතුයි කියා. 

ඒ වගේම අපි ආණ්ඩුවට බල කරනවා, අත්අඩංගුවට ගෙන රඳවා සිටින යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් වහාම නිදහස් කරන්න, පැහැර ගැනීමේ අතුරුදහන් කිරීමේ සංස්කෘතිය වහාම නතර කරන්න, උතුරේ හමුදා කඳවුරු හදන්න සහ ආණ්ඩුවේ පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් කරන ඉඩම් කොල්ලය වහාම නතර කරන්න. ඒ විතරක් නොවෙයි, කිසිදු නීති විභාගයකින් තොරව රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන්න. 

සම අයිතිය ව්‍යාපාරයේ සම ලේකම් පලනිවේල් රිචඩ් මහතා 

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් හතර දෙනා දින 45කට වඩා වැඩි ගණනක් තිස්සේ රඳවාගෙන සිටිනවා. පසුගිය නොවැම්බර් මාසයේ දී සිසුන් පැවැත්වූ උද්ඝෝෂණයට හමුදාව හා පොලිසිය පහර දුන්නාට පස්සේ, සිසුන් 40දෙනකුට වැඩි පිරිසක් හමුදාව විසින් පරීක්ෂණයට ලක් කළා. සිසුන් 13දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ අතරින් සිසුන් සිව් දෙනකු තවමත් රඳවාගෙන සිටිනවා. 

ජනතාවගේ අයිතීන් දෙන්න බැරි ආණ්ඩු අවුරුදු තිහක් තිස්සේ එල්.ටී.ටී.ඊ. සංවිධානය පෙන්වලා ජනතාවගේ ප‍්‍රශ්න යටපත් කළා. දැන් ඒ වෙනුවෙන් ජාතික ප‍්‍රජාවන් අතර විරසකභාවය වර්ධනය කරන්න උත්සාහ කරනවා. සතුරුභාවය ඇති කරන්න උත්සාහ කරනවා. මේ ජාතිවාදී දේශපාලනය පරාජය කළ යුතුයි. එහෙම නොකළොත් මහා ඛේදවාචකයකට මුහුණ දෙන්නයි සිදු වෙන්නේ. 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා 

ජනතාවගේ අදහස් පළ කිරීමට ඇති අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේදී ඉතාම වැදගත්. පහනක් දැල්වීම කියන්නේත් අදහස් පළ කිරීමක්. එය අධිකරණය පවා පිළිගෙන තිබෙනවා. ඒ අයිතිය පිළිගත් අවස්ථාවක් තමයි, වත්මන් ජනාධිපතිවරයා ජනඝෝෂා නමින් කළ උද්ඝෝෂණයේදී බෙර නාද කළ පුද්ගලයකුට පොලිසියෙන් කළ පහරදීම පිළිබඳ පැවති නඩු විභාගය. මේ සිසුන් අත්අඩංගුවට ගෙන සිටින්නේ පහනක් දැල්වීම මගින් තමන්ගේ හැඟීම් ප‍්‍රකාශ කිරීමට උත්සාහ කළ නිසා. තුවක්කු නිහඬ වූ පමණින් සාමය ඇති වන්නේ නැහැ. සාමය සහ සහජීවනය ඇති වන්න නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍යයි. 

සිසු දඩයමටත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය වීදි සටන් අරඹයි..

රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්ධනට පහරදීමට එරෙහිව අද දිනයේ උද්ගෝෂණ ව්‍යාපාරයක් හා පා ගමනක් සංවිධානය විය. ඊයේ (13/01/16) දින රාත‍්‍රියේ දස දෙනෙකුගෙන් පමණ සමන්විත සන්නද්ධ මැරපිරිසක් යොදා කළ මෙම පහරදීමට එරෙහිව වැල්ලමඩම රුහුණ විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ සිට මාතර නගරය දක්වා සිසුන් දහසක් පමණ පා ගමනින් පැමිණ උද්ඝෝෂණයෙ යෙදුනේය. 

අද දින (17) දහවල් 12ට පමණ ඇරඹි මෙම පාගමන සවස දෙක පමණ වනතෙක් පොලිසියේ බාධා නොතකා ඉදිරියට ඇදුනි. මාපලාන කෘෂි විද්‍යාලයේ සිසුන් එම පීඨය ඉදිරිපිටද කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් එම පීඨය ඉදිරිපිටදීද මෙලෙස උද්ගෝෂණයේ යෙදුනේය. 

මෙහිදී ඔවුන් ප‍්‍රකාශ කර සිටියේ මෑතකදී විශ්වවිද්‍යාල ආචාර්ය පා ගමනේදී ශිෂ්‍ය ව්‍යාපාරයෙන් උදුරාගත් ජනක හා සිසිත සොයුරන්ගේ මරණ සෑබෑ ලෙසම ඝාතනයන් යැයි තිබූ සැකය. හර්ෂ ගුණවර්ධනට එල්ල වූ ප‍්‍රහාරයේන් පැහැදිළි වන බවයි. එහිදී හර්ෂ පැහැරගැනීමට මැරයන් උත්සහ ගෙන තිබුණි. එලෙසම පසුගිය ආසන්න සමයේ යාපනේ සිසුන්ට එල්ලවූ ප‍්‍රහාර කැළණිය විශ්වවිද්‍යාලයේ සිසු නායකයාට එල්ල වූ ප‍්‍රහාරය මේ සියල්ලම එකම අරමුණ මත පිහිටා කරන ලද පහරදීම් බවයි. 

පසුගිය දිනක උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිගේ මුවින් පිටවු පෞද්ගලික විශ්වවිද්‍යාල පනත නැවත ගෙන එනවා යන ප‍්‍රකාශය මේ හා බැදී ඇතිබව සිසුන් පවසයි. ආරක්ෂක අංශ යොදවා සිසුන්ට පහරදී සිසු නායකයන් දණ්ගෙඩියට යවා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත නැවත ගෙන ඒමට ගන්නා මෙම උත්සහාය එරෙහිව මේ ආරම්භ කළ සටන් ඉදිරියේ දී වඩා තීව් කරන බව මෙහිදී අදහස් දැක්වු සිසු නායකයන් ප‍්‍රකාශ කළහ.

ස්ථීර පත්වීම් නිදහස් උපාධිධාරීන්ට

පසුගිය ජනවාරි 12 වැනිදා අභ්‍යාසලාභී උපාධිධාරීන්ට සිය පත්වීම් ස්ථීරකරන බව පවසා පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පවත්වන ලද සමුළුවේදී පත්වීම් ස්ථීර කරනු ලැබුයේ ආණ්ඩුවට පක්ෂපාති ශ්‍රී ලංකා නිදහස් උපධිධාරී සංගමයේ කොටසකට බව උපාධිධාරී මධ්‍යාස්ථානයේ කැඳවුම්කරු සුජිත් කුරුවිට මහතා පවසයි. 

වැඩිදුරටත් අදහස් දැක්වු කුරුවිට මහතා පැවැසුවේ සමුළුවට සහභාගීවු උපාධිධාරී අභ්‍යාසලාභීන් බහුතරයක් දෙනාට ස්ථිර පත්වීම් නොලැබුණු බවත් සමුළුවට සහභාගි වූ 20,000ක් පමණ පිරිසට ගෘහස්ථ ක්‍රීඩාංගණයේ එළිමහනේ සිටීමට සිදුවූ බවත්ය. එසේම රුපියල් දස දහසක් වැනි ඉතා අඩු දීමනාවක් යටතේ සේවය කරන මෙම උපාධිධාරීන්ට රජයෙන් කිසිඳු සහනයක් ‍ලබානොදි රවටන බවත් පසුගියදා සමුළුවට සහභාගීවුවන්ට ලිපි මගින් දන්වා තිබුනේ රුකියා‍ ස්ථීර කිරීම සඳහා පැමිණෙන ලෙස වුවත් එහිදීද ඔවුන් රැවටු බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කරයි.

විභාග සමත් නොවුනත් උපාධි දෙන බව අධ්‍යාපන ඇමති කියයි

2013 වසරේ සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලින් අසමත්වන සිසුන්ටද උපාධියක් පිරිනැමීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ ත්‍රිකුණාමලය විද්‍යාලෝක විද්‍යාලයේ පැවැති පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව පැවසීය. 

ඔහු එහිදී ප්‍රකාශ කළේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අසමත්වන සිසුන්ට තොරතුරු තාක්ෂණ උපාධි ලබාදීමට කටයුතු කරන බවයි.

සිංහල පීරියඩ් එකට එන ආමි සර්ලා

බල්ලගෙ වැඬේ බූරුවා කරන්න ගියොත් හරි බූරුවා ගෙ වැඬේ බල්ලා කරන්න ගියොත් හරි මොකද වෙන්නෙ? 

මේ කතාව මතක් වුණේ පසුගිය දවසක අනාවරණය වුණු පුවතක් නිසා. මේ පුවත තමයි උතුරේ පාසල්වල දරුවන්ට සිංහල භාෂාව උගන්වන්න හමුදා නිලධාරීන් යොදවන්න තීරණය කර තිබීම. 

උතුරේ දරුවන්ට සිංහල භාෂාව උගන්වන්න හමුදා නිලධාරීන් ! 

ඔව්! කාරණය ඇත්තක්. කිලිනොච්චිය, තුනුක්කායි, මුලතිව් කියන ප‍්‍රදේශවල පාසල් එකසිය තුනක් ඒ සඳහා දැනටමත් තෝරාගෙන අවසන්. මේ වෙද්දි කලාප අධ්‍යක්ෂවරුන් ලිඛිතවම දැනුවත් කරලයි තියෙන්නෙ. අදාළ හමුදා නිලධාරීන්ට කාලසටහන් ලබා දෙන ලෙස. ගුරු ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරල මේ දිනවල සිද්ධ වෙන්නෙ හමුදා නිලධාරීන් ගුරු වෘත්තියට ඇතුළත් කරන එකයි. 

දැන් ඔබට ප‍්‍රශ්න කරන්න පුළුවන් ඇයි හමුදා නිලධාරියෙක්ට ගුරුවරයෙක් වෙන්න බැරිද කියල. නමුත් අප ඉදිරියේ ඇති ප‍්‍රශ්නය වනුයේ හමුදා නිලධාරියාගේ මෙම ගුරු භූමිකාව කුමක් අරබයාද යන්නයි. 

යුද්ධය අවසන් කළ බව කියා වසර තුනකට අධික කාලයක් ඉක්මවා ගොස් තිබුණත් උතුරට නිදහස හිමි වෙලා තියෙනවද? දෙමළ ජනතාව ඒ නිදහස භුක්ති විඳිනවද? හමුදා මුරපොළවල් , කඳවුරු වෙනුවට සිවිල් පරිපාලනයක් වෙනුවෙන් උතුර නිදහස් කර තියෙනවද? ඒ 9මාර්ගය අලුත් වුණාට උතුරු ජනතාවගෙ හද ගැස්මේ තිගැස්ම වෙනස් වෙලා තියෙනවද? 

දකුණට අනුව උතුර නිදහස්ය. ඒත් ඒ නිදහස් උතුර නිදහස් නම් තවමත් පැහැර ගැනීම් සිදු වෙන්නෙ ඇයි? සාක්ෂි මකාදැමුණු ඝාතන සිදු වෙන්නෙ ඇයි? එල්ටීටීඊ සාමාජිකයන් යැයි ලේබල් කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කඳවුරු තුළට ගාල් කරන්නෙ ඇයි? නම් ලැයිස්තු හදමින් තරුණයන් ලුහුබඳින්නෙ ඇයි? නිවෙස් ඉදිරිපිට නිවැසියන්ගෙ ඡායාරූප ප‍්‍රදර්ශනය කර තබන ලෙස අණ කරන්නෙ ඇයි? කඳවුරු එකින් එක ඉවත් කරනවා වෙනුවට දිනෙන් දින හන්දියක් හන්දියක් ගාණේ කඳවුරු, මුරපොළවල් ඇති කරන්නෙ ඇයි? පහනක් දැල්වීමක් වරදක් ලෙස සලකමින් විලංගු දමන්නෙ ඇයි? 

තත්වය මෙසේ පවතිද්දී තමයි උතුරේ පාසල් වෙත ‘සිංහල’ උගන්වන්නට යැයි කියමින් හමුදා නිලධාරීන් ගුරු පුටුවේ හිදුවන්නෙ. අදටත් හමුදා නිලධාරීන් ඉදිරියේ උතුරේ මිනිස්සුන්ගෙ සියලඟ වෙවුලවන තත්වයක් තුළ ගුරුවරුන් ලෙස හමුදාව? 

හමුදා විනයට අනුගත සොල්දාදුවන් ඉගැන්වීමට යෙදවීමෙන් සිදුවන්නේ උතුරේ දරුවන් අධ්‍යාපන විනයට යොමු කිරීම නොව හමුදා විනයට බලහත්කාරයෙන් යටත් කිරීමය. විචාරවත් නිර්මාණශීලී මිනිසුන් හමුදා විනය තුළ බිහි වන්නේ නැති බව පැහැදිලිය. නමෝ විත්තියෙන්ම ‘Yes sir’ ‘OK sir’ ලා විනා ‘No sir’ කියන අභියෝගාත්මක මිනිසා හමුදා විනයක් තුළ කිසි කලෙක බිහි වන්නේ නැහැ. ඇත්ත ඒකයි. 

අනෙක් පසින් පසුගිය කාලය තුළ හමුදා නිලධාරීන් වෙත එල්ල වූ අපරාධ, අපචාර චෝදනා ද සුළුපටු ඒවා නොවන බව ඔබ දන්නවා. අයෙක් ස්ත‍්‍රී අපචාරයකට චෝදනා ලබද්දී තවත් අයෙක් ළමා අපචාරයකට චෝදනා ලබනවා. හමුදා භටයන් යොදවාගෙන කැලෑ කැපුවාට, වැව් හෑරුවාට, නගර මධ්‍යයේ උද්‍යාන හැදුවාට, ඒවායේ මල් හිටෙව්වාට වසර තිහක මිලිටරි මානසිකත්වය ඇති ජීවිත සාමාන්‍ය ජීවිතය වෙත නැවත කැඳවීම පහසු නැහැ. ආරක්ෂක බලධාරීන් ඔවුන්ගේ එම ජීවන ගැටලුවට පිළියම් ලබාදෙනු වෙනුවට කරන්නේ එම මානසිකත්වයෙන් වැඩ ගැනීමට සැලැසුම් කිරීමයි. එනම් විරුද්ධවාදීන් මර්දනයට යෙදවීමයි. එහිදී සොල්දාදුවන් හා ජනතාව යන දෙගොල්ලම මර්දනකාරී යාන්ත‍්‍රණයේ ගොදුරු බවට පත් වෙනවා. 

යුද්ධයක් පැවැති සමයේත් ඉන් පසුවත් මිලිටරි සපත්තුවට පෑගී, පොඩි වී සිටින මිනිසුන්ට නැවත නැවතත් දල්වන්නෙ රතු එළිම නෙවෙයිද? 

මෙහිදී තවත් විශේෂ කරුණක් වන්නේ මේ මිලිටරි ආඥාදායකත්වය උතුරට පමණක්ද යන්නයි. මේ වන විට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටින ශිෂ්‍යයන්ට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ආරම්භ කර අවසන්. නමට ‘නායකත්ව පුහුණුව’ වුණාට වැඬේ ක‍්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන්න දැන් රටම දන්නවා. ශිෂ්‍යයො අත-පය කඩාගෙන ආබාධිත වෙනවා විතරක් නෙවෙයි මරණයේ ගොදුරක් බවටම පත් වුණා. මේ විදියට හමුදා කඳවුරු තුළ කෙරෙන නායකත්ව පුහුණුව, පෞරුෂ වර්ධනය කුමක්ද? 

විදුහල්පතිවරුන් වෙත ‘කර්නල්’ තනතුරු ප‍්‍රදානය කිරීමත් මේ හා බැඳුණු තවත් විශේෂ කාරණයක්. එහිදීත් විදුහල්පතිවරුන්ටත් හමුදා පුහුණුවකට යටත් වෙන්න සිද්ධ වුණා. අන්තිමට විදුහලට ආවේ කර්නල් නිල ඇඳුමෙන් සැරසුණු ‘කර්නල් විදුහල්පතිතුමා.’ විදුහල්පතිවරයාගේ සිට ශිෂ්‍යයා දක්වාම මොකක්ද මේ කරන්න හදන මිලිටරි බලපෑම. 

එපමණක් නොවෙයි විශ්වවිද්‍යාල වෙත හමුදාව මැදිහත් වීම දිනෙන් දින ඉහළ යමින් තියෙනවා. එක පැත්තකින් ශිෂ්‍යයන් ත‍්‍රස්තවාදීන් විදිහට ලේබල් කරනවා. අත්අඩංගුවට ගන්නවා. ඔළු පළනවා. මේ හැම මොහොතකම මිලිටරි සපත්තුව එල්ල වෙන්නෙත් අධ්‍යාපන අයිතිය විතරක් නෙමෙයි මිනිස්සුන්ගෙ ජීවත් වීමේ අයිතීන් වෙනුවෙන් හඬ නඟපු ශිෂ්‍යයන්ගෙ පපුවට. අනෙක් කාරණය තමයි උපාධිධාරීන් දහස් ගාණක් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලයි, අමාත්‍යාංශවලයි ඇගමැළි කඩද්දි, ඇයි ඉගැන්වීමේ කාර්යය සඳහා හමුදා නිලධාරීන්ම අවශ්‍ය වුණේ කියන එක. ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව උපාධිධාරීන්ව ගුරු සේවයට අනුයුක්ත කිරීමේ වරදක් ඇත්තේම නෑ. 

දැනුමින් සමන්විත මානව සම්පතක් සිටිය දී ඔවුන් පසෙකට දමා ලෙෆ්ටිනන්ට්ලා, කර්නල්ලා, බි‍්‍රගේඩියර්ලා ගුරුවරුන් ලෙස වෙස් ගන්වන්නට හදන්නෙ බලය වෙනුවෙන් මුළු මහත් සමාජයම මිලිටරිකරණය කිරීම මිස වෙන කුමක් වෙනුවෙන්ද? 

ආශිකා බ‍්‍රාහ්මණ

මොරටුව ගැටුම පිටුපස පෙරටුගාමී සමාජවාදීන් - එස්.බී.

S.B Dissanayake
මොරටුව විශ්වවිද්‍යාලයේදී පසුගියදා ඇති වූ ගැටුම පිටුපස පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිටිය හැකි බවට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පැවැසීය. ඊයේ (18) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. 

මේ පිළිබඳ සොයා බැලීම සඳහා අද (19) සවස 6.00ට ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද දිසානායක මහතා එහිදී ප්‍රකාශ කළේය. සංවිධානාත්මක පහරදීම් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සැඟවුණු පිරිස් ලෙස ක්‍රියාකළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අත්දැකීම් තිබෙන අතර සිද්ධියට වැරදිකරුවන් වන සියලුදෙනාම විශ්වවිද්‍යාලයෙන් අයින් කිරීමට ක්‍රියාකරන බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.

Friday, December 28, 2012

පාසල් නිල ඇඳුම් රෙදි ආනයන පාඩුව කෝටි 6 පනී

රාජ්‍ය ආයතනයක්‌ වන ලංකා සළුසල ඉදිරිපත් කළ අඩු මිල ගණන් නොසලකා වැඩි මිල ගණන් ඉදිරිපත් කළ පෞද්ගලික ආයතනයක්‌ මගින් පාසල් නිල ඇඳුම් ආනයනය කිරීමෙන් රජයට රුපියල් හයකෝටි අසූ හතර ලක්‍ෂයකට අධික මුදලක්‌ පාඩු වී ඇත.

පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් රෙදි ලබා දීමේ අවශ්‍යතාවෙන් සියයට පනහක්‌ දේශීයව සපයා ගනිමින් ඉතිරි සියයට පනහ චීනයෙන් ආනයනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබිණි. ඒ අනුව සුදු කමිස හා ගවුම් රෙදි මීටර් පනස්‌ එක්‌ ලක්‍ෂ පන්දහසක්‌ ද සුදු කලිසම් රෙදි මීටර් දෙලක්‍ෂ පනස්‌ දහසක්‌ ද නිල් කලිසම් රෙදි මීටර් ලක්‍ෂ දෙකක්‌ද චීනයෙන් ආනයනය කිරීමට නියමිත විය. ඒ සඳහා අමාත්‍යාංශය මිල ගණන් කැඳ වූ අතර එහිදී අඩුම මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය ආයතනයක්‌ වන ලංකා සළුසල ආයතනය ය.

සුදු කමිස හා ගවුම් රෙදි මීටරයක්‌ රුපියල් 109.20 කට ද සුදු කලිසම් රෙදි මීටරයක්‌ රුපියල් 169 කට ද නිල් කලිසම් රෙදි මීටරයක්‌ රුපියල් 188.50 කට ද ආනයනය කර දීමට සළුසල ආයතනය මිල ගණන් ඉදිරිපත් කර තිබිණි. එහෙත් එම ටෙන්ඩරය පිරිනමා ඇත්තේ සුදු කමිස හා ගවුම් රෙදි මීටරයක්‌ රුපියල් 120.90 කට ද සුදු කලිසම් රෙදි මීටරයක්‌ රුපියල් 189.80 කට ද නිල් කලිසම් රෙදි මීටරයක්‌ රුපියල් 202.80 කට ද ආනයනය කර දීමට ඉදිරිපත් වූ පෞද්ගලික ආයතනයකට ය.

පෞද්ගලික ආයතනය ඉදිරිපත් කළ මිල ගණන් අනුව නිල ඇඳුම් ආනයනය කිරීම සඳහා රුපියල් හැට හතර කෝටි තිස්‌ එක්‌ ලක්‍ෂයකට අධික මුදලක්‌ වැය වී ඇති අතර සළුසල ආයතනය ඉදිරිපත් කළ මිල ගණන් අනුව ආනයනය කළේ නම් වැය වන්නේ රුපියල් පනස්‌ හත් කෝටි හතලිස්‌ හත් ලක්‍ෂයකට මඳක්‌ වැඩි මුදලකි.

පසුගිය වසර තුන ඇතුළත ඩොලර් මිලියන තුනකට වැඩි වටිනාකමින් යුත් භාණ්‌ඩ ආනයනය කර තිබීම අනිවාර්ය සුදුසුකමක්‌ ලෙස ටෙන්ඩර් පත්‍රිකාවට ඇතුළත් කර තිබූ අනිවාර්ය රෙගුලාසිය නිසා සළුසල ආයතනයට ටෙන්ඩරය අහිමි වී තිබේ. එම අනිවාර්ය රෙගුලාසිය ඉවත් කරන ලෙස සළුසල ආයතනය රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවෙන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ද කළ ලිත ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැත.

එම අනිවාර්ය රෙගුලාසිය ටෙන්ඩර් පත්‍රිකාවට ඇතුළත් කර ඇත්තේ නිල ඇඳුම් ආනයනය කළ පෞද්ගලික ආයතනයටම ටෙන්ඩරය ලබා දීමේ අරමුණින් විය හැකි යෑයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.


නිලන්ත මදුරාවල

Thursday, December 27, 2012

වදක පුහුණව අද සිට

නවක සරසවි සිසුන්ට ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අද සිට ආරම්භ වේ. මෙම පුහුණුව දිවයින පුරා හමුදා කඳවුරු 24 කදී පැවැත්වීමට නියමිතව ඇති අතර සිසුන් 10000 ක් මුල් වටය සඳහා සහභාගී වෙති. ඒ සඳහා රජය විසින් දරනු ලබන මුළුවියදම රු. මි. 350 ලෙස ඇස්තමේන්තු ගතකර ඇති අතර අවශ්‍ය නිර්දේශිත ද්‍රව්‍ය මිලදී ගැනීමට හා ප‍්‍රවාහන වියදම් සඳහා එක් එක් ශිෂ්‍යාට දරන්නට සිදුවන වියදම රු. 20000 ද ඉක්මවයි.

උසස් අධ්‍යාපනයේ ප‍්‍රතිමාණයන්ට හා අරමුණුවලට පටහැනිව පවත්වනු ලබන මෙම පුහුණුවවට එරෙහිව උසස් අධ්‍යාපනයට සම්බන්ධ සියළුම පාර්ශව සිය විරෝධය පලකර ඇති අතර සරසවි ආචාර්යයවරුන්, පාසල් ගුරුවරුන්, අධ්‍යාපන වෘත්තීය වේදීන්, සිසුන් ආදී බලවේගයන්ද, සිසුන් හා දෙමවුපියන්ද ඒ අතර වෙති.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අත්‍යාවශ්‍ය මූලික දැනුමක්වන ඉංග‍්‍රීසි හා පරිගණක දැනුම ලබාදීමට මෙතෙක් නොමිලේ සිසුන්ට ලබාදුන් පාඨමාලා පවා අහෝසිකරමින්, එදිනෙදා නඩත්තුව පවා කරගැනීමට නොහැකි තරම් බරපතල මූල්‍ය අර්බුධයකින් සරසවි පෙළෙන තත්ත්වයක් තුළ මිලියන ගණනක මුදල් විනාශ කරමින් ජනතා විරෝධය මධ්‍යයේ බලහත්කාරායෙන්, මෙම පුහුණුව ලබාදීම තුළ එය කොතරම් දේශපාලනිකව ආණ්ඩුවට වැදගත්ද යන්න පෙන්නුම් කරන බව අපගේ විශවාසයයි. මේ පිළිබඳව අදහස් දක්වමින් සංජීව සහෝදරයා පැවසුයේ මෙම පුහුණුව සිසුන්ට විශාල කායික හා මානසික වදයක්වන අතර ආණ්ඩුවේ අරමුණ වී ඇත්තේ හමුදාකඳවුරු තුළ යොදන කායික හා මානසික බලහත්කාරය තුළ සිය දේශපාලන මතය සිසුන් තුළ කා වැද්දීමත්, හමුදා පන්නයේ විනයක් සිසුන් තුළ ඇති කිරීමත් බවයි.

ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ආදී කතෲවරයකුවන වැලිවිටියේ ශී‍්‍ර සෝරත හිමි සරසවි ශිෂ්‍යා නිර්මාණශීලී, විචාරශීලී, විචක්ෂණශීලී හා විප්ලවවාදී වියයුතුයැයි පැවසූ අතර ඉන් දශක කිහිපයකට පසු සරසවි ශිෂ්‍යා හමුදා පන්නයේ ආකෘතියකට අනුව හැඩගැස්සවීමට බලධාරීන් තීරණය කිරීම තුළ උසස් අධ්‍යාපනයේ බිඳවැටීම කොතරම් බරපතලද යන්න විද්‍යාමාන වේ. වෙලාවට නැගිටින, දත්්මදින, මුහුණ සෝදන, වෙලාවට කන, කාලරාමුවකට අනුව වැඩකරන, ඉහළින් එන නියෝග අකුරටම පිළිපදින හුමුදා විනයක් සහිත ශිෂ්‍යයකු නිර්මාණය කිරීම හමුදා පුහුණුවේ ප‍්‍රකාශිත අරමුණ වන අතර එයින් සිදුවන්නේ නිර්මාණශීලීත්වයක්, විචාරබුද්ධියක් සහිත විප්ලවවාදී එනම් ලෝකය හා එහි පැවැත්ව කොරෙහි වෙනස් විදියට හිතන හා එය වෙනස්කීරීමට උස්සාහ කරන ශිෂ්‍යයකු වෙනුවට මුළුමනින්ම සම්මුතිකාමී නිවටයකු වන් උපාධිධාරියකු බිහිවීමයි.

එක් පැත්තකින් මෙම පුහුණුව රටේ අධ්‍යාපනයේ ඉදිරිගමනට බරපතල බාධාවක් වන අතර අනෙක් පසින් රට ක‍්‍රමිකව ගමන්කරමින් සිටින මිලිටරි රාජ්‍යයක් සඳහාවන භයානක ගමනෙහි එක් පැතිකඩක් නියෝජනය කරයි. මෙම රෝගය ලෝකයේ ඕනෑම මිලිටරිනායකයකුට වැලදෙන ජාතියේ රෝගයක් වන අතර මින් නොනැවතී මුළුරටම මිලිටරියට දනගැස්සවීම දක්වාම ගමන් කරනු ඇත. එමෙන්ම අර්බුධකාරී මෙම ක‍්‍රමය තුළ බංකොලොත් ආණ්ඩුවට සිය පැවැත්ම වෙනුවෙන් මිලිටරියෙහි සරන පැතීම හැර අන් විකල්පයක් ද නැත.

උපුටා ගැනීම: iusfsl.org

Tuesday, December 25, 2012

යාපනයේ සරසවි ශිෂ්‍ය මර්ධනය උග්‍රවෙයි; තවත් සිසුවියන් තිදෙනෙක් ‘ ත්‍රස්ත විමර්ෂණයට ‘

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් හට කෙලවරක් නොවන ‘ ඊනියා ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ ‘ ප්‍රශ්ණ කිරීම්වලට මුහුණ දීමට සිදුවී තිබේ. දැන් ඔවුන්ගේ අලුත්ම ඉලක්කය වී ඇත්තේ ශිෂ්‍යාවන් වන අතර ප්‍රශ්ණ කිරීම් වලට භාජනය වන සිසුවියන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින්පවතී. අද (24) දිනයේදීද සිසුවියන් ත්‍රිදෙනෙකු ප්‍රශ්ණ කිරීම සඳහායැයි කියමින් වව්නියාව ත්‍රස්ත විමර්ෂණ ඒකකයට කැඳවා ඇත.

නොවැම්බර් 29 වැනිදා රාත්‍රියේදී මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා ඇතුළ තවත් සිසුන් රැසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ත්‍රස්ත විමර්ෂණ ඒකක විසින් ප්‍රශ්ණ කිරීම් වලට යැයි කියමින් වව්නියාව කාර්යාලයට කැදවූ සිසුන් සංඛ්‍යාව අති විශාල බව යාපනය සරසවියේ ආචාර්යවරයෙකු පැවසීය.
පසුගිය සතියේදී සිසුවියන් සිව්දෙනෙකුට වව්නියාව ත්‍රස්ථ විමර්ෂණ ඒකකයට පැමිණෙන ලෙස දැනුම්දුන් අතර පසුව දැනුම් ත්‍රස්ත විමර්ෂණ ඒකකය මගින් දැනුම් දුන්නේ ඉන් දෙදෙනකුට පමණ ප්‍රකාශ ලබාගැනීමට පැමිණෙන ලෙසයි.

මීට දින කීපයකට පෙරදී තවත් සිසුවියන් 5 දෙනෙක්ද ,ඉන් පසු දිනයකදී තවත් දෙදෙනෙකුට සහ ඊළඟ දිනයේදී තවත් තිදෙනෙක් වව්නියා ත්‍රස්ථ විමර්ෂණ ඒකකයට කැඳවා ප්‍රශ්ණ කිරීම් සිදුකර තිබේ.
හිටිහැටියේ දෙන දුරකථක ඇමතුම්වලින් මෙම සිසුන්ට ප්‍රශ්ණ කිරීම සඳහා වව්නියාව කාර්යාලයට පැමිණෙන ලෙස දැනම් දෙයි. එපමණක් නොව තවමත් දිනපතාම පිරිමි සිසුන්ගෙන්ද ත්‍රස්ථ විමර්ෂණ ඒකකය ප්‍රශ්ණ කරමින් සිටිති.

මේ අතර යාපනය සරසවිය අවට විශාල වශයෙන් බුද්ධි අංශ සාමාජිකයන් ගැවසෙනු දැකගත හැකි අතර යාපනය ශිෂ්‍ය මර්ධන මේවන විට ඉතා උග්‍රතත්ත්වයකට පත්ව ඇත. බොහෝ සිසුන් දැඩි භීතියට පත්ව සිටින අතර සමහරුන් රට ඇතැර යෑමට පවා කල්පනා කර ඇතැයි වාර්තා වෙයි.

ඊනියා ත්‍රස්ත විමර්ෂණ පනත 1979 දී සිට ක්‍රියාත්මක වන ත්‍රස්ත මර්ධන පනතට අනුව අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු දින 99 ක් දක්වා රඳවා තබාගැනීමේ නියෝගයක් නිකුත් කිරීමේ බලය ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හට බලය තිබේ.

යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති බී.බවානන්දන්, එම සංගමයේ ලේකම් පී. දර්ශනාන්ත් ,ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. ජෙනමෙයි ජයන්ත් සහ විද්‍යා පීඨ ශිෂ්‍ය එස්. සොලමන් යන සිසුන් වෙත ආරක්ෂක අමාතංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මාස තුනක රැඳවුම් නියෝග යටතේ වැළිකන්ද හමුදා රැඳවුම් කඳවුරේ රඳවාගෙන සිටින ලබයි.

Monday, December 24, 2012

O/L විද්‍යා ප්‍රශ්න පත්‍රය එළියට ආවේ දුරකතනයක් අස්සේ


බඹරය වැල්ලේ කැරකෙන තාක්කල් හොඳය. ඒ කාලයේදී ගහන - ගහන හැම ගේමම හරි යන්නේය. මේ කාලයේදී සිකුරා නළලේ නටයි. එහෙත් හෙනහුරා නළලට ගොඩවීමට වැඩි කලක් යන්නේ නැත. ඒ කාලයට බඹර කප්පිත්තකුටවත් බඹරය කරකවන්නට නොහැක.

මේ කතාව ලිව්වේ අද වන විට විභාග දෙපාර්තමේන්තුවත්, එය මෙහෙයවන විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන ඇමැතිවරයාත් දමන සෙල්ලම් දුටු විට වෙන කියන්නට දෙයක් නැති නිසාය. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර, විභාගයට කලින් පිටවූ බවක් දැන් කොමසාරිස්වරයාට හෝ අධ්‍යාපන ඇමැතිවරයාට මතක නැත. දැන් කතා කරන්නේ කාලගුණය ගැනය. එමඟින් සාමාන්‍ය පෙළ විභාගයට ලියන සිසු සිසුවියන් පත්වූ අසීරුතාව ගැනය.

ඒ ගැන කතා කළ යුතුය. එහෙත් තමන්ගෙන් වූ වරද වසා ගන්නට ඒ ගැන අතිශයෝක්තියෙන් කතා කිරීමත්, වරද යට ගසන්නට දරන උත්සාහයත් හෙළිදරව් කළ යුතුය. සිසුන්ගේ කරුමයට කාලගුණය හරහට හිටියේය. එමඟින් ප්‍රශ්නපත්‍ර පිටවූ කතාව යට ගියේය. කොමසාරිස්වරයාත්, අධ්‍යාපන ඇමැතිවරයාත් කරකවන බඹරය තවදුරටත් වැල්ලේ කැරකෙන බව මුලින්ම ලිව්වේ ඒ නිසාය.

පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිට විය. ඒ පසුගිය අගෝස්තුවේදීය. විභාග කොමසාරිස්වරයා ඒ ගැන සෙවීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාර කෙළේය. කොටින්ම එසේ කිරීමෙන් අනතුරුව කොමසාරිස්වරයා අත පිසදා ගත්තේය. මේ සම්බන්ධයෙන් විමසූ විට ඔහු කියන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන බලා ගනු ඇති බවකි.

අද, මේ දෙසැම්බරයේද සිදුවී ඇත්තේ එයමය. පුරුදු පරිදි සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර පිට වීමේ සිද්ධිය ගැන සෙවීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවැරිණි. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කිව්වේ 'මට විභාග දෙපාර්තමේන්තුව විශ්වාසයි' යනුවෙනි.

සා. පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දහනවයක්ම ටියුෂන් ගුරුවරයකු වූ සම්පත් අත්තටගේ නැමැත්තකු විසින් ලබාදී තිබිණි. ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබුණේ තමන් වසර ‍ෙදාළහක් තිස්සේ මෙම විෂය උගන්වන නිසා අනුමාන නිවැරැදි වූ බවයි. ඔහුගේ මැජික් බලයෙන් ඔහු විභාගයට එන ප්‍රශ්න ඉදිරියෙන් සිනා මුහුණක සලකුණක්ද දමා තිබිණි. එයද අත්දැකීමෙන් කළා විය හැකිය.

මේ තරම් කරුණු තිබියදීත් විභාග කොමසාරිස්වරයා අදාළ ටියුෂන් ගුරුවරයා පිට වරදක් පටවන්නට සූදානම් නැත.

අපද එසේමය. ගෙඩිය පිටින් ඔහුගේ පිට දමා අත පිසදා ගන්නට අපද සූදානම් නැත. මෙය කාලයක් තිස්සේ සිදු කෙරෙන ජාතික විභාගවල ප්‍රශ්නපත්‍ර පිට කිරීමේ ජාවාරමක තවත් එක් සිද්ධියක් පමණි. 'මව්බිම' ගවේෂණ මඟින් හෙළිදරව් වූ ආකාරයට මේ පිටුපස රජයේ මුද්‍රණාලයේ නිලධාරීන් සිටී. විශ්වවිද්‍යාලයක නිලධාරීන් දෙදෙනකු සිටී. ඉන් එක් අයකු විද්‍යාගාර සහායකයෙකි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, බුද්ධාගම සහ ඉතිහාසය යන ප්‍රශ්නපත්‍රද පිට වී ඇත.
'කොහොමද එහෙම කියන්නෙ? මොනවද තියෙන සාක්‍ෂි?'

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැන් පිම්මේ දිවවිත් 'මව්බිම' කර්තෘ මණ්ඩලයෙන් එසේ ප්‍රශ්න කරනු ඇත. හදිසි නොවන්න.
තරමක් විශාල ප්‍රමාණයේ ජංගම දුරකතනයක පසුපස ඇති බැටරිය ඉවත් කොට, ඒ වෙනුවට ප්‍රශ්න පත්‍රය ඒ තුළ බහා අදාළ විශ්වවිද්‍යාලයට රැගෙනවිත් ඇත. හෙළිදරව් වන ආකාරයට විද්‍යාව ප්‍රශ්න පත්‍රය අදාළ ටියුෂන් ගුරුවරයාට අලෙවි කර ඇත්තේ මේ කියන විශ්වවිද්‍යාලයේ මුලින් කී විද්‍යාගාර සහායකයාය. වහරේ භාෂාවෙන් කියන්නේ නම් ඔහු මීටරයකි. ඔහු අදාළ ටියුෂන් ගුරුවරයාට ප්‍රශ්න පත්‍රය ලබාදී නැත. ඒ වෙනුවට ඔහු ප්‍රශ්න පත්‍රය කියවා ඇත්තේ ටියුෂන් ගුරුවරයාට ලියා ගන්නා ලෙස පවසමින් යැයි කියැවේ. එහෙත් තවත් ගැටලුවක් ඇත. එකම විෂය උගන්වන දෙදෙනකු එසේ ප්‍රශ්නපත්‍ර මාරු කරගෙන තමන්ට එන්නට සිටින සිසුන් තවකෙකුට ලබා දෙයිද?

'මේවා හෝල් ක්ලාස්වල දෙන්න එපා. ඉන්ඩිවිජුවල් ක්ලාස්වල විතරක් දෙන්න.'

අදාළ පුද්ගලයා එවැනි උපදෙසක්ද දී ඇති බව කියැවේ. මේ ප්‍රශ්නපත්‍ර ඔහු ඉහළ මිල ගණන්වලට තනි තනි සිසුන් සිටින පන්තිවලදී ලබා දෙයි. මෙම විද්‍යාගාර සහායකයා ගම්පහ ප්‍රදේශයේ සහ නිට්ටඹුව ප්‍රදේශයේ එවැනි පන්ති රැසක් කරගෙන යයි. නමුත් පෙර කී ටියුෂන් ගුරුවරයා වැඩේ අනා ගත්තේය. ඔහු ගුරාගේ උපදෙස ඇසුවේ නැත. ඒ නිසා වැඩේ මාට්ටු වූ බව ගුරා තමන්ගේ හිතවතුන් ගණනාවකටම පවසා ඇත.

මෙම ගුරා ගණිතය ප්‍රශ්න පත්‍රයද මෙසේ රුපියල් ලක්‍ෂ එකහමාරකට විකිණීමට උත්සාහ දරා ඇත. ඉතිහාසයද එසේමය. එහෙත් අදාළ ගුරුවරුන් ප්‍රශ්න පත්‍රය ඉල්ලා ඇත. ගුරා එය ප්‍රතික්‍ෂේප කර ඇත. තමන් ළඟ ඇති ප්‍රශ්න පත්‍රය ලියා ගන්නා ලෙස ඔහු දුන් උපදෙසට එම ගුරුවරුන් එකඟ නොවීම නිසා ගනුදෙනුව සිදු වී නැත.
දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රශ්න කර ඇති ටියුෂන් ගුරුවරයා මිනුවන්ගොඩ එක්තරා පෞද්ගලික පන්ති පවත්වන ආයතනයකදී පවසා ඇත්තේ තමන්ගේ අනුමාන ප්‍රශ්නවලින් විස්සකට ආසන්න සංඛ්‍යාවක් විභාග ප්‍රශ්න පත්‍රයේ නොතිබුණහොත් තමන් මිනුවන්ගොඩ නගරයේ බඩ ගාන බවයි. නිට්ටඹුවේදීද ඔහු මේ කතාව කියා තිබේ.

අදාළ ටියුෂන් ගුරුවරයා බේරා ගැනීමට අපට අවශ්‍යතාවක් නැත. එසේම ඔහුව පමණක් හම ගසා මේ ජාවාරමේ ඉතිරි පුරුක්වලට වැඩෙන්නට ඉඩදීමද කළ නොහැක්කකි. මුලින් කී විද්‍යාගාර සහායකයාට දේශපාලන සම්බන්ධකම් මෙන්ම අදාළ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ සමීප සම්බන්ධකම්ද ඇත. ඔහුට එරෙහිව විනය චෝදනා එල්ල වූ අවස්ථා දෙකකදීම පාලනාධිකාරියෙන් ඔහු ගලවාගෙන ඇත. එම චෝදනා එල්ල වූ වැරැදි ඔහුව සේවයෙන් පහ කරන්නට වුවද ප්‍රමාණවත් බව කියැවේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ ටියුෂන් ගුරුවරයා රැගෙන ඔහු තමන්ගේ අනුමාන ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කළ මුද්‍රණාලයට ගොස් එහි සිටිය වුන්ගෙන් ප්‍රශ්න කළ බව 'දිනපතා මව්බිම' වාර්තා කළේය. මාධ්‍ය සංදර්ශන තිබ්බාට වැඩක් නැත. අදාළ විද්‍යාගාර සහායකයා සහ මෙම ප්‍රශ්නපත්‍ර ජාවාරමේ සිටින්න වුන් ප්‍රශ්නපත්‍රය ඔවුන්ගේ අතින් පිට නොකිරීමට වග බලා ගනී. එම නිසා මුද්‍රණාලයේ ඇත්තේ අදාළ ටියුෂන් ගුරුවරයාගේ අත් අකුරුය.

මුලින් පැවැසූ පරිදි මෙම ලිපිය පළ වූ පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අප සොයා ඒමට හදිසි නොවන්න. කිරිබත්ගොඩ, කැලණිය, ගම්පහ ආදී ප්‍රදේශවල රස්තියාදුවක් ගැසුවහොත් මෙහි සඳහන් නොකළ අප සොයාගත් විස්තරද ඔබට දැන ගැනීමට හැකියාව ලැබේ. අදාළ විශ්වවිද්‍යාලයීය විද්‍යාගාර සහායකයා පවසන්නේ තමන් මීට පෙර ජාතික මට්ටමේ විභාග හයකදී මෙම සෙල්ලම දැමූ බවයි. ඒවා 'ඉන්ඩිවිජුවල් ක්ලාස්'වලදී සිසුන්ට ලබාදුන් බවයි. මේ පිළිබඳ විස්තර අදාළ රස්තියාදුව අතරතුරදී පාසල් සිසුන්ගෙන් ලබා ගැනීමට හැකිය.

ගම්පහ ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් දෙකක සිසු සිසුවියන් අපට පැවැසුවේ මෙම විද්‍යාව ප්‍රශ්න පත්‍රය, අනිවාර්යයෙන්ම විභාගයට එන බව පවසමින් ප්‍රකට ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු තමන්ට ලබා දුන් බවයි. විභාගයෙන් පසු බලන විට ඒ, විභාග ප්‍රශ්න පත්‍රයමය. බහුවරණ ප්‍රශ්නවල නිවැරැදි පිළිතුර හැර, වැරැදි පිළිතුරු පවා ප්‍රශ්න පත්‍රයේ ඒවාමය. විශේෂත්වය වන්නේ අදාළ ප්‍රකට ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ප්‍රශ්නපත්‍ර පිට කිරීමේ සිද්ධියට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කළ ටියුෂන් ගුරුවරයාගේ පන්තියක් අහලකින්වත් ගොස් නොතිබීමයි.

ලංකාවේ ජාතික විභාගවල විශ්වාසය අද වන විට මේ ජාවාරම්කරුවන්ගේ අතට වැටී තිබේ. ගැටලුව වන්නේ ඒ බව පිළිගැනීමට විභාග කොමසාරිස්වරයා හෝ අධ්‍යාපන ඇමැතිවරයා හෝ අදාළ බලධාරීන් මැළි වීමයි. පහේ ශිෂ්‍යත්වයේ ප්‍රශ්නපත්‍ර පිට වීමට අදාළව කිසිදු වැරැදිකරුවකු අත්අඩංගුවට ගෙන නැත. හූනා කිව්වා සේ කිව හැකිය. මේ සිද්ධියටද වන්නේ ඒ සෙතේමය. උසස් පෙළ ඉසෙඩ් අගය වැරැද්දූවන්ද නිදහසේ සිටී. ඉතින්, ප්‍රශ්නපත්‍ර පිට කිරීමත් හොඳ ආදායම් මාර්ගයකි.
සිතන්නට නොදන්නා යාන්ත්‍රික අනාගත පරපුරක් බිහි කර ගැනීමේ රට කරවන ඇත්තන්ගේ අරමුණට මේ ජාවාරම්කරුවන් සපයන්නේ මිල කළ නොහැකි සේවයකි. මේ සිදුවීම්වලට අදාළ පරීක්‍ෂණ යට ගසන්නේ ඒ සේවයට උපහාර පිදීමට දැයි යන ගැටලුව මතු වේ. දැන් සිලබස් අවශ්‍ය නැත. විභාග ලිවීමට අවශ්‍ය වන්නේ මුදල් පමණි. ඒ කන්නන්ගර මැතිඳුන් මරා දමන හැටිය.

mawbima

Friday, December 21, 2012

සුසර ප්‍රභාශි - සිත් කතරට පිනි දිය ඉසින මියුරු ගී වැස්ස

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය හා කලා අනුකමිටුව එක්ව සංවිධානය කළ “සුසර ප්‍රභාශි - සිත් කතරට පිනි දිය ඉසින මියුරු ගී වැස්ස” සංගීතමය වැඩසටහන දෙසැම්බර් මස 14 වන දින රජරට විශ්වවිද්‍යාලයීය සුගතපාල ද සිල්වා එළිමහන් රංග පීඨයේදී පැවැත්වින.

රජරට සරසවි මානව මානවිකාවන්ගේ ගී පද රචනා, තනු නිර්මාණ, ගායන, වාදන ඈසි විවිධ නිර්මාණ කාර්යයෙන් අංකුර නිර්මාණකරුවන්ට වේදිකාවක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. ඒ අනුව මෙහිදී නව ගීත නිර්මාණ 16 ක් එළි දැක්වීම සිදු කෙරින.

මෙම සියලු නිර්මාණ වල පද රචනා, තනු නිර්මාණය සහ ගායනය සිදු කරනු ලැබුවේ රජරට විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් විසිනි. මෙම වැඩසටහනට සමගාමීව රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන නාලක සම්පත් බණ්ඩාර දිසානායක බණ්ඩාර සහ සිදත් මධීර රන්දෙනි හේරත් සහෝදරයින් දෙදෙනා නිර්මාණය කළ “ ඉරමල ” කාව්‍ය සංග්‍රහය එලි දැක්වීමද සිදු කෙරින.

හිත් පිත් නැති රොබෝ මානසිකත්වයන් උදෙසා සමාජය මෙහෙයවාලන්නට කැස කවන ඊනියා බලවේග හමුවේ නොසැලී උඩුගං බලා මානව හිතවාදී කලාවක් උදෙසා සුසර ප්‍රභාශි සිය ප්‍රභාව සමාජ ගත කරනු ඇත.



අ.පො.ස සපෙළ විභාගයට විද්‍යාව, ගණිත ප්‍රශ්න පත්‍ර රුපියල් අටදහස බැගින් විකුණයි

සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව 1 සහ ගණිතය 1 ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්නපත්‍ර විභාගයට පෙර රුපියල් අටදහසක්‌ බැගින් අයකර වේයන්ගොඩ ප්‍රදේශයේ අලෙවි කර තිබේ.

විද්‍යාව ප්‍රශ්න පත්‍රය වෙනමත් ගණිතය ප්‍රශ්න පත්‍රය වෙනමත් මෙලෙස අලෙවි කර ඇත.

පසුගිය 16 වැනිදා විද්‍යාව ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගයට පෙර විද්‍යාව ප්‍රශ්න පත්‍රය ද එදිනම සවස 17 වැනිදාට නියමිතව තිබූ ගණිතය ප්‍රශ්න පත්‍රයද අලෙවි කර ඇත්තේ ගෙන් ගෙට යමිනි. ගණිතය ප්‍රශ්න පත්‍රය අලෙවි කිරීමට පැමිණි පුද්ගලයන් අත සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය හා විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍රයද තිබී ඇති අතර එම ප්‍රශ්නපත්‍ර සන්සන්දනය කර සත්‍යය වටහාගෙන ගණිතය ප්‍රශ්න පත්‍රය මිලට ගන්නා ලෙස නිවසේ හිමියන්ට දන්වා ඇත. නැවත විද්‍යාව ප්‍රශ්න පත්‍රය හා අනුමාන ප්‍රශ්න පත්‍රය අතර සමානතා දුටු බොහෝ පිරිස්‌ ගණිතය අනුමාන ප්‍රශ්න පත්‍රය ද මිලට ගැනීමට පෙළඹී තිබේ.

විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍රය ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙක්‌ (සිද්ධියට සම්බන්ධ යෑයි සැකකරන ගුරුවරයා නොවේ) මිලට ගෙන සිසුන් අතර බෙදා හැර ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේය.

විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 19 ක්‌ ටියුෂන් ගුරුවරයකු විසින් සකසන ලද අනුමාන ප්‍රශ්න පත්‍රයකට ඇතුළත් වීම පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇත.


නිලන්ත මදුරාවල

සිංහල ජනතාව සමග සංහිඳියාවෙන් කටයුතු කරනවා. රවුෆ් හකීම් ඇමැතිවරයා ජාතිවාදී අඳුරු තත්ත්වයකට රට රැගෙන යනවා.-රම්සි බාඩා

රවුෆ් හකීම් මහතා අධිකරණ ඇමැතිවරයා වශයෙන් පත්වූ පසු 2011 හා 2012 නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත් වන මුස්‌ලිම් ශිෂ්‍ය සංඛ්‍යාවේ අසාමාන්‍ය වැඩිවීමක්‌ සිදුවී ඇතැයි ජාතික විද්වත් සභාවේ සාමාජික නීතිඥ යලිත් විමලසුරේන්ද්‍ර මහතා පැවැසීය.

කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සම්මන්ත්‍රණ ශාලාවේදී ජාතික විද්වත් සභාව පෙරේදා (19 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බැව් කියා සිsටියේය.

ඒ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

නීතියේ න්‍යායන් අතර තිබෙනව කොතැන හෝ අයුක්‌තියක්‌ තිබේ නම් සමස්‌ථයම අයුක්‌තියට ලක්‌වන බව. අප දක්‌වන්නේ මුස්‌ලිම් විරෝධයක්‌ නොවේ. විභාගයෙන් සමත් වූ සියලු දෙනා සිංහල වුණා නම් එයත් වැරදියි.

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය හුදෙක්‌ සරල දෙයක්‌ නොවේ. ඉතාම තරගකාරීයි. වසරකට විසිදහසක්‌ (20000) පමණ ඉල්ලුම් කරන හත්දාහක (7000) ට ආසන්න සංඛ්‍යාවකට සාමාන්‍යයෙන් විභාගයට පෙනී සිටීමට ලැබෙනා දෙසිය විසිහපක්‌ (225) පමණ උපාධිය හැදැරීමට බඳවා ගන්නා ඉතාම තරගකාරී තත්ත්වයක්‌.

නීතිඥ වෘත්තීය උසස්‌ රැකියාවක්‌ ලෙස සැලකෙනවා. විශාල ආදායමක්‌ ඔවුන්ට උපයන්න පුළුවන්. මේ අනුව එම නීතිඥ සාමාජිකයා නියෝජනය කරන පවුල් සමාජයේ ඉහළට පැමිණෙනවා. තම නිලය, බලය හා ධනය යොදවලා පටු ජාතිවාදී වැඩපිළිවෙළක්‌ නීති ප්‍රවේශ විභාගයට යොදනව නම් ඉතා බරපතල තත්ත්වයක්‌. යුක්‌තියේ ක්‍රියාවලිය කඩා වැටෙනවා. නුසුදුස්‌සන් පත්වෙනවා.

ඇතැම් අය රැකියාවලින් ඉවත් වී මේ විභාගයට පෙනී සිටින්නේ. මොනරාගල හා ත්‍රිකුණාමලය වැනි ඈත පළාත්වලින් කොළඹට පැමිණ අධ්‍යාපන කටයුතුකර මෙම විභාගයට ඇතැම් අය මුහුණ දෙන්නෙ.

2004 වර්ෂයේදී අංක 491 දරන ප්‍රකාශයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයේදී අගවිනිසුරුවරිය දන්වා තිබෙනවා. යුක්‌ති සහගතව හා නිරවුල්ව නීති ප්‍රවේශ විභාගය පවත්වන ලෙස යනුවෙන් විමලසුරේන්ද්‍ර මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ජාතික විද්වත් සභාවේ සභික නීතිඥ ප්‍රියදර්ශන ගමගේ මහතා අදහස්‌ පළ කරමින් මෙසේ කියා සිටියේය.

2011 නීති ප්‍රවේශ විභාග ප්‍රතිඵල අස්‌වාභාවිකයි. විභාග අංකය අපහැදිලි වන ආකාරයට සංකේත අංකයක්‌ එකතුකර තිබෙනවා. අප සංකේත අංක ඉවත්කර ගවේෂනය කළා. එක ළඟ විභාග අංක තියෙන මුස්‌ලිම් ළමයි විසි දෙනෙක්‌ සමත්වී තිබෙනවා. සහෝදරයෝ දෙදෙනෙක්‌ නීති විභාග ප්‍රවේශ විභාගයෙන් සමත් වුණොත් නීති විද්‍යාලය ඒ පිළිබඳ විශේෂ සමීක්‍ෂණයක්‌ කරන්නේ යෑයි ඒ මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.

නීති ප්‍රවේශ විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් වූ ශිෂ්‍යයකු වූ රම්සි බාඩා මහතා අදහස්‌ දක්‌වමින් මෙසේ කියා සිටියේය.

අප සිංහල ජනතාව සමග සංහිඳියාවෙන් කටයුතු කරනවා. රවුෆ් හකීම් ඇමැතිවරයා ජාතිවාදී අඳුරු තත්ත්වයකට රට රැගෙන යනවා. අක්‍රමිකතා සිදුකොට නීතිඥයන් වන ඇතැම් අය විනිසුරුවරුන් ලෙස පත්වේවි. ඔවුන් කොහොම යුක්‌තිය ඉටුකරයිද?

අප මේ අක්‍රමිකතාවයට විරෝධය දක්‌වමින් පෙත්සමක්‌ සකස්‌ කොට මේ සඳහා විරෝධය දක්‌වන අයගේ අත්සන් ලබාගෙන රජයට ඉදිරිපත් කරනවා. උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ ගෙන යාමටත් සැලසුම්කර තිබෙනවා. දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. සංවිධානයක්‌ පිහිටුවා මෙම අක්‍රමිකතාවයට එරෙහිව අඛණ්‌ඩව කටයුතු කරනවා.

නැවත විභාගය පවත්වන ලෙස අප ඉල්ලා සිටිනවා. රහස්‌ පොලිස්‌ පරීක්‍ෂණයක්‌ සිදුකළ යුතුයි. ප්‍රශ්නපත්‍ර කලින් පිටවීමක්‌ සිදුවූයේද යන්න හා උත්තර පත්‍ර සඳහා ලකුණු දීමේදී මේ අක්‍රමිකතාවය සිදුවුණාදැයි සොයා බැලිය යුතුයි.

ඒ මහතා විසින් 2011 හා 2012 වසරවලට අදාළ නීති ප්‍රවේශ විභාගයේ දත්ත වාර්තාවක්‌ද ඉදිරිපත් කරන ලදී. නීතිඥ සමුදු හේවගේ මහතාද මෙහිදී අදහස්‌ දැක්‌වීය.


තෝරාගත් වසර  තෝරාගත් මුස්‌ලිම් සිසුන්
සම්පූර්ණ ගණන ගණන

2003       208       05

2004        212       03

2005        269       07

2006         249       09

2007         247       04

2008       261          08

2009       242         14

2010       237         09

2011        238       51

2012        309       78

2012 වසරේ ප්‍රථම ස්‌ථාන 3 ම මුස්‌ලිම් ලබ්ධිකයන් වන අතර පළමු 10 දෙනාගෙන් 6 දෙනෙකුම මුස්‌ලිම් ලබ්ධිකයන්ය. පළමු ස්‌ථාන 50 න් 28 ක්‌ මුස්‌ලිම් ලබ්ධිකයන්ය.

නීතිඥ යලිත් විමලසුරේන්ද්‍ර
චනක්‍ය ජයගොඩ

Thursday, December 20, 2012

සා.පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවල දෝෂ

මෙවර පැවැති 2012 අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රද දෝෂ සහිත බව වාර්තාවේ. පසුගියදා පැවැති විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 6 (A) ප්‍රශ්නයට අදාළ රූප සටහන වැරදියට නම්කර ඇත. එය උපයෝගී කරගෙන පිළිතුරු ලිවිමේදී සිසුන්ට ගැටලුවලට මුහුණදීමට සිදුව ඇත.

Wednesday, December 19, 2012

බිහිරන්ට ඇසීමට වඩාත් වැඩි ශබ්දයක් අවශ්‍යයි - වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා

Najith Indika - MFSAC
ආණ්ඩුවේ වාර්තාවන්ට අනුවම මේ රටේ ජනතාවගෙන් 41%කගේ දවසක ආදායම රුපියල් 200 ට අඩුයි. එහෙම මිනිස්සු ඉන්න රටක තමයි ඔවුන් රුපියල් ලක්ෂ 65කට උපාධි ගන්න අධ්‍යාපන ක‍්‍රමයක් ස්ථාපිත කරන්න යන්නේ. මේක සරල ජනවහරකින් කිව්වොත් රටේ මිනිස්සුන්ට කුඩු කන්න පිච්චිය නැතිව ඉද්දි අණ්ඩුව බල්ලන්ට හැට්ට මහනවා මේක අපේ ප‍්‍රශ්නයක් නෙමෙයි. සමාජ ප‍්‍රශ්නයක්’’ යි වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා ඊයේ මරදාන CSR ශාලාවේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ,

‘‘මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළේ 2009 සැප්තැම්බර් පළමුවැනිදා. මේ වෙනකොට අවුරුදු 03ක් ඉක්මවලා. ආරම්භයේ සිටම සියලූ ආයතන, ජනතාව නොමග යැවූ මෙම වංචාකාරී ව්‍යපෘතියේ (SAITM) මුල් නම වුණේSouth Asian Institute of technology & management. පස්සේ හොර රහසේම ඒකSouth Asian Institute of technology & madicine බවට පත් වුණා. මෙහෙම පැවතුන මේ ආයතනයට පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය ලැබුණේ 2010 රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවන පත්වීමෙන් පස්සෙ. උසස් අධ්‍යාපන ඇමතිවරයා විදියට පත් වුණු එස්.බී. දිසානායක මහත්තයගෙ එකම වැඬේ වුණේ අධ්‍යාපන පෞද්ගලීකකරණය සුද්ද කරන එක. රජයේ විශ්වවිද්‍යාල කඩා වැටෙන්න ඉඩදීල ඔවුන් තම අධ්‍යාපන ප‍්‍රතිපත්තිය විදියට ‘‘අධ්‍යාපන පෞද්ගලීකකරණය’’ පිළිගන්න බව ප‍්‍රකාශ කළා. ප‍්‍රකාශ කළා විතරක් නෙමෙයි ඒ ඔස්සේ වැඩ කළා. රජරට වෛද්‍ය පීඨයේ අනාගතය අවිනිශ්චිතව තියෙද්දි අවශ්‍ය ප‍්‍රතිපාදන නොමැති කමින් මාලඹේ උපාධි කඩයට විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් රුපියල් මිලියන 600ක ණයක් ලබාදුන්නා රාජ්‍ය බැංකුවකින්. රජයේ මාධ්‍ය යෙදාගනිමින් විශාල ප‍්‍රමාණයක් ලබාදුන්නා.

එහෙම කරපු මාලඹේ උපාධි කඩයේ අද තත්වය මොකද්ද? සායනික පුහුණුවක් ලබාදීමට ක‍්‍රමවේදයක් නෑ. නමුත් වසරකට කණ්ඩායම් 02ක් බඳවා ගන්නවා. ආවේ එක් ශිෂ්‍යයෙක්ගෙන් ලක්ෂ 65ක්නෙ. ඕන දෙයක් විකුණනකොට වගේම අධ්‍යාපනය විකිණීමෙදිත් ලාභ සෙවීම තමයි ප‍්‍රමුඛ අරමුණ වෙන්නෙ. උසස්පෙළ අසමත් සිසුන් දෙදෙනෙක්ගෙ තොරතුරු හෙළිදරව් කළා. තවත් ඕනෑතරම් ඇති. ඇයි මේකෙදි වැදගත් වෙන්නෙ රුපියල් ලක්ෂ 65 ගෙවීම මිස විභාග සමත් වීම හෝ දක්ෂකම, උනන්දුව නෙවෙයි. මේ ‘‘මාලඹේ’’ මොඩල් එක තමයි ආණ්ඩුව තමන්ගේ ප‍්‍රතිපත්තිය වශයෙන් තෝරාගෙන තියෙන්නෙ. මෙකෙදි රටේ 98%ක් වෙච්ච දරුවන් අධ්‍යාපනයෙන් පිටමං කරන අතරේ 1%ක් 2%ක් වෙච්ච අතලොස්සක් වෙනුවෙන් විශ්වවිද්‍යාල හදන ප‍්‍රතිපත්තියක්.

ඒ නිසයි අපි විරුද්ධ. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමට අපි විරුද්ධයි. මේ අඩුපාඩුකම් මැද්දෙ හරි කි‍්‍රයාත්මක වන මේ නිදහස් අධ්‍යාපන ක‍්‍රමවේදය විනාශ කරනවට අපි විරුද්ධයි. ඒ මේ රටේ අතිමහත් බහුතරයක් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටින නිසා. නමුත් ආණ්ඩුව තමන්ගේ ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කරන්න උත්සාහ කරනවා. හොඳම උදාහරණය අධ්‍යාපනයට ද.දේ.නි. 6%ක් ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිදුකෙරුනු අරගලයෙන් පස්සෙ අයවැයේදි 1.8% සිට 1.5% දක්වා තවත් පහත හෙලීම. රටේ දින 5කට වරක් පාසලක් වැහෙනවා. විශ්වවිද්‍යාල බලන් ඉද්දි කඩාවැටෙනවා. ආචාර්යවරුන් පෞද්ගලික උපාධි කඩ කරා ඇදී යනවා වැඩි වැටුප් සොයාගෙන. මෙහෙම නිදහස් අධ්‍යාපන ක‍්‍රමය වට්ටවමින් තමයි ඔවුන් ‘‘මාලඹේ මොඩල් එක’‘ මේ සමාජෙට ආදේශ කරන්න යන්නෙ. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තමයි මේ ව්‍යාපෘතියේ ‘‘නියමු ව්‍යාපෘතිය’’ මාලඹේ කරේ තියාගෙන පෙන්න පෙන්න තමයි ඔවුන් මේ ගමන යන්න හදන්නේ. ඒ නිසා මාලඹේ උපාධි කඩය පරාජය කළ යුතුයි. ඒ ආණ්ඩුවේ මේ ජනතා ද්‍රෝහී ගමන අනෙක් පැත්තට හරවන පළමු පියවර ඒක නිසා. ඒ පදනමිනුයි අපි ඊට විරුද්ධව අරගල කරන්නේ. දැන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙත් වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට සූදානම් වෙනවා. අපි මේ තත්වයට විරුද්ධව අරගල කරනවා.

මාලඹේ උපාධි කඩය තරම්ම පැරණිය ඊට එරෙහිව කළ අපේ අරගලය. අපි වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව විදියට විවිධ කි‍්‍රයාමාර්ග ගත්තා. උද්ඝෝෂණ, දැනුවත් කිරීම්, පාගමන් ආදී විශාල අරගලයක් ගෙනගියා. ඒ හරහා අපිට පුළුවන් වුණා රටේ විශාල මතවාදයක් මීට එරෙහිව නිර්මාණ්‍ය කරන්න. නමුත් තවමත් මාලඹේ උපාධි කඩය පවතිනවා.කියමනක් තියෙනවා ‘‘බිහිරන්ට ඇසීමට වඩාත් වැඩි ශබ්දයක් අවශ්‍ය’’ වේ. කියලා. අපි සූදානම් ආණ්ඩුවේ බිහිරන්ට ඇසෙන මට්ටමේ විශාල ශබ්දයක් නගන්න.

මේක සමාජ ප‍්‍රශ්නයක්. මුළු සමාජයම එකතුවෙලා මේ අධ්‍යාපන සංහාරයට, ආණ්ඩුවේ මේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියට විරුද්ධව සටන් කළ යුතුයි. ඉදිරි මාස 6 තුළ අපි දැවැන්ත අරගලයක් අරඹනවා. අනෙකුත් සහෝදර විශ්වවිද්‍යාල සිසුන්, වෛද්‍යවරුන්, දෙමාපියන්, වෘත්තීය සමිති හා ආචාර්යවරු ආදි බලවේග එකතු කරගත් දැවැන්ත අරගලයක් ඉදිරි වසරේ ආරම්භ කරනවා. ඒ කැපකිරීමට අපි සූදානම්. ආණ්ඩුවට චන්ද්‍රිකා, උල්කාපාත පෙන්නලා මේ ප‍්‍රශ්නෙ යටගහන්න දෙන්නෙ නෑ වගේම ඔවුන්ට උපාධි විකිණීම ගැන තීරණයක් ගන්න වෙන් මට්ටමට අපගේ අරගලය ඉදිරි කාලයේ ගෙන එනවා.’’

මාධ්‍ය ඒකකය
වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව

Monday, December 17, 2012

සාපෙළ ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවීම අධ්‍යාපනයේ සමස්ත අර්බුදයේම ප‍්‍රකාශනයක්

Duminda Nagamuwa - FLSF
සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත අර්බුදයේම ප්‍රකාශනයක් බවත් ආණ්ඩුවට බලය සම්බන්ධ කරුණුවලදී වරදින්නේ නැති නමුත් ජනතාවගේ ජීවිත සම්බන්ධ ගැටලුවලදී නිතරම වැරදීම් සිදු වන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ අධ්‍යාපනය හා අධ්‍යාපන සඳහාත් අධ්‍යාපනය මුදලට විකිණීම සඳහාත් නිර්මාණය වී ඇති තරගය නිසා මෙවැනි තත්වයක් ඇති වන බවයි.

දුමින්ද නාගමුව මහතා නිකුත් කළ නිවේදනය‍ මෙසේය.

"දෙසැම්බර් 15වැනිදා පැවැත් වුණු අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රය පිටවී ඇති බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ. ඒ අනුව විද්‍යාව බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න 19ක් පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු විසින් විභාගයට පෙර ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍රයක් හරහා සිසුන්ට ලබා දී ඇතැයි වාර්තා වී තිබේ. ඒ අනුව, විභාගයට පෙනී සිටි ඇතැම් සිසුන්ට විභාගයේ ප‍්‍රශ්න කලින් ලැබී තිබූ බවද අති බහුතරයක් සිසුන් ඒ හේතුවෙන් අසමානතාවට හා අසාධාරණයට ලක්ව ඇති බවද පැහැදිලිය.

අධ්‍යාපනයට හා විභාග ක‍්‍රියාවලියට අදාළව මෙවැනි සිදුවීම් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරද ගුරු අත්පොත්වල වැරදි, පෙළපොත්වල වැරදි, විෂය නිර්දේශ සකස් කිරීමේ ව්‍යාකූලතා ආදිය වාර්තා වූ අතර ජයේ විභාග පැවැත්වීමේදී විභාග ප‍්‍රශ්නපත‍්‍රවල හා විභාග ප‍්‍රතිඵලවල ගැටලුකාරී තත්වයන් නිරන්තරයෙන් උද්ගත විය. නිදසුනක් ලෙස 2012අගෝස්තු මස පැවැත් වූ උසස් පෙළ විභාගයේ ප‍්‍රශ්න පත‍්‍රවල බරපතළ දෝෂ පැවති අතර 2011උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් ඇති වූ ව්‍යාකූලතා නිසා සිසුහු පීඩාවට පත් වූහ. 2012අගෝස්තු මස පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර පිට වූ බව වාර්තා වූ නමුත් ආණ්ඩුව විධිමත් පරීක්ෂණයක් නොපවත්වාම එය ප‍්‍රතික්ෂේප කළේය. දැන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළවද ප‍්‍රශ්න පත‍්‍ර පිටවීම පිළිබඳ චෝදනා එල්ල වී තිබේ. මේ තත්වය තුළ පාසල් අධ්‍යාපනයත් විභාග ක‍්‍රියාවලියත් පිළිබඳ විශ්වාසය බරපතළ ලෙස බිඳ වැටී තිබෙන අතර සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට එය සැලකිය යුතු බාධාවක් සිදු කර ඇත.

ලංකාවේ පාලකයින්ට අසමත්වීම්, අකාර්යක්ෂමතා සහ අත්වැරදීම් බහුලවම සිදු වන ක්ෂේත‍්‍ර ලෙස අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය වැනි ජනතාවගේ ජීවිතවලට බලපාන ක්ෂේත‍්‍ර ඉදිරියෙන් තිබේ. තමන්ගේ බලය රැක ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයේදී ඊට අදාළ ක්ෂේත‍්‍රවල පාලකයින්ට වැරදීම් සිදු වන්නේ නැත. ආණ්ඩුවේ පාලන කටයුතුවලට අදාළ ක්ෂේත‍්‍රවලදී හෝ එවැනි අනෙකුත් කටයුතුවලදී වංචා සිදුවීමට ඇති ඉඩකඩ අවම කර ඇති අතර ඒවා වහාම අනාවරණය කර ගැනේ. නිදසුනක් ලෙස අවසර නොමැති ගිනි අවි හෝ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම වැනි වංචාවන්ට ආණ්ඩුව ඉඩ තබන්නේ නැත. ඒ එය ඔවුන්ගේ බලය සමග සම්බන්ධිත නිසාය. ආණ්ඩුව නිතරම පාහේ අත්වැරදීම් හා මගහැරීම් පිළිබඳ මැසිවිලි නගන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය වැනි ජනතාවගේ ජීවිතවලට අදාළ ක්ෂේත‍්‍රයන්හිදීය. මෙම පාලකයින් ප‍්‍රමුඛතාවයේ ලා සලකන්නේ සමාජයේ යහපැවැත්ම නොව සිය බලය රැක ගැනීම පමණක් බව මෙවැනි උදාහරණවලින් තව දුරටත් පැහැදලි වේ.

අනෙකුත් ක්ෂේත‍්‍ර මෙන්ම අධ්‍යාපන ක්ෂේත‍්‍රයද බරපතළ ලෙස දේශපාලනීකරණයට ලක් කර ඇත. විශේෂයෙන් විභාග දෙපාර්තමේන්තුව ගත් කල සුදුස්සන් පසෙක සිටියදී සිය දේශපාලන හිතවතුන් එහි මුල් පුටුවලට පත් කිරීම විසින් ක‍්‍රියාවලිය තවදුරටත් දුර්වල කර ඇත. ලංකාවේ පාලකයින්ගේ මෙම පසුගාමී ස්වභාවයද අධ්‍යාපනයේ බිඳ වැටීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. එපමණක් නොව, පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් විසින් විභාග ප‍්‍රශ්න පත‍්‍ර සොරකම් කිරීම පිළිබඳ සිදුවීම් දෛනිකව වාර්තා වන්නේ අධ්‍යාපනය සඳහාත් අධ්‍යාපනය මුදලට විකිණීම සඳහාත් නිර්මාණය කර ඇති තරගය හේතුවෙනි. වත්මන් නව ලිබරල් ධනවාදී ක‍්‍රමය තුළ අධ්‍යාපනය අධ්‍යාපනික අරමුණුවලින් විතැන් කොට වෙළඳ අරමුණු හා ලාභ අරමුණු වෙත යොමු කොට ඇත. මෙවැනි ප‍්‍රශ්න උද්ගත වන්නේ සිසුන්ට අධ්‍යාපනය ලබා දීමේ අරමුණට වඩා වැඩිපුර ලාභ ලැබීමේ අරමුණු ප‍්‍රමුඛත්වයට පැමිණීම හේතුවෙනි. එබැවින් ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන මෙම අර්බුදකාරී තත්වය සමස්ත සමාජ අර්බුදයකම කොටසක් බව අපගේ අදහසයි.

දැනටමත් පාසල් පද්ධතියේ සම්පත් හා ගුරුවරු සම්බන්ධයෙන් පවතින විෂමතාව නිසා අසාධාරණයට ලක්ව සිටින සිසුන් විභාග ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවීම නිසා තවදුරටත් අසමානතාවට ලක්වීම වළක්වන ලෙසද විභාග ක‍්‍රියාවලියේ සිදු වන අක‍්‍රමිකතාවන්ට වහා විසඳුම් සොයන ලෙසද ආණ්ඩුවට බල කරන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින අපි අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කරන වත්මන් සමාජ ආර්ථික උපාය මාර්ගය වෙනස් කර අධ්‍යාපනය සමාජ දායාදයක් කිරීමේ හා සියල්ලන්ගේම මූලික මිනිස් අයිතියක් බවට පත් කිරීමේ අරගලයකට ප‍්‍රවේශ වන ලෙසද ඉල්ලා සිටිමු. "